ඟුරු දුරු ඈ යුතු-මල් ගොමු හා වවා වතු කාව්‍යශේකරයේ කියැවෙන කාන්තාව අද අපේ සමාජයේ ඉන්නවාද…? ඒ අර්ථ ක්‍රමය අපි අනුගමනය කරනවාද…?
අද අපේ කාන්තාවගේ මානසිකත්වය ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. සුපිරි වෙළඳසැලට ගිහින් ලොකු කරත්තයකට කරපිංචා මිටියත් දා ගෙන කාඩ් එකෙන් සල්ලි ගෙවන තැනට අපේ මව්වරු පත් වෙලා. එතැන තමයි සමාජ තත්වය. නමුත් පවුලක අර්ථ ක්‍රමය ගොඩ නගනවා වෙනුවට නාස්තිය පටන් ගන්නේ එතැනින්. අතීතයේ කාන්තාව වෙළඳපොලට යන්න කලින් තමන්ගේ අත මිට ගැන හිතනවා. බඩු ගනිද්දී වුනත් ගනන් මිම්ම හිතින් හදා ගන්නවා. කිලෝවක් අවශ්‍ය තැන ග්‍රෑම් පන්සියයකින් පිරිමහ ගන්නවා. අවශ්‍ය දේ අරගෙන කීයක් හරි ඉතුරු කර ගෙන ඇවිත් ඒ මුදලත් වෙනම තියා ගන්නවා.
නමුත් අද අවශ්‍ය දේත්, අනවශ්‍ය දේත් සේරම අරගෙන ෂොපිං මල්ලක බඩු ටිකට ක්‍රෙඩිට් කාඩ් පතෙන් මුදල් ගෙවනවා. ක්‍රෙඩිට් කාඩ්පත කියන්නේ සල්ලි උල්පතක් නොවෙයි. මාසය අවසානයේදී පොළියත් සමග ගෙවන්න අවශ්‍ය බව අමතකයි.ඒ වුනාට ලොකු ට්‍රොලියකට රාක්කවලින් බඩු අරගෙන පුරවා ගැනීමේ පුහු මානයක් හිතේ ඇති වෙනවා. එතැන් පටන් කියන්නේ අනේ සල්ලි කරත්තයක් අරගෙන ගියත් අද කාලයේ මදි…කියලයි.
නමුත් ඇය පුරවා ගත් කරත්තයේ තිබෙන අනවශ්‍ය දේවල් ඉවත් කලොත් මේ විදිහට ආර්ථිික අපහසුතාවයක් ඇති වෙන්නේ නැහැ.අපි මානසිකව සෝදාපාලුවකට පත් වෙලා…
අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී- සිඟාකෑම බැරි වුනදා ගයා ලගී මර ගී…
එදා කුමාරතුංග මුනිදාස ශුරීන් අපේ මානසිකත්වය ගොඩ නැගුවේ ඒ විදිහටයි. නමුත් අද අපි ලෝකයටම අත පාන ජාතියක්. පවුලක වුනත් ණය ගැනීමට ඇති උනන්දු තමන්ගේ ස්ව ශක්තියෙන් යමක් උපයන්න හිතේ ජවයක් ඇති වෙන්නේ නැහැ.
ණය නිසා මුදලක් මිතුරත් දෙකම නැති වේ…. කිව්ව කාලයේදී හැම දෙනෙක්ම ණය ගැනීමට පෙරාතුව දෙවතාවක් හිතුවා. අද එහි අනිත් පැත්ත. ණයක් ගත්තොත් දිණුම් කියන තැනට අපි පත් වෙලා. ණයක් ගැනීම වරදක් නැහැ. නමුත් ඊට පෙරාතුව හිතන්න. මේ ණය මට අවශ්‍යද…? මම ණය පියවන්නේ කොහොමද…? ණය අරගෙන මම යොදවන දේ කොතරම් දුරට මගේ ජීවිතයට ඵලදායකද…? මේ වගේ තර්ක විතර්ක ඔබෙන්ම අසන්න. ලැබෙන පිළිතුරු අනුව ඔබට ණය ගැනීම හෝ ණය නොගැනීම තිරණය කරන්න පුලුවනි.
දෙන දේ ගන්නවා..එතැන් පටන් බනිනවා.. අපේ රටේ පරමපරාවකම මානසිත්වය දැන් ගොඩ නැගී තිබෙන්නේ දෙන දේ ගන්න..එතැන් පටන් දොස් නගන්න..නොමිලයේ ලැබෙන අධ්‍යාපනය ලබා ගන්නවා. එතැන් පටන් අපේ රටේ අධ්‍යාපනයට බනිනවා. අපේ රටේ සෞඛ්‍ය සේවයෙන් උපරිම ප්‍රයෝජන ගන්නවා. වෙන රටවල්වල නම් මේ තරම් දියුණුයි. ඒවා හිතනකොට අනේ අපි කොතැනද කියල හිතෙනවා. ඒ වුනත් හදිස්සියට ඇති වෙන අසනීපයට, ශල්‍ය කර්මයට අපේ සෞඛ්‍ය සේවාවන්ගෙන් ලැබෙන පිහිට ගැන කිසිම කෘතවේදිත්වයක් නැහැ.
ඒ වගේම තමයි. අතීතයේදී අපට ඉගැන්නුවේ මේ සිංහල අපගේ රටයි. අපි ඉපදුන මැරුන රටයි…ඒත් අද දෙමව්පියන් දරුවන්ට කියන්නේ මොකක්ද මේ රට….? අපට ජීවත් වෙන්න සුදුසු රටක් නොවෙයි. පිටරටකට යන්නම ඕන… නමුත් දියුණු වෙන්න බැරි පුද්ගලයාට කොයි රටට ගියත් දියුණු වෙන්න බැහැ.
බිල් ගේට් ලෝකයට ලබා දුන්න හොඳ පණිවිඩයක් තියෙනවා. ඔබ දුප්පතෙකුව වී උපදින්න පුලුවනි. එය ඔබේ වරදක් නොවෙයි…නමුත් ඔබ දුප්පතෙකුව මියයන්නේ නම් ඒ ඔබේ වරදින්ය…
නමුත් බුදුහාදුරුවන්ගේ දවසත් අසු කෙළක් ධනය ඇතුව සිටියත් අවසානයේදී සිඟමනට පත් පුද්ගලයන් සිටියා. ඒ වගේම මළ මී කුණකින් කෝටිපති වුන පුද්ගලයන් සිටියා. ඒ සියල්ලම ඔවුන්ගේ පැවැත්මෙන් සිදු වුන දේවල්.
ධනාත්මකව හිතන්න.. ඔබ නිතරම ධනාත්මකව හිතන්න. මානසික වෙනසක් කිරීම අවශ්‍යයි… සකසුරුවමක් ඇතුව ජීවත් වීම පුරුදු කරන්න නම් මානසිකව වෙනසක් කරන්න අවශ්‍ය කාලයක් දැන්. නිකම් දෙන දේ මත යැපෙන්න පුරුදු වෙලා සිටින මානසිකත්වය වෙනස් කරන්න දැන් කාලය ඇවිත්.
තරුණ පරම්පරාවේ ආකල්ප වෙනසක් අවශ්‍යයි… අපේ තරුණ පරම්පරාව බුද්ධිමත්. ජව සම්පන්නයි. තාක්ෂනයෙන් සන්නද්ධයි. මේ සියලු හැකියාවන් සමග ඔවුන් රටට යමක් කරන්න පෙර ඔවුන්ට යමක් හෝ කර ගැනීමට ස්වයං අභිප්‍රේරණ ගොඩ නැගීම අවශ්‍යයි. ඒ නිසා අපේ අධ්‍යාපනය වුනත් ප්‍රායෝගික වීම වැදගත්. ස්වයංපෝෂණය වීමේ න්‍යාය නොව ඒ වෙනුවෙන් යොමු වෙන මාර්ගය කියා දීම සහ අවශ්‍ය දැණුම ප්‍රායෝගිකව ලබා දිය යුතුයි. ඒවා දකින විට ඔවුන් තුළ ආකල්ප සංවර්ධනය වී කුසලතාවයන් තව තවත් මුවහත් වේවි.
අපේ රටේ දක්ෂ දරුවන් සිටිනවා. ඔවුන්ගේ හැකියාවන් සංවර්ධනය කිරීමට අවස්ථාවක් නැහැ. නිතර අපි ප්‍රායෝගික වීම වැදගත්. ජීවිතයේ සකසුරුවමත් ප්‍රායෝගිකව පෙන්වා දීම වැදගත්. අම්මා, තාත්තා කිසිම සකසුරුවමක් නොමැති නම් දරුවන්ගේ රටාව ඊටත් වඩා හානිකර ලෙසින් සිදු වෙන්න පුලුවන්. නිතරම දරුවන්ට සරලව, චාම් ජීවිතය ගැන ප්‍රායේගිකව කියා දෙන්න. ඔබේ දරුවාත් ජීවිතය මනා ලෙසින් හැඩ ගසා ගත් වාසනාවන්ත දරුවෙක් වෙනු ඇත. මහ කකුළුවා හරහට ගමන් කරමින් පැටවුන්ට කෙලින් යන්නට උපදෙස් දීමට වඩා ඔබ නිවරැදි වෙන්න. එවිට දරුවන්ද තමන්ගේ ජීවිතය යහපත් ලෙසින් ගොඩ නගා ගනු ඇත.
Leave feedback about this