Parent Pulse Blog සුව දිවිය පෝෂණීය සුව දිවිය ආහාර ගන්නා වේගය අනුව ඔබට හිමිවන ප්‍රතිලාභ මෙන්න
පෝෂණීය සුව දිවිය සුව දිවිය

ආහාර ගන්නා වේගය අනුව ඔබට හිමිවන ප්‍රතිලාභ මෙන්න

Healthy Eating Parent Pulse Article Featured Image

ආහාර අනුභව කිරීමේදී අප විසින් දක්වන ප්‍රතිචාර සෞඛ්‍ය තත්වයට ඉතා සමීප ලෙසින් බලපාන බව කැලිෆෝනියා විශ්ව විද්‍යාලය මගින් සිදු කරන ලද අධ්‍යයනයකින් පෙන්වා දෙනවා. උදාහරණයක් විදිහට මෙසේ සිතන්න. ඔබ කැමැත්තක් දක්වන ආහාරයක් දුටු පමණින් ඔබේ සිතට ඇති වෙන්නේ සතුටක්. මේ සතුට නිසා ඔබගේ මොළයෙන් ඩොපමින් රසායනය නිදහස් කරන බැව් පර්යේෂකයන් විසින් පෙන්වා දෙනවා. ඒ නිසාම ආහාර සහ අපේ මොළයේ රසායනයන් අතර ඉතා ප්‍රබල අන්තර් සම්බන්ධතාවයක් තිබෙනවා. එහෙම නම් අපි ආහාර අනුභව කිරීමේදී මේ ගැනත් දැන ගැනීම වැදගත්.

ආහාර ගැනීමෙදී අපට විනයක් තිබීම වැදගත්. ඒ නිසාම අපේ පැරණ්නන් වේගයෙන් ආහාර ගන්නා විට දොස් නගනවා. හොඳින් විකා සෙමින් ආහාර අනුභව කිරීමට ඔවුන් නිතරම උපදෙස් ලබා දුන්නා. සෙමින් ආහාර ගැනීමෙන් අපට බොහෝ ප්‍රතිලාභ ලැබෙනවා.

නමුත් කාර්ය බහුල ජීවිතය නිසා සැප පහසුව වාඩි වෙලා බත් කටක් කන්න අපට වෙලාවක් නැහැ. කටට දෙකට ගිල දානවා මිසක් බත් ටික හපලා කන්නවත් කෝ වෙලාවක්…? ඔබ එහෙම සිතුවත් කලබලයෙන් කටට දෙකට ගිල දැමීමට වඩා අඩුම වශයෙන් විනාඩි 20 කවත් වෙලාවක් තුළ හොඳින් ආහාර විකා, සෙමින් අනුභව කිරීමෙන් ලැබෙන ප්‍රතිලාභ රාශියක් තිබෙනවා.

  • ආහාරයේ රසය දැනෙනවා

ඔබ සෙමින් හොඳින් විකා ආහාර ගැනීමේදී එහි රසය හොඳින් විඳීමට හැකියාවක් ඔබට ලැබෙනවා. ආහාරයේ රසය ගැන දැනෙන සංවේදනය නිසා ආහාරය ගැනීමෙන් පසුවත් ඔබේ සිතට තෘප්තිමත් හැඟීමක් ඇති වෙනවා. ඔබ වේගයෙන් ආහාර අනුභව කරන විට මේ ප්‍රතිලාභය නම් ලැබෙන්නේ නැහැ.

  • අවබෝධයකින් ආහාර ගැනීම

ආහාර පංගුව දුටු සැනින් එය අනුභවයට යොමු වීමට වඩා සෙමින් ආහාර ගන්නා විට පෝෂණය ගැනත් සිතන්නට අවස්ථාවක් ලැබෙනවා. අනවශ්‍ය පරිදි තෙල්, සීනි සහ ලුණු අධික ආහාර තෝරා බේරා ගෙන පෝෂණ ප්‍රභවයන් සහිත ආහාර පංගුව බුද්ධිමත් ලෙසින් තෝරා ගැනීමේ අවස්ථාව මේ සෙමින් ගමනෙන් ඔබට ලැබෙන තවත් ප්‍රතිලාභයක්.

  • ශරීර බර පවත්වා ගැනීම

කවුරුන් හෝ ඔබේ බත් පිඟාන උදුරා ගැනීමට එන විට හැසිරෙන ආකාරයෙන් ඔබ වේගයෙන් ආහාර අනුභව කරන විට කුස පිරුනත් ඒ බැව් ඔබට දැනෙන්නේ නැහැ. නමුත් සෙමින් ආහාර ගන්නා විට ඔබේ මොළයෙන් කුස පිරී ඇති බවට වූ පණිවිඩය ලැබෙනවා. ඒ නිසා අනවශ්‍ය අන්දමින් සිරුරේ කැලරි ගබඩා වීමක් සිදු වන්නේ නැහැ. ඒ නිසා සෙමින් ආහාර අනුභව කරන්න. ඔබේ ස්කන්ධ කාර්ය දර්ශකය මනාව පවත්වා ගැනීමට එයින් ලැබෙන වාසිය මග හරින්න එපා.

ආහාර ජීරණයට පහසුවක්

හොඳින් විකා ආහාර අනුභව කරන්න යැයි වැඩිහිටියන් එදා ලබා දුන් අවවාදය අදටත් ගැලපෙන බැව් ඔබ තේරුම් ගන්න. කටට ගත් සැනින් ගිල දැමීමට වඩා විනාඩි කීපයක් ඔබ ගන්නා ආාහරය විකන්න. එවිට ආහාර ජීරණය පහසු වෙනවා.ඒ වගේම සෙමින් ආහාර ගන්නා විට මොළයෙන් සතුටු හෝමෝනය හෙවත් ඩොෆමින් නිදහස් වීමද සිදු වෙනවා. ඒ නිසා ඔබ මානසිකව නීරෝගී පුද්ගලයෙකු බවට පත් වෙනවා.

  • දන්ත සෞඛ්‍ය

ඔබ හොඳින් ආහාර විකන විට කෙළ උත්තේජනය වෙනවා. ඒ නිසා දත් අතර රැඳී තිබෙන ආහාර අංශු සේදී යෑම නිසා බැක්ටීරියා වර්ධනය වීමේ අවදානමත් අඩු කරනවා. ඒ වගේම මුඛයේ ඇති අහිතකර සීනි සහ අම්ල වැනි දේ සමතුලිත වීම නිසා දන්ත සෞඛ්‍ය ඇති වීමත් හොඳින් හැපීමෙන් ඔබට ලැබෙන ප්‍රතිලාභයක්.


සටහන

Harvard Health web ඇසුරෙනි.
පුන්‍යා චාන්දනී ද සිල්වා

Exit mobile version