ඔක්තෝබර් 24, 2025
Kids on Internet Parent Pulse Article Featured Image
විශේෂී ලිපි

අන්තර්ජාලයේ සැරිසරන ඔබේ දරුවා රැක ගැනීමේ වගකීම කාටද?

අද අපේ අතේ තියෙන ස්මාර්ට්ෆෝනය, ටැබ්ලටය කියන්නේ අසීමිත දැනුම, විනෝදය සහ සම්බන්ධතා ලෝකයකට යන මැජික් දොරටුවක් වගෙයි. ඒත්, හැම මැජික් දොරටුවකටම තියෙනවා වගේ, මේ පිටුපසත් අදුරු පැත්තක් තියෙනවා. මෙය නොදැන, එම දොරටුවෙන් ඇතුළු වන අපේ යොවුන් දරුවන්ගේ ජීවිත අවදානමට ලක්වූ අවස්ථා අපට ඕනෑතරම් හමුවෙලා තියෙනවා.

අහිංසක යොවුන් දරුවන්ගේ සැබෑ අත්දැකීම් තුනක් සමගින් මේ ලිපිය සකසන්නේ ඔබ ඔබේ දරුවා රැක ගත යුතු නිසාමය. ඔබ මම නොසිතන බොහෝ දේ අන්තර්ජාලයට කළ හැකි බව අමතක කරන්නට එපා.

ධනුෂ්ක කියන්නේ පාසලේදී ඉගෙනීම ඉහළින්ම කරන දක්ෂ ක්‍රීඩකයෙක්. දිනක් පාසලේ පැවති තරගයකදී ඔහුගේ කණ්ඩායමට සුළු අතපසුවීමකින් පරාජය වීමට සිදුවුණා. ඒත් එක්කම, නොදන්නා පුද්ගලයෙක් ව්‍යාජ සමාජ මාධ්‍ය ගිණුමකින් (Fake Account) ධනුෂ්කගේ පින්තූරයක් සංස්කරණය කර, අසභ්‍ය සහ පුද්ගලිකව අපහාසාත්මක විහිළු සහිත සටහන් කිහිපයක් පොදු ඉන්ස්ටර්ග්‍රෑම් පිටුවක පළ කළා.

මේ සිදු වීම සුළු කොට තැකිය නොහැක්කේ එතැන් පටන් ධනුෂ්කගේ ජීවිතයේ සිදු වුණු වෙනස් වීම් නිසාය. මේ ඉන්ස්ටර්ග්‍රෑම් පිටුවේ පල වුණු සටහන ඔහුගේ මිතුරන්, හිතවතුන් සහ පාසලේ අනෙකුත් ළමයි කියෙව්වා. බොහෝ දෙනෙක් ඔහුට සිනාසුණා, සමහරුන් විහිළු කළා. සයිබර් හිරිහැර (Cyberbullying) නිසා ධනුෂ්කට මානසික පීඩනය දරාගන්න බැරි වුණා. ඔහු පාසල් යාම නැවැත්වූවා. ඔහුගේ මානසික ඒකාග්‍රතාවය සහ ආත්ම විශ්වාසය සම්පූර්ණයෙන්ම බිඳ වැටුණා. අන්තර්ජාලය හරහා යම් තැනැත්තෙකුගේ ගෞරවය ක්ෂණිකව බිඳ දමන්න පුළුවන්. අසල සිටින කෙනෙක් විහිළු කරනවාට වඩා, අන්තර්ජාලය පුරා ව්‍යාප්ත වන නරක ආරංචියක වේදනාව දහස් ගුණයකින් වැඩියි. දක්ෂ දරුවෙකු වූ ධනුෂ්ක මානසික රෝගියෙකු බවට පත් වූයේ අන්‍යයන්ට ගෞරවාන්විතව සැලකීමට නොදත් අන්තර්ජාල පරිශීලකයෙක් නිසයි. මෙය ඔබේ දරුවාටද විය නොහැක්කක් නොවන බව සිහි තබා ගන්න.

ලිසාරා සමාජ මාධ්‍යවලට දැඩි ලෙස ඇබ්බැහි වූ යොවුන් දැරියක්. ඇය Instagram හි විලාසිතා, ගමන් බිමන් සහ මිතුරන් සමඟ ගත කරන සුඛෝපභෝගී ජීවිතය නිතර පළ කළා. ඇය නිතරම උත්සාහ කළේ ලයික්ස් (Likes) සහ අදහස් (Comments) විශාල ප්‍රමාණයක් ලබා ගැනීමටයි. ලිසාරා සමාජ මාධ්‍ය තුළ පෙන්වූයේ පරිපූර්ණ ජීවිතයකි. නමුත් ඇත්ත ලෝකයේදී ඇය නිතරම සිටියේ විෂාදය සමගයි. ඇයගේ ඡායාරූපවලට ප්‍රමාණවත් ලයික්ස් නොලැබුණු විට, ඇය තමන්ගේම වටිනාකමක් නැති බවට විශ්වාස කරන්න පටන් ගත්තා. ඇය නිරන්තරයෙන් තම සිරුරේ හැඩය සමාජ මාධ්‍ය ආදර්ශයන් සමඟ සංසන්දනය කළා. ලිසාරාට තේරුම් ගන්න බැරි වුණා, සමාජ මාධ්‍ය කියන්නේ හොඳම අවස්ථා පමණක් සංස්කරණය කර පෙන්වන වේදිකාවක් බව. සමාජ මාධ්‍ය දරුවන් තුළ අසත්‍ය අපේක්ෂාවන් සහ නිරන්තර සංසන්දනයේ මානසික පීඩනයක් ඇති කරනවා. ලයික්ස් මත රඳා පවතින ආත්ම අභිමානය දරුවාගේ සැබෑ මානසික සෞඛ්‍යයට බරපතළ ලෙස හානි කරනවා. මෙයද ඔබේ දරුවාටත් විය නොහැකි දෙයක් නොවේ.

හිරුෂා පාසලේ නිවාඩු කාලයේදී අමුතු චැට් ඇප් එකකට සම්බන්ධ වුණා. එහිදී තමාට වඩා වැඩිමහල් යැයි කියාගත් විශේෂ මිතුරෙකු ඇයට හඳුනා ගැනීමට ලැබුණා. මෙම මිතුරා හිරුෂාට නිතරම පුද්ගලික තොරතුරු සහ රහස් අසන්නට පටන් ගත්තා. ටික කලක් යන විට, එම මිතුරා හිරුෂාට ඇගේ පුද්ගලික ඡායාරූප ඉල්ලීමට පටන් ගත්තා. හිරුෂා එය ලබා දුන් පසු එම ඡායාරූප භාවිතා කර හිරුෂාට තර්ජනය කරමින් මුදල් ඉල්ලන්න පටන් ගත්තා. මේ තත්ත්වය හිරුෂාගේ ජීවිතය විශාල අනතුරකට ලක් කළ අතර, ඇයට පොලිසියට යාමට සිදු වුණා. අන්තර්ජාලය තුළ සිටින සියල්ලන්ම ඔවුන් කියාපාන පුද්ගලයන් නොවේ. ඇතැම් මානසික අසහනකාරී පුද්ගලයන් දරුවන්ගේ විශ්වාසය දිනාගෙන, පුද්ගලික දත්ත හෝ ඡායාරූප ලබාගෙන, ඒවා යොවුන් දරුවන් බ්ලැක්මේල් කිරීමට යොදා ගන්නවා. මෙහිදී, පුද්ගලික රහස්‍යභාවය සහ සයිබර් ආරක්ෂාව පිළිබඳව නොදැනුවත්කම දරුවා බරපතළ අවදානමකට ලක් කරයි. මෙයද ඔබේ දරුවාටද විය හැකියි. කල්පනාකාරී විය යුතුයි.

මේ සිදුවීම් තුනක් පමණයි. එයද කෙටියෙන් දක්වා ඇති අතරම අවසාන වශයෙන් මව්පියන් ලෙස අපේ යුතුකම සහ වගකීම කුමක් විය යුතුද යන්න විමසිය යුතුයි. අන්තර්ජාලය අපූරු තැනක් වුවද, එහි ඇති අඳුරු පැත්ත අපේ දරුවන්ගේ ජීවිත ක්ෂණයකින් විනාශ කළ හැකි තරම් බලවත්ය. එම නිසා දෙමාපියන් ලෙස අප මේ අඳුරු සෙවනැල්ල අපේ දරුවන් මතට වැටෙන්නට නොදී ඔවුන්ගේ වටපිටාව ආරක්ෂා කළ යුතුය. ඒ සඳහා,

  • දැනුවත් කිරීම – දරුවන්ට සයිබර් හිරිහැර, මාර්ගගතව පැමිණෙන විනාශකාරී පුද්ගලයන් සහ තොරතුරු සත්‍යතාව පිළිබඳව විවෘතව කතා කරන්න.
  • විශ්වාසය තහවුරු කිරීම – දරුවාට යම් ගැටලුවක් ඇති වුවහොත්, දඬුවමකට බිය නොවී ඔබ වෙත පැමිණීමට තරම් විශ්වාසයක් ගොඩනඟන්න.
  • සීමා පැනවීම – ඔවුන්ගේ ආරක්ෂාව සඳහා තිර කාල වේලාවන් සහ දෙමාපිය පාලනය අවශ්‍ය බව ඔවුන්ට පැහැදිලි කරන්න.

අන්තර්ජාලය මිතුරෙක් කරගැනීමට උගන්වන්න, නමුත් එම මිතුරාගේ සීමාවන් සහ අවදානම් පිළිබඳව දැනුවත් කිරීමට කිසිවිටෙකත් අමතක නොකරන්න.

Leave feedback about this

  • Quality