පවුලේ දරුවන් නිතරම රණ්ඩු වෙන එක ගැන මව්පියන් මැසිවිලි නගනවා. මෙය මව්පියන්ටද මානසික පීඩනයක් වී ඇති බවයි පෙනෙන්නේ. කාර්ය බහුල වූ ජීවන රටාවකට සිර වී මානසික පීඩනයකින් සිටින මව්පියන්ගේ ප්‍රතිචාරයද අනෙක් අතට දරුවන්ට හානිකර ලෙස බලපාන්නටද පුළුවන්. එනිසා ඇත්තටම දරුවන් නිතරම රණ්ඩු කරන්නේ ඇයි? මේකට මොකද කරන්නෙ…? යන්න පිළිබඳ සොයා බැලීම වැදගත් වෙනවා.
එක් දරුවෙකුට වඩා දරුවන් ඉන්න පවුලක සහෝදර සහෝදරියන් අතර රණ්ඩු සරුවල් ඇති වීම හරිම සාමාන්‍ය දෙයක්. ඇත්තටම එහෙම වෙන්නත් ඕනෙ. ඒක අවශ්‍යයි. ඒකට කියනවා සහෝදර එදිරිය කියලා. මව්පියන් කවදාවත් මේ නිසා තමන්ගේ දරුවන් දිහා වැරදි දෙයක් හෝ නරක දෙයක් කියන කෝණයෙන් බලන්න හොඳ නැහැ. මව්පියන්ට පුළුවන් වෙන්න ඕනේ ඒ තත්වය හරියට හසුරුවාලන්න. එහෙම හරියට හසුරුවා ගන්න බැරි නිසයි ඒක කරදරයක් වෙන්නෙ. අද බොහෝ පවුල්වල අම්මා සහ තාත්තා යන දෙදෙනාම රැකියාවලට යෑම නිසා කාර්ය බහුලයි. ඒ නිසා දරුවන්ගේ මෙම හැසිරීම ඔවුන්ට කරදරයක් හා මානසික පීඩනයක් ලෙස දැනෙන්න පුළුවන්.
ඒක ඉතාම වැදගත් ප්‍රශ්නයක්. මව් කුස පිළිසිඳ ගැනීමේ සිටම දරුවෙකුගේ පෞරුෂ වර්ධනය සිදු වෙනවා. මව් කුසින් බිහි වූවාට පසුව මේ සඳහා සෘජුවම බලපාන්නේ පවුල් පරිසරයයි. මෙහිදී සහෝදර සම්බන්ධතාව ඉතාම වැදගත්. සහෝදර එදිරිය දරුවන්ගේ පෞරුෂ හා කුසලතා වර්ධනයට විශාල බලපෑමක් ඇති කරනවා. අපිට ජීවිතේදි බොහෝ තර්ජන, අභියෝග හා ගැටුම්වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේවාට සාර්ථකව මුහුණ දෙන්න අවශ්‍ය පුහුණුව මෙහිදී දරුවන්ට ලැබෙනවා.
සහෝදර එදිරියේදී වයසින් බාල දරුවා වැඩිමහල් දරුවාගෙන් බොහෝ කුසලතා ඉගෙන ගන්නවා. සාමාන්‍යයෙන් වැඩිමලා ප්‍රබල වීම හා බාලයා දුබල වීමත්, පිරිමි දරුවා ප්‍රබල වීම හා ගැහැණු දරුවා දුබල වීමත් බොහෝ විට දකින්න ලැබෙන දෙයක්. බොහෝ වෙලාවට දරුවන්ගේ මෙවැනි හැසිරීම් රටාවකින් පෙනෙන්නේ වැඩිමලා බාලයාව පිළි නොගැනීම හෝ ප්‍රතිෂේප කිරීමයි. නිතරම වාචිකව ඒ කියන්නේ බාලයාගේ වැරදි හොයමින් හා ඒවා කියමින් බාලයාව නරක හා වැරදිකරුවෙකු කිරීමත් තමා ඊට වඩා හොඳයි හා නිවැරදිකරුවෙකුය යන්න සනාථ කිරීමයි. අනික තල්ලු කරන්න, කොනිත්තන්න, ගහන්න පෙළඹීම වගේ ශාරීරික හිංසා, පීඩා කිරීමත් තමාගේ දේවල් අල්ලන්නටවත් ඉඩ නොදීම තුළින් බාලයාව පීඩාවට හා අපහසුතාවට පත් කරමින් ප්‍රතිෂේප කිරීමත් බොහෝ විට දකින්න ලැබෙනවා. මේ තුළින් දරුවන් බොහෝ දේ ඉගෙන ගන්නවා. මෙහිදී පීඩිතයා කරන්නේ හැඬීම හෝ මග හැරීම හෝ ප්‍රති ප්‍රහාර එල්ල කිරීමයි. මේ හැම ප්‍රතිචාරයක්ම වැදගත්. පීඩිතයා හඬන කොට පීඩකයා තුළ තම සහෝදරයා හෝ සහෝදරිය ගැන අනුකම්පාව, ආදරය හා සෙනෙහස ඇති වීමට හේතු වෙනවා. තමා හිංසාවක් කළ බවට පසුතැවීමක් ඇතිවීම, මෙන්ම විටෙක ඔහු වෙනුවෙන් නම්‍යශීලී වීම හා යළි ඔහුට සහාය වීමද දකින්න ලැබෙනවා. මෙහිදී අන්‍යෝන්‍ය වශයෙන් යළි එකිනෙකාව පිළි ගැනීම හා සමාව දීම හා මිතුරු වීම සිදු වෙනවා. ඒ කියන්නේ දරුවන් තුළ මානුෂීය ගුණාංග වර්ධනය වෙනවා. එමෙන්ම පීඩිතයා ප්‍රති ප්‍රහාර එල්ල කිරීම හෝ මග හැරීමට උත්සාහ කිරීම තුළින් තමා තනිවම ආරක්‍ෂා වීමට උපක්‍රම හා ප්‍රයෝග පාවිච්චි කරන්න ඉගෙන ගන්නවා. ඒ වගේම සහෝදර සහෝදරියන් අතර එදිරියේදී ගැහැණු හා පිරිමි යන ලිංගිකත්‍වය අනුව එකිනෙකාගේ කායික හා මානසික ශක්ති ප්‍රමාණය, දරා ගැනීමේ හැකියාව, හැඟීම් හා සිතුම් පැතුම් හඳුනා ගැනීමට අවස්ථාව ලැබෙනවා. මේ හැම දේකින්ම වෙන්නේ දරුවන්ගේ කුසලතා වර්ධනය වීමක්. දරුවන්ට මින් යහපත් ප්‍රතිඵල ලැබෙන්නේ මව්පියන් විසින් මෙවැනි අවස්ථාවන් ඒ කියන්නේ සහෝදර එදිරිය නිසියාකාරව හසුරුවාලීමෙන් පමණයි.
සහෝදර එදිරිය ඇති වන්නේ පවුලට දෙවෙනි දරුවෙකු ලැබුණාමයි. වැඩිමල් දරුවා දෙවැන්නාව පිළි ගන්න කැමති නැහැ. සහෝදර එදිරිය නිසියාකාරව හසුරුවාලීම වැදගත් වෙන්නේ ඒ නිසයි. එය නිසියාකාරව හසුරුවාලන්න පුළුවන් දෙයක්. මව්පියන් ඒ පිළිබඳව දැනුවත් විය යුතු වෙනවා. එහිදී අවධානයට ගත යුතු කරුණු කිහිපයක් තියෙනවා.
මව්පියන් විසින් පළමුවෙන්ම කළ යුතු වෙන්නේ නංගිව හෝ මල්ලිව පිළි ගැනීම සඳහා වැඩිමල් දරුවාව සූදානම් කිරීමයි. පවුලට දෙවැන්නෙකු එන තුරු මව්පියන් හා ඥාතීන්ගේ ආදරය හා අවධානය මුළු මනින්ම භුක්ති විඳින්නේ වැඩිමල් දරුවායි. දෙවැන්නෙකු පැමිණි පසු තමා තනිවම භුක්ති විඳි ආදරය හා අවධානය තමාට අඩු වීමත් එය බාලයා කෙරෙහි යොමු වීමත් දකින්නට ඔහු කැමති නැහැ. මේ නිසා මව්පියන් වශයෙන් තමන්ගේ ආදරය දෙදෙනාටම එක වාගෙ ලැබිය යුතු බව පිළි ගැනීම සඳහා ඔහුව සූදානම් කිරීම ඉතාමත් වැදගත් වෙනවා. වැඩිමල් දරුවා තුළ එම විශ්වාසය ඇති කිරීම හා එය නිසියාකරව හා ආරක්‍ෂාකාරීව පවත්වා ගෙන යාමට මව්පියන් වග බලා ගත යුතු වෙනවා.
ඒ වගේම බාල දරුවා පිළිබඳව යම් කිසි වගකීමක් පවරන්න පුළුවන්. නංගී හෝ මල්ලිගේ වැඩ වලට උදව් කරන්න, එයාට ඇහෙන්න කතන්දර කියන්න, සින්දු කියන්න වැනි වැඩිමල් දරුවාගේ වයසට ගැලපෙන යම් ක්‍රියාකාරකම් පවරන්න පුළුවන්.
නංගී හෝ මල්ලියෙක් සිටීමෙන් ලැබෙන වාසි හා ප්‍රයෝජන ගැන දැනුවත් කරන්න පුළුවන්.
මේ ආකාරයට දෙවෙනි දරුවා මව් කුසයේ සිටින කාලයේ පටන්ම වැඩිමල් දරුවාව සූදානම් කිරීම වැදගත් වෙනවා. එසේ කිරීමේදී දෙවෙනි දරුවා නිවසට පැමිණි පසු වැඩිමල් දරුවාට නංගී හෝ මල්ලිව ආගන්තුකයෙකු ලෙස දැනෙන්නේ නැහැ. ඒ වගේම අපි අවධානයට ගත යුතු තවත් වැදගත් කාරණයක් නම් සහෝදර සහෝදරියන් අතර රණ්ඩු ඇති වීම මුළු මනින් ම වළක්වන්නට පුළුවන් කාරණාවක් නොවේ. අනික එය මුළු මනින් ම වැළැක්විය යුතු දෙයකුත් නොවේ. ඒ තුළින් දරුවෝ බොහෝ දේවල් ඉගෙන ගන්නවා.
මෙහිදී විමසිලිමත් විය යුතු කාරණයක් තියෙනවා. ඒ තමයි මව්පියන් දරුවන්ට දඬුවම් කරන්නේ සාධාරණ පදනමකින්ද කියන කාරණය. සමහර විටෙක මව්පියන්ගේ දඬුවම් කිරීම සාධාරණ පදනමකින් තොර වෙන්න පුළුවන්. තමන් තුළ තියෙන මානසික පීඩනය මත ආවේග පිට කිරීමක් වෙන්නත් පුළුවන්. ඒ නිසා දඬුවම් කළ යුතු නිසි තැනදී මෙන්ම දරුවාට දරා ගන්නට පුළුවන් ආකාරයෙන් දඬුවම් කිරීමට මව්පියන් වග බලා ගත යුතු වෙනවා.
ඒ වගේම දරුවන්ගේ රණ්ඩු දබර වලදී දඬුවම් කරනවා නම් එය දෙපාර්ශචවයටම සාධාරණ වීම හා අපක්‍ෂපාතී වීම හරිම වැදගත්. ඒකට හේතු කීපයක් තියෙනවා. බොහෝ වෙලාවට මෙවැනි අවස්ථාවලදී මව්පියන් බාල දරුවාගේ පැත්ත ගන්නවා. එසේ කළ යුතු අවස්ථාද තියෙනවා. වැඩිමල් දරුවා බාලයාට ගහන කොට හෝ කරන කුමක් හෝ ක්‍රියාවක් බාලයාට දරා ගන්නට අපහසු නම් හෝ ඔහුට ඉන් හිංසාවක් හෝ හානියක් වෙනවා නම් ඔහුව ආරක්‍ෂා කළ යුතු වෙනවා. ඒ හැරුනු කොට සෑම අවස්ථාවකම නිසියාකාරයෙන් දඬුවම් කිරීමට මව්පියන් වග බලා ගත යුතුයි.
අනික් කාරණය තමයි මව්පියන් පක්‍ෂපාතී වෙන්නේ බොහෝ වෙලාවට බාල දරුවාටයි. “ මෙයා හරි නපුරු ළමයෙක්… හැම තිස්සේම අර පොඩි එකාට වද දෙනවා” කියමින් වැඩිමල් දරුවාව ප්‍රතික්‍ෂේප කිරීමටත්, බාල දරුවාව ආරක්‍ෂා කිරීමටත් පෙළඹෙනවා. ඇත්තටම මෙය නොකළ යුතු දෙයක්. හානියක් හෝ අවදානමක් පෙනෙන විටෙක එහෙම ආරක්‍ෂා කරන්න ඕනෙ. ඒ හැරුණු කොට හැම තිස්සේම ආරක්‍ෂා කිරීමෙන් බාල දරුවාට අවාසියක් වෙනවා. ඒ කියන්නෙ ඔහු හැම තිස්සේම තව කෙනෙකුගේ ආරක්‍ෂාව මත යැපෙන්න පුරුදු වෙනවා. තර්ජනයක්, අභියෝගයක් හමුවේ එයට තනිවම මුහුණ දෙන්න තමා තුළ තියෙන ශක්තීන් හා කුසලතාවන් පාවිච්චි කරන්න පෙළඹෙන්නේ නැහැ. ඒක දරුවාගේ පෞරුෂ වර්ධනයට හානියක්.
දඬුවම් කිරීමෙන් අපේක්‍ෂා කළ යුතු වන්නේ දරුවා තුළ යහපත් වෙනසක් ඇති කිරීමයි. ඒ නිසයි දඬුවම් කිරීම නිසියාකාරයෙන් කළ යුතු වන්නේ. තවද දඬුවම් කිරීම වගේම ත්‍යාග දීමද දරුවා තුළ යහපත් වෙනසක් ඇති කිරීමට හේතු වෙනවා. දඬුවම් කිරීම තුළින් දරුවාට අවාසියක් ද ත්‍යාග දීම තුළින් වාසියක් ද වෙනවා. ඒ වගේම මව්පියන් අනිවාර්යෙන්ම මතක තබා ගත යුතු දෙය තමයි තමන් කියපු දඬුවම් කිරීම හෝ ත්‍යාග දීම කියූ ආකාරයෙන්ම ඉටු කිරීම. එසේ නොවුණහොත් දරුවන් තුළ මව්පියන් කෙරෙහි තිබූ විශ්වාසය කඩ වෙනවා. දඬුවම් කිරීම යන්න කෙරෙහි බරපතල කමක් හා වගකීමක් නොදැනී යාම මෙන්ම බියක් නැති වීම ඒ කියන්නේ දඬුවම් ලැබීමට බියක් ඇති නොවෙන්න පුළුවන්. ඒ වගේම ත්‍යාග ලැබීමේ අගය හා ජයග්‍රහණයේ වටිනාකම හඳුනා ගැනීමට ඇති අවස්ථාවන් අහිමි වෙනවා. ත්‍යාග ලැබීම වෙනුවෙන් දැරූ උත්සාහයට බලාපොරොත්තු වූ ත්‍යාග නොලැබීම නිසා බලාපොරොත්තු කඩ වීමට ලක් වෙනවා.
අපි උදාහරණයක් ගනිමු. දරුවන් දෙදෙනාටම කතා කරලා කියන්න පුළුවන් “අද දවසම රණ්ඩු කරන්නේ නැතිව හිටියොත් හවසට දෙන්නාවම ගමනක් එක්කන් යනවා.” මෙහිදී එම වාසිය දෙදෙනාටම පොදුවේ ලැබෙන නිසා දෙදෙනාම රණ්ඩු නොවී ඉන්න උත්සාහ කරනවා. හැබැයි රණ්ඩු නොකර හිටියා නම් හවසට දෙන්නාවම ගමනක් එක්කන් යාම මව්පියන් විසින් කළ යුතු වෙනවා.
ඒ වගේම ” අද රණ්ඩු කළොත් එහෙම දෙන්නාටම හවසට සෙල්ලම් කරන්න යන්න දෙන්නේ නැහැ” මෙහිදී ද එම අවාසිය දෙදෙනාටම පොදුවේ භුක්ති විඳින්නට වෙන නිසා දෙදෙනාම රණ්ඩු නොවී ඉන්න උත්සාහ කරනවා. ඇත්තටම රණ්ඩු නොකර සිටියා නම් දෙදෙනාටම හවසට සෙල්ලම් කරන්න යන්න ඉඩ දෙන්න ඕනෙ. මේ ආකාරයෙන් රණ්ඩු කරන්නේ දෙදෙනාම නිසා දෙදෙනාටම දැනෙන්නට යමක් කරන්න ඕනෙ.
එසේත් නැතිනම් දරුවන්ගේ රණ්ඩු දබරවලට මව්පියන් මැදිහත් නොවී ඔවුන්ටම විසඳා ගැනීමට ඉඩ දී මග හරින්න පුළුවන්. හැබැයි කාට හරි හානියක්, අනතුරක් වෙනවා නම් මැදිහත් වෙන්න ඕනෙ. දෙන්නාව දෙපැත්තට කරලා දෙදෙනාවම තනි තනියෙන් තියලා යම් කිසි වැඩක්, වගකීමක් පවරන්න පුළුවන්.
ඔව්. සහෝදර එදිරිය කියන්නේ බොහොම සාමාන්‍ය දෙයක්. ඒ මත දරුවන්ගෙන් දකින්න ලැබෙන චර්යා රටාව සාමාන්‍ය දෙයක්. තේරුම් ගත යුතු ප්‍රධාන කාරණාවක් තියෙනවා. හැම පුද්ගලයෙක්ම එකිනෙකාට වෙනස්. එකම පවුලේ වුණත් ඒ ඒ දරුවන්ට ආවේණික ගති ලක්‍ෂණ, රුචි අරුචිකම්, සිතුම් පැතුම් තියෙනවා. ඒත් මව්පියන් බොහෝ වෙලාවට දරුවන්ව සංසන්දනය කරනවා. ඒක සාධාරණ නැතුවා වගේම ප්‍රායෝගික වන්නෙත් නැහැ. දරුවන්ව සංසන්දනය කරන්න සහ ප්‍රතික්‍ෂේප කරන්න හොඳ නැහැ. “ ඔයාට වඩා මල්ලි හොඳයි… ඔයා හරි නපුරු ළමයෙක්… කොහෙන් ආපු ළමයෙක් ද මන්දා මෙයා…” වැනි දෝෂාරෝපණයන් හා වාචිකව හෝ ප්‍රතික්‍ෂේප කිරීම නොකළ යුතුයි.
ඒ වගේම දරුවන් අනුකරණය කරන්න හරිම කැමතියි. නිවසේ පරිසරය අනිවාර්යයෙන්ම බලපානවා. මව්පියන් හෝ නිවසේ වෙනත් වැඩිහිටියන්ගේ රණ්ඩු දබර වීම් නිතරම දකින්න ලැබෙන කොට දරුවෝ ඒවා අනුකරණය කරනවා.
ඒ වගේම තමයි මාධ්‍යයන්. විවිධ මාධ්‍යයන් තුළින් දරුවන් නිරතරුව අසන හා දකින දේවල් අනුකරණය කරනවා. අද දරුවන් ප්‍රචණ්ඩකාරී වීමට ප්‍රබල හේතුවක් වෙලා තියෙනවා මාධ්‍යය.
වෛද්‍යතුමනි, ඔබ ඉහත සඳහන් කළා සහෝදර එදිරිය මත දරුවන්ගෙන් දකින්න ලැබෙන චර්යා රටාව සාමාන්‍ය දෙයක් කියලා. මේ පිළිබඳව තව දුරටත් පැහැදිලි කරන්න පුළුවන්ද?
ඔව්. ඒක දරුවන්ගෙන් දකින්න ලැබෙන සාමාන්‍ය චර්යා රටාවක්. හැබැයි දිගින් දිගටම රණ්ඩු වීම හා ඒ තුළ ප්‍රචණ්ඩකාරී බවක් දකින්න ලැබීම මෙන්ම දරුවන් දෙදෙනාටම හෝ එක්කෙනෙකුට හානිදායක හෝ අනතුරුදායක බවක් පෙනෙනවා නම් එහි දී එම දරුවන් පිළිබඳව විශේෂ අවධානය යොමු කළ යුතුයි. මන්ද එය අසාමාන්‍ය චර්යා රටාවක් වෙන්න පුළුවන්. මෙය සමහර විටෙක රෝගී තත්වයක් වෙන්නටත් ඉඩ තියෙනවා. එය මුළදීම හඳුනා ගෙන සුදුසු පරිදි ඖෂධ ප්‍රතිකාර හා /හෝ චර්යා රටා සඳහා ප්‍රතිකාර ලබා නොදුන්නොත් එය දරුවාගේ මුළු ජීවිතයම අඳුරු වීමට හේතු වෙන්න පුළුවන්.
දැනුවත් කිරීම
ළමා මනෝ විශේෂඥ වෛද්‍ය රසිත පෙරේරා මහතා
සාකච්ඡාව සහ සටහන
කේ.ජී. මනෝජා සන්ද්‍යාරාණි
මනෝ උපදේශිකා
071 454 8290
Leave feedback about this