ඔක්තෝබර් 24, 2025
Sweating System Parent Pulse Article Featured Image
වැඩිහිටියන්ගේ සුව දිවිය සුව දිවිය

මිනිස් සිරුරේ ස්වාභාවික සිසිලන පද්ධතිය ගැන දන්නවද?

දහඩිය දැමීම සරල ප්‍රශ්නයක් ලෙස පෙනුනද, එය අපගේ සිරුරේ පැවැත්ම තීරණය කරන අතිශයින්ම වැදගත් ජීව විද්‍යාත්මක යාන්ත්‍රණයක් නියෝජනය කරයි. අපේ සිරුරට දහඩිය දමන්නේ මූලික වශයෙන් සිරුර උණුසුම් වූ විට ය. මෙය තාපගති විද්‍යාව (Thermoregulation) නම් සංකීර්ණ ක්‍රියාවලියක කොටසකි.

අප එදිනෙදා සාමාන්‍ය කටයුතුවල යෙදෙන විට අපේ සිරුරේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 37ක් (ෆැරන්හයිට් අංශක 98.6) පමණ වෙයි. මෙම උෂ්ණත්වය පවත්වා ගැනීම අපගේ අභ්‍යන්තර අවයව හා එන්සයිමවල ක්‍රියාකාරිත්වයට අත්‍යවශ්‍ය වේ. එහෙත්, ඊට වඩා වෙහෙසී කටයුතු කරන විට අපේ සිරුර උණුසුම් වේ. නිදසුන් ලෙස වේගයෙන් ඇවිද යන විට, දුවන විට, පාපැදියක් පදින විට, කන්දක් ඉහළට නගින විට, හෝ වෙහෙසී බර වැඩෙහි යෙදෙන විට අපට අධික ලෙස දහඩිය දැමීමට පටන් ගනී.

සිරුර වෙහෙසන විට අපේ සිරුරේ සෛලවල ක්‍රියාකාරිත්වය විශාල ලෙස වැඩිවෙයි. සෛල ශක්තිය නිපදවීමේදී (ATP) එහි අතුරු ඵලයක් ලෙස තාපය මුදාහරින අතර, මෙම ක්‍රියාවලිය පරිවෘත්තීය ශීඝ්‍රතාවය (Metabolic Rate) වැඩිවීම ලෙස හැඳින්වේ. සිරුර උණුසුම් වෙන්නේ මෙම සෛලීය ක්‍රියාකාරිත්වය වැඩිවන නිසයි.
සිරුර උණුසුම් වන විට, මෙම තත්ත්වය හඳුනාගෙන මොළයේ පිහිටා ඇති හයිපොතැලමස (Hypothalamus) මගින් සිරුරේ උෂ්ණත්වය පාලනය කිරීමට අවශ්‍ය ස්නායු සංවේදන (Nerve Signals) මුදාහරියි.

මෙම මධ්‍යම පාලක ඒකකයේ විධානයට අනුව ප්‍රධාන ක්‍රියාවලීන් දෙකක් සිදුවේ:

  1. ස්වේද ග්‍රන්ථි සක්‍රීය වීම

සිරුරේ උණුසුම වැඩිවන විට ස්වේද ග්‍රන්ථිවලින් (Sweat Glands) ස්වේදය මුදාහැරීම ආරම්භ වේ.

  1. රුධිර වාහිනී විස්තාරණය (Vasodilation)

සමට ආසන්නව පිහිටි රුධිර නාල විධාරණය වී (පුළුල් වී) අධික රුධිර ප්‍රමාණයක් සම මතුපිටට ගලා එයි. අව්වේ ගමන් කළ විට නහර ඉලිප්පී පෙනෙන්නේ මේ නිසා වන අතර, මෙමගින් සම මතුපිටින් වැඩිපුර තාපය බැහැර කිරීමට (Heat Dissipation) ඉඩ සලසයි.

ස්වේද ග්‍රන්ථි තුළ නිපදවෙන ස්වේදය, ප්‍රණාල ඔස්සේ ඉහළට විත් සමේ අපිචර්මයේ (Epidermis) පිහිටි ස්වේද සිදුරුවලින් පිටතට පැමිණේ. සම මතුපිටට පැමිණි මෙම ස්වේදය, අප දහඩිය යැයි හඳුන්වයි. මේ ස්වේදය වාෂ්ප වූ විට (Evaporation), එය සිදුවන්නේ සමෙන් තාපය උරා ගනිමින් බැවින්, අපට සිසිලසක් දැනේ. මෙම ආකාරයට ස්වේදය නිපදවීමෙන් හා රුධිර නාළ විධාරණයෙන් අපේ සිරුරේ උෂ්ණත්වය ඉතා කාර්යක්ෂමව පාලනය කෙරේ. දහඩිය දැමීම අපේ සිරුරේ උෂ්ණත්ව පාලනයට ඉටු කරන විශිෂ්ට ජීවී ක්‍රියාවලියකි.

ස්වේදය නිපදවන්නේ සමේ චර්මය (Dermis) තුළ පිහිටා ඇති ස්වේද ග්‍රන්ථිවලය. මිනිස් සිරුරේ ස්වේද ග්‍රන්ථි මිලියන 3ක් පමණ තිබේ. ප්‍රධාන වශයෙන් ස්වේද ග්‍රන්ථි වර්ග දෙකකි:

එක්‍රීන් ග්‍රන්ථි (Eccrine Glands) – මේවා සිරුර පුරාම පාහේ පිහිටා ඇති අතර, ඒවා මගින් මුදා හරින දහඩිය ප්‍රධාන වශයෙන්ම ජලයෙන් සමන්විත වන අතර, සිරුර සිසිල් කිරීමට සෘජුවම දායක වේ.
ඇපොක්‍රීන් ග්‍රන්ථි (Apocrine Glands) – මේවා ප්‍රධාන වශයෙන් කිහිලි, ඉකිලි සහ ලිංගික ප්‍රදේශවල පිහිටා ඇත. මේවා මුදා හරින්නේ ලිපිඩ සහ ප්‍රෝටීන අඩංගු තරලයකි.

ස්වේදයේ නොඑසේ නම් දහඩියේ සංයුතිය ගත් කළ එහි වැඩිපුරම ඇත්තේ ජලයයි. එයට අමතරව, සෛලීය ශ්වසනයේදී බැහැර කෙරෙන අතුරු ඵල වන ඇමෝනියා, යූරියා වැනි අපද්‍රව්‍ය මෙන්ම සෝඩියම් ක්ලෝරයිඩ් (ලුණු) සහ සීනි (ග්ලූකෝස්) ද සුළු ප්‍රමාණවලින් අඩංගු වේ.

සිරුර වෙහෙස කර කාර්යයන්වල නිරත වෙන විට විශාල ජල ප්‍රමාණයක් දහඩිය ලෙස සිරුරින් බැහැර වෙයි. මෙම ජල හානිය සැලකිය යුතු මට්ටමකට ඉහළ යා හැක.

  • සාමාන්‍යයෙන්, වෙහෙසී වැඩ කරන පුද්ගලයෙකුගේ සිරුරෙන් පැයකදී දහඩිය ලීටර 1.5 – 1.8 ක් පමණ පිටවිය හැක.
  • ජවන හා පිටිය ක්‍රීඩාවල නිරත ක්‍රීඩකයෙක්ගේ සිරුරෙන් පැයකදී ජලය ලීටර 4ක් පමණ ද පිටවිය හැක.
  • අව්වේ කය වෙහෙසා වැඩ කරන පුද්ගලයෙක්, මැරතන් ධාවකයෙක් හෝ පාපැදි ධාවකයෙක් සිය කාර්යය අවසන් කරන විට ජලය ලීටර 15ක් පමණ පිටවිය හැකි බවද වාර්තා වේ.

මෙවැනි අවස්ථාවලදී අව්වේ හිඳිමින් කය වෙහෙසන පුද්ගලයන් සහ ක්‍රීඩකයින් වැඩි ජල ප්‍රමාණයක් පානය කළ යුතුවෙයි. එසේ ජලය සහ ඉලෙක්ට්‍රොලයිට් (Electrolytes – ලවණ) පානය නොකළහොත්, සිරුරේ ජල සමතුලිතතාව බිඳ වැටී විජලනයට (Dehydration) ලක්විය හැකියි. මෙය සෞඛ්‍යයට ඉතා අහිතකර තත්ත්වයකි.

දහඩිය දැමීම යනු ක්ෂීරපායී ජීවීන්ට පොදු ලක්ෂණයකි. සියලුම ක්ෂීරපායින්ගේ සමේ ස්වේද ග්‍රන්ථි පිහිටා තිබේ. කෙසේ වෙතත්, එම ග්‍රන්ථි පිහිටා ඇති ආකාරය සහ ක්‍රියාකාරිත්වය වෙනස් වේ.

ප්‍රයිමාටාවන් (Primates) වන වානරයන් සහ වඳුරන්ගේ සිරුර පුරාම මිනිසාට මෙන් ස්වේද ග්‍රන්ථි පිහිටා තිබේ. එහෙත් බල්ලන්ගේ ස්වේද ග්‍රන්ථි පිහිටා ඇත්තේ ප්‍රධාන වශයෙන්ම ඔවුන්ගේ පාදවල යටි පැත්තේ ය. සිරුරේ උෂ්ණත්වය අඩුකරගැනීම සඳහා බල්ලා ප්‍රධාන වශයෙන් භාවිත කරන්නේ හැලීම (Panting) හෙවත් දිව එළියට දමා වේගයෙන් හුස්ම ගැනීමයි. මෙමගින් දිවේ මතුපිටින් තෙතමනය වාෂ්ප වීම තුළින් සිසිලසක් ලබා ගනී. බල්ලා උගේ පාද ලෙවකමින් ඛේටයෙන් පාදයේ යටි පතුළ තෙමන්නේද උෂ්ණත්වය අඩුකරගැනීමට සහය වීම සඳහායි.

  • සත්‍ය වශයෙන්ම, නැවුම් දහඩියට දුගඳක් නැත. දහඩිය දුගඳක් හමන්නේ, විශේෂයෙන්ම ඇපොක්‍රීන් ග්‍රන්ථි මගින් ස්‍රාවය වන දහඩිය සම මතුපිට වෙසෙන බැක්ටීරියාවන් මගින් බිඳ හෙලීමේදීය.
  • ඇපොක්‍රීන් ග්‍රන්ථිවලින් නිකුත් වන තරලයේ ඇති ලිපිඩ සහ ප්‍රෝටීන බැක්ටීරියා සඳහා කදිම ආහාරයක් වේ.
  • බැක්ටීරියාවන් මෙම ද්‍රව්‍ය බිඳ හෙලීමේදී ගන්ධ සහිත අම්ල (Volatile Fatty Acids) නිපදවන අතර, මෙය අප ශරීර ගන්ධය ලෙස හඳුන්වයි.
  • එමෙන්ම, සිරුරින් ස්‍රාවය වෙන හෝමෝනද (විශේෂයෙන් වැඩිවියට පත් වූ පසු) දහඩිය සමග බැහැර වෙයි.

කිහිලි, ඉකිලි ආදී ස්ථානවල දහඩිය පහසුවෙන් වාෂ්ප නොවන බැවින්, එම ස්ථානවල දහඩිය එකතු වී, බැක්ටීරියා ක්‍රියාකාරිත්වයට හිතකර පරිසරයක් නිර්මාණය කරයි.

මේ අනුව, දහඩිය දැමීම යනු අපගේ සිරුර පරිසරයට අනුවර්තනය වීමට සහ අභ්‍යන්තර උෂ්ණත්වය නියතව පවත්වා ගැනීමට නිර්මාණය කර ඇති විස්මිත ස්වාභාවික ක්‍රියාවලියකි.


දැනුවත් කිරීම

ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මිය
සූතිකා පුහුණු හෙද නිළධාරිනි
නවජ සූති දැඩි සත්කාර ඒකකය
පළාත් මහ රෝහල, කුරුණෑගල

සටහන

උදානි ජයසේන

Leave feedback about this

  • Quality