හොඳ හදවතක් කියන්නේ අපි කාටත් තිබිය යුතුම දෙයක්. ඉතිං අපේ හදවත හොඳ තත්ත්වයේ පවත්වා ගන්නත් තත්වය අයහපත්ද කියලා දැනගන්නත් දැනුවත් වීම ඉතාම අවශ්‍ය වෙනවා. ඒ නිසාම අපි අද අපේ හදවත ගැන කතා කරමු.
හෘදයේ වස්තුවෙන් අපේ ශරීරය පුරාම ඇති අවයව වලට රුධිරය පොම්ප කරනවා වගේම සියලුම අවයවවල ජීවිත්වය පවත්වාගෙන යන්නේ ඒ පොම්ප කරන රුධිරයෙන්. වොශින් මැශින් එකක රෙදි හෝදනකොට රෙදි පිරිසිදු වෙනවා වගේ අපි වොෂින් මැෂින් එකත් පිරිසිදු කරන්න ඕන. හෝදන්න ඕනේ. එහෙම නැත්නම් ඒක අපිරිසිදු වෙනවා. ඒ වගේ හෘදය අනික් අවයව වලට රුධිරය පොම්ප කරලා යවනවා වගේම හෘදය ටත් රුධිරය සංසරණය වීමක් සිද්ධ වෙන්න ඕනේ. එහෙම නැත්නම් හෘද වස්තුවේ බිත්ති අඩපණ වෙලා අක්‍රිය වෙලා යනවා. ඒ හින්දා හෘදයේ බිත්තිවලට ජීවිත කාලය පුරාම ලබ් ඩබ් කියන සද්දෙන් ගැහි ගැහි ඉන්න අවශ්‍ය වෙන, හෘද පේෂී වලට රුධිරය ලබා දෙන්නේ මෙන්න මේ කිරිටික දමනි හරහා. ඒවා ඕන කෙනෙක්ගෙ පිහිටලා තියෙන්නෙ හෘදයේ බිත්තියටම ඇලිලා.
අපේ ශරීරයේ කිරීටික දමනී හතරක් තියෙනවා. වම, දකුණ සහ පිටුපස තියෙන දමනි විධියට තුනක් තියෙනවා. වම් පැත්තෙ දමනිය මුල් හරියෙදිම කොටස් දෙකකට බෙදිලා යනවා. ඒ හින්දා සාමාන්‍ය ව්‍යවහාරයේදී කිරීටක දමනි හතරක් තියෙනවා කියලා කියනවා. සමහර ලිපි ලේඛන වල කිරිටක දමනි තුනක් කියලා කියන්නේ වම් පැත්තෙ කිරීටක දමනිය තනි දමනියක් විදියට සලකලා ලියන හින්දයි.
හෘදයට රුධිරය සපයන්නේ කොටස් විදියට. ඒ කියන්නේ හෘදයේ ඒ ඒ පැත්තට ඒ ඒ නාල වලින් රුධිරය සපයන්නේ. ඒක හරියට සරල උදාහරණයකින් කියනවා නම් ලිප් හතරේ ගෑස් ලිපකට ප්‍රධාන ගෑස් බටයෙන් ගෑස් ඇවිල්ලා පුංචි නාල හතරකින් ගෑස්ලිප් හතරට වෙනම ගෑස් සපයනවා වගේ වැඩක්.
මොනාද මේ ලිප් හතරට යන පුංචි ගෑස් බට හතර. එහෙම නැත්නම් හෘදය වස්තුවට රුධිරය සපයන රුධිර නාල හතර.
- LAD (වම්පස ඉදිරි හර්ද බිත්ති) –මේක තමයි ප්‍රධානම රුධිර නාලය ඒකෙන් තමයි හෘදය වස්තුවේ වම් පැත්තට රුධිර සැපයුමක් කරන්නෙ.
- LCx (වම්පස,පිටුපස බිත්ති )
- RCA (දකුණු ඉදිරිපස හෘද බිත්තිය)
- PDA (දකුණුපස පිටුපස හෘද බිත්තිය)
මේ කිරිටික දමනි වලින්, පෙනහළු වලින් පිරිසිදු කරලා එන, ශරීරය පුරාම බෙදා හරින්න තියෙන, ඔක්සිජනීකෘත රුධිරය ඔක්කෝටම කලින් හෘදය වස්තුවටත් බෙදලා දානවා. ඇඟ වැඩ කරන්න කලින් හෘදය වැඩ කරන්න එපෑය.
යම් හෙයකින් කිරිටක දමනිය අවහිර වුණොත් ගෑස් ලිපක දැල්ල හිමින් සැරේ දීප්තිය අඩුවෙනවා වගේ, ලිපේ රස්නෙ අඩුවෙනවා වගේ, හෘදය වස්තුවටත් රුධිරයේ සැපයුම අඩාල වෙලා හෘදය ක්‍රියාකාරීත්වය අඩාල වෙනවා. එක බටයක් බ්ලොක් උනාට අනෙක් ලිප් ඔක්කොම වැඩ කරනවා වගේ, හැබැයි ලිපේ බට තුනක් බ්ලොක් උනොත් සම්පූර්ණ ලිපම හිමින් සැරේ වැඩ කරන්න පුළුවන් තත්ත්වයෙන් එහාට යනවා. ඒ කියන්නේ හෘදයට අපේ ඇඟට රුධිරය පොම්ප කරන වැඩේ තනියම දරා ගන්න අමාරු වෙනව. එක බටයක් 100%ක් බ්ලොක් වෙනවා කියලා කියන්නේ ඒ නාලයෙන් රුදිරය සපයන කොටසට කිසිසේත්ම රුධිරය ලැබෙන්නේ නැහැ කියන එක.
සාමාන්‍යයෙන් ඒ වගේ වෙලාවට බ්ලොක් වෙලා නැති දමනි, ඊට පස්සේ තමන්ගේ දමනියේ පිහිටීමේ යම් යම් වෙනස්කම් කරලා, හෘදය වස්තුව පවත්වාගෙන යන්න වෙනස්කම් කිහිපයක් හදාගන්නව. ඒක ශරීරය විසින් තමන්ගේ ජීවය පවත්වාගෙන යන්න කරන වෙනස්කමක්. ඒක හරිම අසීරු තත්ත්වයක්.
මේකම අපි කියනවා හාට් ඇටෑක් එකකට එනවා, එහෙම නැත්නම් හෘද රෝගයක් කියල කියන්නෙත් සරලව මේ ලෙඩේට. ඒක වෙන්නේ අපේ ඇඟේ තියෙන මේදය, කොලෙස්ටරෝල් සහ අනිත් යම් යම් ද්‍රව්‍ය ගිහිල්ලා මේ නාල බ්ලොක් කරනකොට. හරියට ගෑස් ලිපක බටේ එක එක කුණු දූවිලි දැලි වලින් බ්ලොක් උනාම එතනින් එහාට ගෑස් සැපයුම අඩාල වෙනවා වගේ මේ කිරීටක දමනි බ්ලොක් උනාම එතනින් එහාට රුධිර සැපයුම අඩාල වෙනවා.
එක කිරීටක දමනියක් බ්ලොක් වීමෙන් හරි ඒ වගේ වුණොත් අපේ හෘද වස්තුවට හිටපු ගමන් පපුවේ කැක්කුමක් කියලා එකක් එන්න පුළුවන් පුළුවන්. ඒක හරියට නිකන් එක පාරට අඩු වැඩි වෙලා හිර වෙනව වගේ වෙනකොට මේක බ්ලොක් වෙලා ඇති කියලා අපිට හිතෙන හැඟීමක් එනවා වගේ වැඩක්. අන්න ඒ වෙලාවට අපි ඇත්තටම ක්‍රියාකාරී වෙන්න ඕන. වෛද්‍යවරයෙක්ගේ උදව් පතන්න ඕන. ECG ගන්න් ඕන. ලේ පරීක්ෂණ කරන්න ඕනේ. ඒ වලින් අපි දැනගන්නවා හෘදය වස්තුවේ යම් වෙනසක් සිද්ධ වෙලා තියෙනවා කියලා අපේ පුරුදු වෙනස් කරගන්න ඕන.
හැබැයි සම්පූර්ණයෙන්ම කිරිටක දමනි කීපයක් බ්ලොක් වෙලා තියෙනවා නම් ඒක එක පාරට හාට්ඇටෑක් එකක් කියන තත්ත්වයට යන්න පුළුවන්. බල බල ඉන්න බැහැ. ඒක හදිසි අවස්ථාවක් විදියට කළමනාකරණය කරන්න ඕනේ. එක්කෝ ඉක්මනින් හෘදයට රුධිරය සපයන්න වෙන මාර්ගයක් හදලා දෙන්න ඕන. එහෙම නැත්නම් එක පාරට ඇවිල්ල බ්ලොක් කරපු ඒ රුධිර කැට ටික දිය කරලා හෘදය වස්තුව බේරගන්න ඕන ඒක හරියට ලිපක ඔක්කොම ගෑස් බට ටික බ්ලොක් උනහම ලිප නිමිලා යන්න කලින් ක්‍රියාත්මක වෙන්න ඕන වගේ වැඩක්.
පපුවේ කැක්කුමක් එන එක තමයි අපි ප්‍රධාන වශයෙන් දකින්නේ. ඒක නිකන් හරියට බර දෙයක් පපුවට තිබ්බ වගේ, මිරිකනවා වගේ, එහෙම නැත්නම් අනිනව වගේ වේදනාවක්. සමහර විට අපේ අත දිගේ පැතිරෙනවා වගේ වේදනාවක් වෙන්නත් පුළුවන්.
කිරිටික දමනි වල සිදුරු එන්න එන්න කුඩා වෙන එකකදී පොඩ්ඩ ඇත්නම් හුස්ම ගන්න අමාරුවක් මහන්සිය දැනෙන එකක් වගේ දැනෙන්නත් පුළුවන්.
දහඩිය දැමීම, වමනය, වමනෙට යන්න යන එක, මේ ඕනම විදිය ලක්ෂණයක් විදියටත් මේ අවස්ථාවල රෝග ලක්ෂණ මතු වෙන්න පුළුවන්.
ඒත් වැදගත්ම දේ තමයි සමහර අයට මේ රෝග ලක්ෂණ නැතිවම එකපාරට හාට් ඇටෑක් කියන තත්ත්වය එන්න පුළුවන්. ඒ වෙලාවට තමයි අපි කියන්නේ මීට කලින් කිසිම ලෙඩක් තිබුනෙ නෑ ඒක පාරටම පපුව අල්ලගත්තා එතනින් ඉවරයි කියලා.
ආකාර තුනක ප්‍රතිකාර මේ සඳහා තියෙනවා.
- ඖෂධ මගින් ප්‍රතිකාර කිරීම තුළින් අපේ ඇඟේ තියෙන කොලෙස්ටරෝල්, මේදය වගේ දේවල් අඩු කරලා, ඒ වගේම අපේ ඇඟ ඇතුලේ ඇතිවෙන රුධිර පීඩනය පාලනය කිරීම තුළින් හෘදයට දිගටම රුධිර සැපයීම සිද්ධ කරගෙන යන්න අවශ්‍ය බෙහෙත් අපි රෝගියාට ලබා දෙනවා. ඒකේ වැදගත්ම දේ තමයි එයා ජීවත් වෙන්න ඕන නම් ජීවිත කාලය පුරාම මේ බෙහෙත් පාවිච්චි කරන්න ඕනේ කියන එක.
- Stent (PCI) –ස්ටෙන්ට් දානවා කියලා කියන්නේ මේකට. එහෙම නැත්නම් පරීක්ෂණ මගින් තහවුරු කරගෙන බ්ලොක් වෙච්ච දමනිය තුළට පොඩි කැමරාවක් වගේ උපකරණයක් දාලා ඒ බ්ලොක් එක ගාවින් ඉඩ හදලා පුංචි බටයක් වගේ දෙයක් ඇතුළු කරන එක. මේක හෘද විශේෂඥයෝ විසින් සිදු කරන ඔපරේශන් එකක්. මේකෙන් පස්සේ හෘදයට රුධිරය සැපයීම සිද්ධ කරන්න ඉඩ සැලසෙන හින්දා හෘදය මිය යන්නේ නැහැ . කොහොමත් හෘද පේෂි වලට ළඟින්ම මේ බට තියෙන හින්දා මේ හැම ඔපරේෂන් එකක්ම කරන්නේ ඉතාම සූක්ෂම විදියට තමයි. ඒක සරලව කියනවා නම් අපි දුම්බටේ බ්ලොක් වෙලා තියෙනවා නම් අපි ඒක හීනි කූරක් හරි මොකක් හරි දාලා සුද්ද කරලා කරලා චුට්ටක් අවහිරතාවය මග අරින්න යම් යම් උපක්‍රමයක් හදනවා වගේ වැඩක්.
- Bypass surgery (CABG) –බයිපාස් කියලා අපි පොඩි කාලේ නිතරම අහපු ඔපරේෂන් එක තමයි මේක. ඒකෙදි අපි කරන්නේ බ්ලොක් වෙලා තියෙනවා නම් අපි වෙනත් මාර්ගයක් හදලා එන රුධිරය බ්ලොක් එක මග ඇරලා, එහෙම නැත්නම් බයිපාස් කරලා, ආපහු හෘද පේශයට ලැබෙන්න පුංචි ඔපරේෂන් එකක් කරනවා. අපි ගෑස් ලිපේ කතන්දරේම කියනවා නම් ඒක හරියට බටේ බ්ලොක් වෙලා නම් නං අපි වෙන බට කෑල්ලක් අරගෙන බ්ලොක් එක මග ඇරලා ජොයින්ට් කරනවා වගේ වැඩක්.
මේ සර්ජරි වල සක්සස් රේට් එක එහෙම නැත්නම් සාර්ථක වෙන්න තියෙන හැකියාව ඉතාම වැඩියි. සාමාන්‍යයෙන් ස්ටෙන්ට් ආශ්‍රිතව කරන කෙනෙක් ස්ටෙන්ට් එකක් දානවා කියන හෘද සැත්කමකදී සියයට අනූපහක් විතරම සාර්ථක වෙනවා. ඒ වගේම බයිපාස් වල සියයට හැටක හෝ ඊටත් වඩා සාර්ථකතාවයන් තියෙනවා. ඒ කියන්නේ ඊගාව අවුරුදු දහයට එයාලට හෘද රෝගයක් හැදෙන්න තියෙන ඉඩකඩ අඩුවීමේ ප්‍රවණතාවයක් තියෙනවා.
අනිවාර්යෙන්ම ඒක තමයි කරන්න පුළුවන්ම සහ ලේසිම විදිහ
- දුම් පානය නතර කරන්න. දුම් පානය නිසා කිරීටක දමනි නැවත නැවත බ්ලොක් වෙන්න පුළුවන්. ඒ වගේම ඔපරේෂන් එකකින් පස්සේ ඒ දාන ස්ටෙන්ට් වගේ ඒවත් දුම් පානය නිසා බ්ලොක් වීමේ අවධානම තියනවා
- හදවතට සුවදායක ආහාර වේලක් ගන්න. තෙල් අඩු, එළවළු පලතුරු, තන්තු බහුල ආහාර වේලක් හදවතට ප්‍රියජනකයි.
- දිනපතා ක්‍රියාකාරකම්වල යෙදෙන්න. මේ ව්‍යායාම සහ ක්‍රියාකාරකම් හින්දා අපේ රුධිර ගමනාගමනය ක්‍රමානුකූල කරනවා වගේම කිරීටික දමනි අවහිර වීමේ හැකියාව තියෙන අනෙකුත් අදි අවදානම් ලෙඩ රෝග හැදෙන එකත් වළක්වනවා.
- නිරතුරුව ඔයාගේ සම්පූර්ණ බොඩි චෙකප් එකක් කරගන්න. ප්‍රෙශර් බලාගන්න. සීනි බලාගන්න. ඒ වගේම කොලෙස්ට්‍රෝල් පරීක්ෂා කරගන්න. මේවා සරල වෛද්‍ය පරීක්ෂණවලින් කරගන්න පුළුවන් දේවල්. වෛද්‍යවරයෙක් මුණගැහිලා වාර්ෂික වෛද්‍ය පරීක්ෂණයක් කරලා දෙන්න කියලා කිව්වොත් එයාලා මේ ටික කරල දෙනවා. රජයේ රෝහල්වල බෝ නොවන රෝග සායන මගින් මේවා නොමිලේම කරගැනීමේ හැකියාව තියෙනවා.
හාට් ඇටෑක් එන්න කලින් තමන්ගේ කිරීටක දමනි කොච්චර දුරට බ්ලොක් වෙලා තියෙනවද තමන් කොච්චර සෞඛ්‍යවත්ද නැද්ද කියලා චෙක් කරගන්න එක වටිනවා. හැමතිස්සෙම තමන්මගේ සෞඛ්‍ය තත්ත්වය ගැන තමන්ට හිතන්න වෙනවා. හදිසියේ ආතතිය වැඩිවීමක් ප්‍රෙශර් වැඩිවීමත් එක්ක කෙනෙක්ගේ කිරීටක දමනි හදිසියේ බ්ලොක් වීමක් දක්වා යන්න පුළුවන්. ඒ වගේ කෙනෙකුට හාට් ඇටෑක් එකක් හැදීමේ අවදානමක් තියනවා. ආතතිය කියන එක අපිව ඉක්මනින්ම හෘද අකර්මන්‍යතාවය දක්වාම ගෙනියන්න පුළුවන් නරකම නරක ලෙඩක්. අපි මේ මුකුත්ම ප්‍රතිකාර ගන්නේ නැතිව ඔහේ හිටියොත්, හාට් එකේ බ්ලොක් වෙලා නැතිව තියන කිරිටක දමනි, එයාට පුළුවන් උපරිම ධෛර්යයෙන් පුළුවන් විදියට පැතිරිලා හදවතේ අනෙක් කොටස් බලාගන්න උත්සාහ කරනවා. හැබැයි ඒවා හැමතිස්සෙම සාර්ථක වෙන්නේ නැහැ.
- ඔබේ හදවතේ කිරීටික දමනි හතරක් තියෙනවා. ඒ හතරම හොඳින් රුධිරය පොම්ප කිරීමේ හැකියාවකින් තියෙනවා නං ඔබේ හදවත නිරෝගී.
- කිරීටක දමනි හිරවෙලා ඔයාව හාට් ඇටෑක් කියන තත්ත්වයට යන එක කිසිම රෝග ලක්ෂණයක් පෙන්වන්නේ නැතිව හරි, එහෙම නැත්නම් විටින් විට ඔයාට සංඥා කරමින් හරි, ඔයාට රෝග ලක්ෂණ තියෙනවා කියලා පෙන්නුම් කරනවා වෙන්නත් පුළුවන්. විටින් විට එන පපුවෙ කැක්කුමක්, හතියක්, අධික දාඩිය දැමීමක් ඒ වගේ තියෙනවා නම් මතක තියාගන්න ඔයා වෛද්‍යවරයෙක්ගේ උදව් පතන්න ඕනේ.
- කිරිටක දමනි බ්ලොක් වීමේ ලෙඩ වලට කිසිම ප්‍රතිකාරයක් නැහැ කියන එක අසත්‍යයක්. වෛද්‍ය විද්‍යාව හරහා ඒවට බෙහෙත් වලින් සහ ඔපරේෂන් වලින් සුව කිරීමේ හැකියාව තියෙනවා.
- මේ මොන දේ කරත් රෝගය ඇතිවෙන්න කලින් බලවා ගැනීම තමයි වැදගත්ම දේ. ඒ හින්දා තමන්ගේ සෞඛ්‍ය ගැන තමන් නිරතුරු දැනුවත් වන්න.
- අපි මොන දේ නොකර හිටියත් ඉතිරිවෙලා තියෙන නාල වලින් එකක් හරි ඉතිරි වෙලා තිබුණොත් එයා හදවත තවදුරටත් ජීවත් කරවන්න මොනවා හරි කරනවා. හැබැයි ඒක ස්ථිර විකල්පයක් නම් වෙන්නේ නැහැ. ඒ හින්දා වෛද්‍ය උපකාර පතන්නම වෙනවා. ඒ හින්දා දැන්මම ඔයා ඔයාගේ කිරිටික දමනි වල තත්ත්වය චෙක් කරගන්න.
ඔබේ ජීවිතයේ වටිනාකම තදින්ම දැනෙන්නේ ඔබට සහ ඔබේ සමීපතයින්ට පමණයි. ඒ හින්දා ඔවුන් වෙනුවෙන් ඔබට ජීවත් වීම කියන එක අත්‍යවශ්‍ය දෙයක්. අදම ළඟම රෝහලට ගිහිල්ලා ඔබේ වෛද්‍යවරයා සමග සාකච්ඡා කරලා ඔබේ හෘදයේ තත්ත්වය ගැන විමසිලිමත් වෙන්න. රට පුරා රෝහල්වල හෘද රෝග විශේෂඥයෝ ඔබේ තහවුරු කරන ලද ඉදිරි ප්‍රතිකර්ම වෙනුවෙන් බලාගෙන ඉන්නවා. ඒ නිසා හෘද රෝගයකට ප්‍රතිකාර ගන්නවා කියන එක කන කැස්බෑවා විය සිදුරෙන් එළියට එනව තරම් අමාරු දෙයක් නෙමෙයි. දැන් ලංකාවේ වෛද්‍ය විද්‍යාව හරිම දියුණුයි.
ඔබේ හදවත නිරෝගීව තබා ගන්න.
දැනුවත් කිරීම සහ සටහන,

වෛද්‍ය කිලෝශිනී හෙන්දවිතාරණ
Leave feedback about this