අපි හැම දෙනෙක්ම හොඳින් දන්න කාරනාවක් තමයි සොබා දහම ලෝකයේ සහ සත්වයන්ගේ පැවැත්ම වෙනුවෙන් අතිශය සියුම් ආකාරවලින් ක්‍රියාත්මක වන බව. ඉතින් කාන්තා ඔබට ඔබේ රූපය කියන්නේ ඒ අකාරයෙන් ප්‍රජනන ක්‍රියාවලියේ පැවැත්ම වෙනුවෙන් පිරිමි පාර්ශවය ආකර්ශනය කරගැනීම සදහා සොබා දහමෙන් ලැබී ඇති එක් වටිනාකමක්. එහෙත් වර්තමානයේ නම් එම අරමුණට වඩා අනවශ්‍ය වැදගත් කමක් රූපය සහ එහි ආකර්ශනශීලී බව කෙරෙහි ආරෝපනය කර තිබෙන නිසා අනවශ්‍ය තරමේ කාලය සහ සම්පත් ඒ වෙනුවෙන් වැය කිරීමට සිදුව තිබෙනවා. ඊටත් වඩා කණගාටුදායක කාරනාව වන්නේ එක් එක් කාලයට වෙනස්වන සමාජයේ රූපලාවන්‍ය ප්‍රවණතා, ශරීර ආකාර සහ ඇඳුම් රටාවලට අනුගත වීමට ගන්නා උත්සාහයන් ගෙන් ප්‍රතිපල නොලැබීම නිසා අනවශ්‍ය මානසික බිද වැටීම්වලට ලක්වීමයි.
විශේෂයෙන්ම ශරීරය මහත්වීම සහ බර වැඩිවීම කාන්තාවන් මෙලෙස දුකට සහ කලකිරීමට පත්වන අවස්ථාවක්. තමන්ගේ ශරීරයේ මහත බව නිසා අන්‍යයන්ගේ ආකර්ශනයක් හෝ පිළිගැනීමක් නොලැබෙන බව සිතීම නිසා තමන්ගෙම ශරීරය පිළිබඳ අකැමැත්ත සහ ලැජ්ජාව අතිවීම මානසික බිඳ වැටීමකට හේතු විය හැකියි. එම නිසා මෙම ප්‍රශ්නය නිවැරදිව හදුනාගැනීම කාන්තාවන්ගේ පමනක් නොව කාන්තා, පිරිමි, බාල, මහලු අප සැමගේම වගකීමක් වනවා.
ශරීරයේ මහත සහ බර වැඩිවීම සම්බන්ධයෙන් සමාජය දරන ජනප්‍රිය මතය වන්නේ අහාර අනවශශ්‍ය ලෙස ගැනීම නිසා එය සිදුවන බවයි. එහෙත් බොහෝ දෙනා නොදන්න විද්‍යාත්මක හේතු බොහොමයක් මෙම මහත් වීම කියන කාරණය හා සම්බන්ධව බැඳී තිබෙනවා.
සෞඛ්‍ය හා හෝමෝන බලපෑම්
- Hypothyroidism (තයිරොක්සීන් හෝමෝනය අඩු වීම) – මෙවැනි අවස්ථාවක ශරීරයෙ පරිවෘත්තීය ක්‍රියාවලියේ කාර්‍යක්ශමතාවය අඩු වන නිසා කැලරි දහනය නිසි ලෙස සිදුනොවීමෙන් ශරීරයේ බර වැඩිවීම සිදු විය හැකියි.
- PCOS (Polycystic Ovary Syndrome) – කාන්තාවන් අතර බහුලව දක්නට ලැබෙන මේ හෝමෝන ගැටලුව නිසා ඉන්සුලින් ප්‍රතිරෝධය එනම් සිරුරේ සෛල ඉන්සුලින් සඳහා නිසි ලෙස ප්‍රතිචාර නොදැක්වීමේ තත්ත්වයක් නිර්මාණය වන නිසා එය රුධිරයේ සීනි මට්ටම ඉහළ යාමට හේතුවක් වී සිරුරේ බර පාලනයට බොහෝ දුරට බාධා පමුණුවනවා.
- ඖෂධ සහ විටමින් ගැනීමත් සමඟ බර වැඩි වීම සිදු විය හැකිය. සමහර antidepressants, හෝමෝන ප්‍රතිකාර (උපත් පාලන පෙති), සහ ස්ටෙරොයිඩ් ඖෂධ ආහාර රුචිය වැඩි කරන ගුණ නිසා සාමාන්‍යයට වඩා බොහෝ විට කෑම ආශ්වාදය වැඩි වී අවශ්‍ය නොවන කැලරි අධික ලෙස ශරීරගත වීමට හේතු විය හැකියි.
ආර්තවහරණය (Menopause) – ඊස්ට්‍රජන් හෝමෝනය අඩුවීම ශරීරයේ පරිවෘත්තීය ක්‍රියා මන්දගාමී කරන නිසා මධ්‍ය වයසෙන් පසු කාන්තාවන්ට බර පාලනය ඉතා අසීරු විය හැකියි.
මානසික හා සමාජමය බලපෑම්
- ආතතිය සහ විෂාදය – මෙවැනි මානසික තත්ත්වයන් ආහාර රුචියට බලපාන අතර, “emotional eating” මගින් අවශ්‍ය නොවන කැලරි අධික ලෙස ග්‍රහණය වීම සිදුවේ.
- අසරණ බව – ශරීර රූපය පිළිබඳ සෑහීමක් නොමැතිකම විෂාදය, සාංඛාව සහ ලැජ්ජා වැනි මානසික ගැටලු ඇති කරයි. එවිට නුසුදුසු අාහාර රටාවන්ට පුරුදු වී තවදුරටත් ගැටලුව වර්ධන විය හැකිය.
- Social Stigma – මහතයි යන නිරන්තර විවේචන, විහිලු හා සමාජ විකෘති අදහස් කාන්තාවන්ගේ ආත්මවිශ්වාසය බිඳ දමන අතර එය සෘජුවම සෞඛ්‍ය ප්‍රතිඵල අඩු කිරීමට දායක වේ.
ඉහත කරුනු කාරනා පිලිබඳ දැනුවත් වී තම ආදරනීය බිරිද, මව, සොයුරිය, දියනිය මුහුන දෙන යම් සෞඛ්‍ය ගැටලුවක් වේ නම් එය හඳුනා ක්‍රියාත්මක වීම අප සියලු දෙනාගේ වගකීමකි. ඔවුන් අසරණ බවට පත් කරන, දුකට හෝ කලකිරීමට පත්කරන විවේචන වෙනුවට, උදව් කරන පවුල් පරිසරයක් නිර්මාණය වීම සමාජයක් ලෙස අප අතින් ඉටු විය යුතු යුතුකමකි.
රූපලාවන්‍යයේ ප්‍රවණතා හුදු ලාබ අරමුනු කරගත් වෙළඳ ලෝකයේ නිර්මාණයන් බව බුද්ධිමත්ව වටහාගනිමින් ශරීරයේ නිරෝගී පැවත්ම වෙනුවෙන් බර පාලනය සදහා යොමුවන ලෙස අපි ඔබට ආරාධනා කරන්නෙමු. අවසානයේ, සොබාදහමේ සැබෑ ත්‍යාගය රූපය නොව, සුවදායක අත්දැකීම්, ආදරය සහ සතුට සමඟ ඔබට ලැබී ඇති වටිනා ජීවිතයම බව ද සිහිපත් කරන්නෙමු .
දැනුවත් කිරීම
ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මිය
සූතිකා පුහුණු හෙද නිළධාරිනි
නවජ සූති දැඩි සත්කාර ඒකකය
පළාත් මහ රෝහල, කුරුණෑගල
සටහන
චතුරිකා දහනායක
Leave feedback about this