හදිසි ළදරු මරණ සින්ඩ්‍රෝමය (Sudden Infant Death Syndrome) කියන තත්ත්වය පිළිබඳ ඇතැම් විට ඔබ අසා නැතිවත් ඇති. ඒත් මේ තත්ත්වයට මුහුණ දෙන දරුවන් දක්නට ලැබෙනවා. මේ තත්ත්වය පිළිබඳව දැනුවත් වීම වැදගත් වන්නේ ඒ නිසයි.
හදිසි ළදරු මරණ සින්ඩ්‍රෝමයට ගොදුරු වන අවදානම් කාණ්ඩ ලෙස උපතේ සිට වයස අවුරුද්ද දක්වා වූ දරුවන් දැක්විය හැකියි. එයිනුත් මාස 2 සිට 4 දක්වා දරුවන් අධි අවදානම් ලෙස හඳුනා ගෙන තිබෙනවා. පිරිමි දරුවන් මේ තත්වයට වැඩි අවදානමක් ඇති බවත් හඳුනා ගෙන තිබෙනවා. අනෙක් විශේෂත්වය වන්නේ මේ මරණ හැම විටම නින්දේදී සිදු වීමයි. මීට අමතරව මේ තත්වයට අවදානම් වශයෙන් හඳුනා ගත් තත්ව කීපයක් තිබෙනවා. ඒවා වෙනස් කළ හැකි සහ වෙනස් කළ නොහැකි අවදානම් තත්ව ලෙස හැඳින්වෙනවා.
- දරුවාගේ වයස අවුරුදු එකට වඩා අඩු වීම
- පිරිමි දරුවෙකු වීම
- උපතේදී අඩු බර දරුවෙකු වීම
- මීට පෙර එම දෙමව්පියන්ගේ දරුවෙකු මේ ආකාරයට මරණයට පත් වීම
මෙහි තවත් විශේෂත්වයක් තිබෙනවා. මෙවැනි අවදානම් සාධක තිබුනත් වෙනස් කළ හැකි අවදානම (Modifiable risk factors) අඩු කර ගැනීමෙන් මෙම මරණ වලක්වා ගැනීමට හැකියාවක් තිබෙනවා.
හදිසි ළදරු මරණ වලක්වා ගැනීම සඳහා ඉතා හොඳ, මාර්ගගත ක්‍රමවේදයක් ලෙස 1994 වසරේදී එක්සත් ජනපදයේ safe to sleep campaign ලෙස ක්‍රමවේදයක් ආරම්භ වූ අතරම මේ ක්‍රවේදය හඳුන්වා දීමෙන් පසු එරට සිදු වුන හදිසි ළදරු මරණ අනුපාතය 50%කින් පමණ අඩු කර ගැනීමට අවස්ථාව ලැබී තිබෙනවා.
හදිසි ළදරු මරණ වලක්වා ගැනීම දරුවා ලැබෙන්නට පෙරාතුව පටන්ම අවධානය දැක්විය යුතු තත්වයක්. ගර්භණී අවස්ථාවේදී නිවැරදි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම, පෝෂණය හා එන්නත් ලබා ගැනීම, දරුවාගේ බර, ආසාදන සහ උපතේදී ඇති විය හැකි සංකුලතාවයන් අවම කර ගත යුතුයි. ඊටත් අමතරව සිගරට් දුමට නිරාවරණය වීමෙන් වැලකීම ඉතාම වැදගත්.
හදිසි ළදරු මරණ සින්ඩ්‍රෝම ගැන විවිධ විද්‍යාත්මක පැහැදිළි කිරීම් තිබුනත් මෙයට නිශ්චිත හේතුව ඒවායින් පැහැදිලි වෙලා නැහැ. ඒත් මෙය වලක්වා ගැනීම පැහැදිළි කර ගැනීමේදී භාවිත කරන ආකෘතිය අනුව දරුවන් ප්‍රශ්වාස කිරීමේදී නිකුත්වන කාබන්ඩයොක්සයිඩ් වායුව බරින් වැඩි වායුවක් වීම නිසා දරුවා නිදා ගන්නා විට එය මුඛය අවට එකතු වෙනවා. වැඩිහියෙකුට මේ තත්වය ඇති වූ විට ඉරියවව් වෙනස් කර ගත්තත් කුඩා දරුවන්ට එවැනි හැකියාවක් නැහැ. සමහර දරුවන්ගේ ජානමය තත්වයන් මතත් මේ කාබන්ඩයොක්සයිඩ් වායුව වැඩි වීම හඳුනා ගැනීමේ හැකියාව සහ හැඩ ගැසීමේ ප්‍රතීක ක්‍රියාව සිදු නොවන්න පුළුවනි. එවැනි අවස්ථාවක දරුවෙකුගේ රුධිරයේ කාබන්ඩයොක්සයිඩ් වැඩි වී මෙවැනි මරණයක් සිදු වෙන්න පුළුවනි.
මේ සම්බන්ධයෙන් සමාජගත වී ඇත්තේ ඉතා වැරදි මතයක්. දරුවන්ට ඇති විය හැකි පිට උගුරේ යාම නිසා මුහුණ පහත දෙසට තබා හෝ ඇලයට යනුවෙන් වැරදි අවබෝධයක් පැවතුණත් මෙසේ දරුවෙකු නින්දට පත් කිරීම ඉතාමත් භයානකයි. එසේ කිරීමකදී මුහුණ අසල අධිකව කාබන්ඩයොක්සයිඩ් වායුව එකතු වීම නිසා ශ්වසනයට සෘජු ලෙස ඇති විය හැකි බලපෑම නිසා මේ අවදානම ඇති වේ. වැඩිදුරටත් එසේ මුහුණ පහතට තබන ඉරියව්වේදී දරුවාගේ ශ්වසන මාර්ගය, ආහාර මාර්ගයට වඩා පහතින් තිබීමත් සමග කිරි වමනයකදී එය ශ්වසන මාර්ගයට ඇතුළු වීමේ අවදානම වැඩි වේ. ඒ නිසා දරුවෙකු නින්දට පත් කිරීමට සුදුසුම ඉරියවව් වන්නේ ඉහළ දෙස බලා ගෙන එනම් උඩුබැලි අතටයි.
බොහෝ මව්වරුන් තම බිළිඳු දරුවා රාත්‍රි නින්දේදී තමන් අසලම තබා ගන්නවා. මෙය වැරදි ක්‍රියාවක්. මෙහිදී මව විසින් ප්‍රශ්වාස කරන කාබන් ඩයොක්සයිඩ් වායුව දරුවා දිගින් දිගටම ආඝ්‍රානය කිරීම මගින් දරුවාගේ රුධිරයේ කාබන්ඩයොක්සයිඩ් වායුව වැඩි වීමෙන් මෙවැනි මරණයක් සිදු වෙන්න පුළුවන්. ඊට අමතරව දරුවා මවට යට වීම සහ අධික උෂ්ණත්වයක් දැනීම නිසා අනතුරුදායක තත්වයක් ඇති විය හැකියි. මේ නිසා දරුවා තැබීමට සුදුසු වන්නේ තොටිල්ලකි. මේ තොටිල්ලත් නියමිත ප්‍රමිතියෙන් යුක්ත වීම වැදගත්. හිස සිරවීමට හැකි ආකාරයේ හිදැස් තිබීම, පැත්තකින් විවෘත කිරීමට හැකි තොටිලිවල අගුලු නිසි ආකාරයෙන් ක්‍රියා නොකිරීම නිසා දරුවන් ඒ අතර සිරවීම වැනි අවදානම් තත්ව ඇති විය හැකියි. සමහර මව්පියන් දරුවාගේ හිස තොටිල්ලේ වැදීම වලක්වා ගැනීමට තොටිල්ලට පැති ආවරණයක් භාවිත කරනවා. මෙහිදී දරුවාට ලැබෙන වාතාශ්‍රය අඩු වීම නිසා අවදානමක් ඇති වෙනවා. එකම ඇඳක නොසිටියත් අවදානම් තත්ව හඳුනා ගැනීමට සහ දරුවාගේ කටයුතු වෙනුවෙන් මව දරුවා සිටින කාමරයේ සිටීම සුදුසුයි. ඒ වගේම හොඳ වාතාශ්‍රයක් සහිත කාමරයක් වීමටත් වග බලා ගන්න.
දරුවා තබන මෙට්ටය ඉතා මෘදු නොවිය යුතුයි. එනම් යම් ප්‍රමාණයක දෘඩ බවක් සහිත විය යුතුයි. ඉතා මෘදු මෙට්ටයක දරුවා තැබීමේදී, මෙට්ටය තුළට හිස කිඳා බැසීම නිසා මෙට්ටයේ ඇතිවන හිදැස් වැනි ස්ථානයට කාබන්ඩයොක්සයිඩ් වායුව එකතු විය හැකියි.
දරුවාගේ හිසට කොට්ටයක් තබන විටත් මේ තත්වය ඇති විය හැකියි. මීට අමතරව පළමු වසර තුළ කොට්ට ( හිස තබන සහ අමතර කොට්ට ) සහ වෙනත් සෙල්ලම් භාණ්ඩ දරුවා නිදන තොටිල්ලෙන් ඉවත් කිරීම වැදගත් වන්නේද එවැනි දෙයක් මුඛය ආශ්‍රිතව තැබීමෙන් කාබන්ඩයොක්සයිඩ් වායුව එකතු වීමට ඇති හැකියාව සහ ශ්වසනයට ඇති විය හැකි අවහිරතාවයන් නිසාය. මීට අමතරව ඇඳ ඇතිරිලි නියමිත ආකාරයෙන් මෙට්ටයට යට වී සවි වී තිබිය යුතුය. නැත්නම් දරුවා ඇතිරිල්ල මුහුණ දෙසට ඇද ගැනීම නිසා මුහුණ අවට ප්‍රශ්වාස වායුව එකතු වීමට ඉඩක් නිර්මාණය විය හැකිය.
දරුවන්ට පළමු වසර ඇතුලත වැළඳෙන්නට හැකියාවක් තිබෙන සමහර ආසාදන තත්ත්ව මෙම හදිසි ළදරු මරණ සින්ඩ්‍රෝමයේ අවදානම වැඩි කිරීමට හැකියාවක් තිබෙනවා. ඒ නිසා දරුවාගේ ප්‍රතිශක්තිකරණය නියමිතව ලබා දීම වැදගත්. මීට අමතරව පළමු මාස හය ඇතුලත අනිවාර්යෙන්ම මව්කිරි ලබා දීම මෙම මරණවලින් සහ වෙනත් ලෙඩ රෝග ගණනාවකින් ආරක්ෂා වීමට වැදගත් බව විද්‍යාත්මකව සනාථ වී තිබෙනවා.
BBC පුවත් ඇසුරෙනි
පුන්‍යා චාන්දනී ද සිල්වා


Leave feedback about this