ඔක්තෝබර් 24, 2025
Start Foods Kids Parent Pulse Article Featured Image
දරුවන්ගේ සුව දිවිය සුව දිවිය

බබාට කෑම පටන් ගන්න කාලේ හරි නේද?

ඉපදුණු දින සිට මවගේ කිරි වලින් පමණක් පෝෂණය වු පුංචි පැටියට මාස හය සම්පූර්ණ වු පසු අමතර ආහාර ලබා දීම ආරම්භ කළ යුතුය.
ආහාර ලබාදීමේ දීම ආරම්භයේ මව්වරුන් විශේෂයෙන් අවදානය යොමු කළ යුතුයි.

  • හයවන මාසයේදී දිනකට එක් ආහාර වේලක් ලබාදිය යුතු වන අතර හත් වන මාසයේ එය දිනකට ආහාර වේල් දෙකක් දක්වා ද අට වන මාසයේදී එය දිනකට වේල් තුනක් දක්වා ක්‍රමයෙන් වැඩි කළ යුතුය.
  • ආහාර දීම ආරම්භ කරන විට එක් වරකට එක් ආහාර වර්ගයක් පමණක් හඳුන්වා දිය යුතුය. එසේ කළ යුතු වන්නේ කුමක් හෝ ආහාර වර්ගයකට දරුවා අසාත්මිකතාවයක් දැක් වුවහොත් එය හඳුනා ගැනීම පහසු වීමටයි. කිසියම් තනි ආහාර වර්ගයක් දින දෙකක් පමණ ලබා දී කිසිඳු ගැටලුවක් නැති බවට තහවුරු කරගත් පසු දරුවාට ගැටලුවක් නැති බව තහවුරු කරගත් වෙනත් ආහාර වර්ගයක් සමග මිශ්‍ර කර දීම වරදක් නැත. හැකි උපරිමයෙන් දේශීය ආහාර වර්ග ලබා දිමට උත්සහ කිරිම ඉතා වැදගත්ය.
  • ආහාර කැවීමේදී දරුවාගේ හිස හා ශරීරය සෘජුව තබා ගැනීම ඉතා වැදගත්.
  • දරුවාට ආහාර ලබා දීම සඳහා බෝතල් පාවිච්චි නොකළ යුතු අතර ඒ සඳහා ආහාර කවන්නට මෘදු හැන්දක් තෝරා ගන්න
  • දරුවාගේ ආහාරයට ලුණු හෝ සීනී මිශ්‍ර නොකරන්න.
  • ආරම්භයේදීම වතුර මිශ්‍ර නොකල පළතුරු යුෂ ලබා දීමට හැකිය. දොඩම්, අඹ, කෙසෙල්, අලි පේර වැනි පළතුරු මේ සඳහා පාවිච්චි කළ හැකිය. මුලින්ම යුෂ ආකාරයෙන් ලබා දී සතියක් හෝ දෙකක් ගත වන විට ක්‍රමයෙන් තරමක් ඝණ තත්ත්වයෙන් යුතු උකු දියරයක් ආකාරයෙන් ලබා දීමට වග බලා ගන්න. මව්වරුන්හට විශේෂයෙන් අවධාරණය කල යුතු කාරණාවක් වන්නේ සීනී භාවිතය දරුවාට ඉතා අහිතකර බවය. දරුවාට අවුරුද්දක් ගත වු පසු සීනී සහ ලුණු ලබාදිය හැකි වුවත් එයද හැකිතාන් ප්‍රමාද කර ලබාදිය හැකි නම් වඩා යහපත්ය.
  • ආරම්භක අවස්ථාවේදී දරුවාට සුප් වර්ග පිළියෙල කිරීමේදී කවුපි, පරිප්පු වැනි ධාන්‍ය වර්ගයකින් හැන්දක් දෙකක් පාවිච්චි කිරීම සුදුසුය. පසුව එයට පලා වර්ග එකතු ගත හැකි සේම එය ඝණකම කිරීමට අර්තාපල් කැරට් හෝ වට්ටක්කා ආදිය යොදාගත හැකිය. සති දෙකකට පමණ පසුව කුඩා මා`ඵ වර්ග, වියළි හාල් මැස්සන් වැනි දේ යොදාගත හැකිය. වියළි හාල් මැස්සන් ලබා දෙන විට ඒවයේ ලුණු හොඳින් ඉවත් කර සුප් එකට යොදා ගතයුතුය. ඒ සඳහා වියළි හාල් මැස්සන් පෙර දින රාත්‍රීයේදී වතුරෙ පෙඟෙන්නට දමා පසුව හොඳින් සෝදන්න. පසුව අව්වේ වේලා ගත් පසු හොඳින් අඹරා වියලි කුඩු ස්වභාවයෙන් සකස් කර සුළං නොවදින වියළි පිරිසිදු භාජනයක අසුරා තබා ගත් විට සුප් පිළියෙළ කරන විට එයින් හැන්දක් හෝ දෙකක් එකතු කරගත හැකිය. අවශ්‍ය නම් පොල් තෙල් වැනි වර්ගයක් හෝ ලුණු අඩංගු නොවන බටර් සුප් එකට එකතු කිරීමට හැකිය. එවිට එහි වැඩි කැලරි ප්‍රමාණයක් අඩංගු වන නිසා දරුවාගේ ඉක්මන් වර්ධයට එය උපකාරී වෙයි. සති දෙකක්වත් යන තුරු දරුවාගේ ආහාර වේල ඝණකම් දියරයක් ආකාරයට ලබා දෙන්න.
  • කැඳ වර්ග ලබා දීමේදී ආරම්භයේදී සැහැල්ලු දියර ලෙසින්ද සති දෙකක් වන විට ඝණකම දියරයක් වන ලෙස කැඳ වර්ග සකස් කරන්න.
  • බිත්තර ලබාදෙන විට හොඳින් තැම්බූ බිත්තර හැරෙන්නට භාගෙට තැම්බූ බිත්තර දීමෙන් වලකින්න. එසේම බිත්තර බැද ගන්නා විට දෙපැත්තම හොඳින් බැදගන්න. එය දරුවාගේ සෞඛ්‍යය ආරක්ෂාවට ඉතා වැදගත්ය. එසේම මුලින් ඔබ දරුවාට ලබා දිය යුත්තේ බිත්තර කහ මදයෙන් සුලුකොටසකි. පසුව සුදු මදය එක් කළ හැකිය. දරුවාට වසරක් සම්පූර්ණ වූ පසු දිනකට බිත්තරක් ලබා දීමේ වරදක් නැත. ඔබ දැන ගත යුතු තවත් කාරණාවක් වන්නේ කහ මදයේ පැහැය පෝෂණය අඩු වැඩි නොකරන බවය. බිත්තර කල් ඉකුත් වන බැවින් සෑම විටම අලුත් බිත්තර තෝරා ගැනීමට වගබලා ගන්න. බොහෝමයක් මව්වරු දරුවාට චීස් ලබා දීමට කැමති වුවත් එහි ලුණු අඩංගු වන නිසා මෙම වයසේදී චීස් ලබා දීම අනුමත කල නොහැකිය. හත්වන මාසය අවසන් වූ පසු මාලු හා කුකුල් මස් ලබා දීමට හැකිය.
  • වසරක් සම්පූර්ණ වු පසු දරුවාට දිනකට ප්‍රධාන ආහාර වේල් තුනට අමතරව කෙටි ආහාර වේල් දෙකක් හා කිරි ලබා දිය යුතුය.
  • කුඩා දරුවන්ගේ කුසෙහි ප්‍රමාණය කුඩා නිසා ඔවුන්ට ලබා දෙන කුඩා ආහාර වේලෙහි වැඩි කැලරි ප්‍රමාණයක් ලැබෙන පරිදි ප්‍රෝටීන්, පිෂ්ඨය හා මේදය වැඩි වශයෙන් අඩංගු ආහාර ලබාදීමට උනන්දුවන්න.
  • බර අඩු දරුවන්ට රජය මගින් ත්‍රි පෝෂ ලබා දෙයි. පළතුරු අර්තාපල් ,නිවසේදී සාදා ගන්නා ලද කෑම වර්ග, කඩල වැනි ධාන්‍ය වර්ග ද අමතර ආහාර වේල් සඳහා දිය හැකිය.
  • ප්‍රධාන ආහාර වේල් වලට පැයකට පෙර හා කෙටි ආහාර වේල් වලට පැය එකහාමාරකට පෙර වෙනත් ආහාර වර්ග ලබා නොදීමට වග බලාගන්න.
  • දරුවාගේ ආහාර සකස් කිරීමට කිසි විටකත් බෙලෙන්ඩරය භාවිත නොකරන්න.එයට හේතුව බෙලෙන්ඩර් කරන විට ආහාර ඉතා සියුම් කැබලි බවට පත් වන නිසා දරුවාට ගිලීමට පහසු වීමෙන් දරුවා ආහාර සැපීමට උත්සහ නොකරන නිසා දරුවා සැපීමට ඉගෙන නොගනියි.
  • ක්‍රමයෙන් ඝණ ආහාර වලට පුරුදු කරන විට දරුවා ආහාර විකීමට නොදන්නා නිසා ආහාර ගිලීම ප්‍රතික්ෂේප කර කටෙහි රඳවා තබා ගැනීමට පෙළඹේ. එය දරුවාගේ පෝෂණයට සෘජුවම බලපාන නිසා බර අඩු වීමට බලපාන කාරණයක් වෙයි.
  • දරුවාට ආහාර සැපීමට උනන්දු කරවන ආකාරයෙන් පොඩි කරගත් ආහාර දීම ලබා දිය යුතුය. දත් නොමැති වුවත් වීදුරුමහ ශක්තිමත් නිසා දරුවාට ආහාර විකීමට අපහසු වන්නේ නැත. එම නිසා දරුවාගේ ආහාර පොඩි කිරීමට ඔබේ අත හෝ නෑඹිලිය භාවිත කරන්න.
  • මව්වරුන් විසින් තමන්ට ඇති තරමට දරුවාගේ බඩ පිරවීමට දරන උත්සහය නිසාවෙන් දරුවාට ආහාර ගැනීම පවා එපා විය හැකිය. දරුවාට ආහාර අවශ්‍ය ප්‍රමාණය හඳුනා ගැනීමට උත්සහ කරන්න.
  • සාමාන්‍යයෙන් අවුරුදු එකට අඩු දරුවෙකුට ලබාදිය හැකි ආහාර ප්‍රමාණය දරුවාගේ මිට මෙලවූ අතෙහි ප්‍රමාණයට ආසන්න වේ. දරුවාගේ කුස පිරී ඇත්නම් ඔහු තව දුරටත් ආහාර ලබාගැනීම ප්‍රතික්ෂේප කරනු ඇත. කුස පිටතින් පෙනෙන ආකාරය පරීක්‍ෂා කිරීමෙන්ද ඔබට එය පිරී තිබේද යන්න තේරුම් ගත හැක.
  • දරුවාට ලබා දෙන ආහාර ප්‍රමාණය සේම ආහාරයෙහි අඩංගු පෝෂණ ගුණයද සැලකිල්ලට ගත යුතුය. දරුවාට සමබල ආහාර වේලක් ලබාදීමට ඔබ සැමවිටම වගබලාගත යුතුයි.
  • සමබල ආහාර වේලක ප්‍රෝටීන්, පිෂ්ඨය මෙන්ම මේද අඩංගු විය යුතුයි. බත් සහ ධාන්‍ය වර්ග වල පිෂ්ඨයද, මාළු, හාල් මැස්සන්, සෝයා, බිත්තර, කිරි වැනි දේවල ප්‍රෝටීන් ද පොල්තෙල් හා අනෙකුත් තෙල් වර්ග, බටර් හා මාගරින් වල මේදය අඩංගුයි.
  • ඊට අමතරව පලා වර්ග වල හා පලතුරු කෙඳි සහිතයි. එසේම කජු, රට කජු, කොට්ටම්බා මද ආදියද ඉතා පෝෂ්‍යදායී වේ. නමුත් කජු, රට කජු, කොට්ටම්බා මද වයස අවුරුදු පහට අඩු දරුවන්ට දීමෙදී කුඩා කැබලි බවට පත් කර ලබා දිය යුතුය. නැතිනම් දරුවාට මේවා හිරවී ජීවිත අවදානමක් ඇති කළ හැකිය.
  • දරුවා හිටි හැටියේම ආහාර ප්‍රතික්ෂේප කරන අවස්ථාවක මව ක්‍රියා කළයුත්තේ කෙසේද?
  • දරුවන් ආහාර ප්‍රතික්‍ෂේප කිරීම හේතුවක් නම් මව්වරු බලෙන් දරුවන්ට කැවීමට උත්සහ කිරීමයි. වැඩිහිටියන් වන අපටද ආහාර රුචිය නැතිවන අවස්ථා තිබේ. එහෙත් නැවත එය ඇති කිරීම සඳහා කිසිවකු බල කිරීම අවශ්‍ය නොවන අතර ස්වභාවිකවම කුසගිනි ඇතිවේ . මේ කාරණය දරුවන්ටද පොදු කාරණාවකි. එම නිසා වැදගත්ම දෙය වන්නේ ඔබ කලබල නොවී සිටීමයි. දරුවාට ආහාර ගැනීමට බල නොකිරීමයි. ඔබ දරුවාට කරදර කරන විට තත්ත්වය තවත් අයහපත් වනු ඇත.
  • දරුවා ආහාර ප්‍රතික්‍ෂේප කිරීමට තවත් කාරණයක් විය හැක්කේ දරුවාගේ යම් අසනීප තත්ත්වයක් නිසා ආහාර රුචිය නැතිවී යාමයි. බොහෝවිට මෙය නිතර ඇතිවන තත්ත්වයක් නම් එය රෝගාබාධයක් විය හැකියි. එය යම් ආසාදන තත්ත්වයක් නම් දරුවාගේ ශරීරය එම ආසාදනයට එරෙහිව ක්‍රියාත්මක වන විට වේදනාව හා ආහාර රුචිය ගිලිහී යාම සාමාන්‍යයි. මෙවැනි තත්ත්වයක් දිගින් දිගටම පවතී නම් වෛද්‍යවරයකු වෙත යොමුවන්න.
  • වර්තමාන සමාජයේ ප්‍රධාන ගැටළුවක් බවට පත්වී ඇත්තේ රැකියාවට ගොස් විඩාපත් වී නිවසට පැමිණෙන දෙමාපියන්ට දරුවන්ට ආහාර කැවීම ප්‍රශ්නයක් වීමයි. නිවසට පැමිණෙන ඔබ දරුවාගේ රාත්‍රී අහාරය ඉතා වැදගත් යැයි සිතුවද දරුවාට දෙමාපියන්ගේ උපරිම අවදානය ලබාගැනීමට මෙම මේ සුළු කාලය ඉතා වැදත්ය.
  • දරුවන් සමඟ ගත කිරීමට ප්‍රමාණවත් වෙලාවක් සොයාගැනීමට දෙමාපියන් උනන්දු විය යුතුයි. සෙල්ලම් කිරීම, කියවීම, දරුවන් සුරතල් කිරීම හා ඔවුන්ගේ දක්ෂතා ඇඟයීම ආදී දේ සඳහා දෙමාපියන් වෙලාවක් වෙන් කල විට කෑම වෙලාව එවැනි දේ සඳහා යෙදවීමට උවමනාවක් දරුවාට ඇති නොවනු ඇත.
  • දරුවා සමඟම පවුගේ සියලු දෙනා දිනපතා නියමිත වේලාවකට එකට එක්ව ආහාර ගැනීමට පුරුදුවන්න.
  • කෑම වේල අතර නිසි පරතරයක් තබා ගන්න. ප්‍රධාන ආහාර වේලට පැයකට පැමණ පෙර අමතර ආහාර දීමෙන් වැලකී සිටින්න.
  • ආහාර රුචිය උත්තේජනය කිරීම සඳහා කළ යුතු හොඳම උපක්‍රමය රසවත් ලෙස පිසින ලද විවිධ ආහාර දරුවාට ලබාදීමයි. රසයට මෙන්ම ආහාරයේ පැහැයටද අවධානය යොමු කරන්න. ඔබ දරුවාට එක වේලකට අර්තාපල්, වට්ටක්කා, කැරට් හා පරිප්පු දුන් විට එය පෝෂණය සහිත වුවත් දරුවාගේ ඇසට ප්‍රිය වන්නේ නැත. එම නිසා ආහාර වල වර්ණයද සැලකිල්ලට ගන්නදරුවාගේ ඇසට ප්‍රිය උපදවන ලෙස වර්ණවත්ව, හැඩයන්ට ආහාර පිළිගන්වන්න.

හැකිතාක් ස්වභාවීක උත්තේජන මගින් ආහාර රුචිය වැඩවීමට කටයුතු කළයුතුය. සිරප් වැනි දේවල් මගින් අතුරු ආබාධ වලට ඉඩකඩ ඇත. සිරප් වර්ග ලබා දීමට පෙර අනිවාර්යෙන් වෛද්‍ය උපදෙස් මත පමණක් සිදු කරන්න.


දැනුවත් කලේ,

රූපා පෙරේරා
විශ්‍රාමික පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
අත්තිඩිය.

Leave feedback about this

  • Quality