Parent Pulse Blog සුව දිවිය මානසික සුව දිවිය ඉගෙනුමට ඔබේ දරුවා දිරිගන්වන්නේ කෙසේද?
මානසික සුව දිවිය සුව දිවිය

ඉගෙනුමට ඔබේ දරුවා දිරිගන්වන්නේ කෙසේද?

Studeies Parent Pulse Article Featured Image

අධ්‍යාපනය යනු දරුවකුගේ ජීවිතයේ මූලිකම හා වැදගත්ම කටයුත්තකි. එය ඔවුන්ගේ අනාගතය ගොඩනගන පදනම වන අතර, සාර්ථක අධ්‍යාපනයක් තිබීම ඔවුන්ගේ වෘත්තීය ජීවිතයට, සමාජීය ස්ථානයට සහ පුද්ගලික සතුටට මූලික වෙයි. නමුත් බොහෝ දරුවන්ට අධ්‍යාපන කටයුතු කෙරේ නිරන්තර උනන්දුවක් පවත්වාගෙන යාම පහසු කරුණු නොවෙයි. සමහරුන්ට ඉගෙනීම කටුක ලෙස පෙනෙන අතර, සමහරුන්ට කාලය හොඳින් කළමනාකරණය කිරීමේ දුෂ්කරතාවය හේතුවෙන් ඉගෙනීම සම්බන්ධව ඇත්තේ අප්‍රසාදයකි. එබැවින්ම, දෙමාපියන් හා ගුරුවරුන් දරුවාගේ උත්සාහය වර්ධනය කිරීම අතිශය වැදගත්ය.

  • ආදර සහ හිතකාමී පරිසරයක් සකස් කරන්න

දරුවකු තුළ ඉගෙනීමට ඇති උනන්දුව ගොඩනැගෙන්නේ ජීවත් වන පරිසරයෙන්ය. නිවස තුළ දරුවාට ආදරණීයව තේරුම්ගැනීමෙන් සහ නිදහස් පරිසරයක් ලබා දෙනවා නම්, ඉගෙනීමට දරුවාගේ මනසේ ඒකාග්‍රතාවය සහ උනන්දුව වැඩිවෙයි. කටුක වචන, තරහ සහ අධික පීඩනය දරුවාගේ උත්සාහය අඩු කරයි. එ් වෙනුවට උනන්දු වීම, දරුවාගේ දුර්වලතා දැනගනිමින් ඔහුට උපකාර කිරීම මඟින් ඉගෙනීම දරුවාට පහසු කටයුත්තක් කරගත හැක.

  • ඉගෙනීමට සුදුසු පරිසරයක් ගොඩනඟන්න

දරුවෙකුට ඉගෙනීම වෙනුවෙන් කැප වීම සදහා ඒ වෙනුවෙන් සුදුසු වටපිටාවක් තිබිය යුතුමය. නිවස අධ්‍යයන කටයුතු සඳහා සුදුසු එනම් නිහඬ, පිරිසිදු, පිළිවෙළ සමගින් අවශ්‍ය පහසුකම් සහිත වටපිටාවක් විය යුතුය. සෙල්ලම් බඩු, දුරකථන හෝ රූපවාහිනියක් ඉගෙනීමේ ගතවන කාලයේදී සීමා කළ යුතුය. එමගින් දරුවාගේ අවධානය විසිර නොයා අධ්‍යයන කටයුතු කෙරේම පවත්වා ගැනීමට උපකාරී වේ.

  • ඉගෙනීමේ වැදගත්කම පැහැදිලි කිරීම

කිසිඳු අරමුණක් නැතිව ඉගෙනීම, පීඩාකාරී හා නිෂ්ඵල කටයුත්තක් ලෙස දරුවෙකුට හැඟිය හැක. එබැවින් ඔහුට ඉගෙනීමේ වැදගත්කම, එය ඔහුගේ අනාගතය සඳහා ගෙනෙන ප්‍රතිලාභ දරුවාට පැහැදිලි කරන්න. උදාහරණයක් ලෙස, ඉගෙනීම මඟින් තමන්ගේ ඉලක්ක කරා යාමට මංපෙත් විවර වන බව, කැමති ක්ෂේත්‍රයේ සාර්ථක පුද්ගලයෙක් වීමට ඉගෙනීම මූලික වන බව, ඉගෙනගත් පුද්ගලයෙකු වශයෙන් මතු දිනෙක සමාජය තුළ හිමිවන තැන වැන කරුණු පැහැදිලි කිරීමෙන් දරුවාගේ අධ්‍යයන උනන්දුව වර්ධනය වේ.

  • අඩු පීඩනය – වැඩි දිරිගැන්වීම

අධික පීඩනයක් යටතේ තමාට ඉගෙනීමේ කටයුතු සිදුකිරීමට සිදුව ඇතැයි දරුවා තුළ අදහසක් ඇත්නම් එය දරුවාගේ උත්සාහය බිඳ දමයි. එවිට කාලයත් සමඟ ඔහුට අධ්‍යයන කටයුතු ගැන බියක් හෝ කනස්සල්ලක් මතුවේ. එවැනි අවස්ථාවලදී, දරුවාගේ දුර්වලතා සහ ශක්තිමත් කරගත හැකි අවස්ථා හඳුනා, දිරිගැන්වීම, ප්‍රගතිය අගය කිරීම සහ කුඩා ජයග්‍රහණ අගය කිරීම මගින් උත්සාහය වැඩි කළ හැක.

  • නිසි ඉගෙනුම් රටාවක්

පිළිවෙළක් නොමැති ඉගෙනීම මඟින් දරුවාට අවුල් සහ ගැටලු බොහොමයක් ඇති වේ. එම නිසා දවස තුළ ඉගෙනුම් කාලය, විවේකය සහ සෙල්ලම් කාලය නිසි ලෙස සැලසුම් කිරීම වැදගත්ය. දරුවාගේ දෛනික වැඩපිළිවෙලක් සකස් කර එය අනුගමනය කිරීමට උත්සාහ දරවන්නේ නම් ඉගෙනීමේ දී ආරක්ෂාව සහ ස්ථාවරත්වය ඇති වේ. මෙය ඉගෙනීම කෙරේ උත්සාහය ස්වයංක්‍රීයව වැඩි කරයි.

  • ගුරු හා දෙමාපියන්ගේ එකමුතුව

ඉගෙනීම යනු ගුරු සහ දෙමාපියන් එකට කටයුතු කළ යුතු ක්ෂේත්‍රයකි. ගුරුවරුන් දරුවාගේ දුර්වලතා හා ශක්තිමත් කුසලතා හඳුනාගැනීමේදී දෙමාපියන් සමඟ එකට වැඩ කළහොත්, දරුවාට අවශ්‍ය උපකාරය ඉතා සාර්ථකව ලබා ගත හැක. ගුරුවරුන්ගෙන් දරුවාගේ ප්‍රගතිය ගැන නිතරම දැන ගැනීම, දරුවාට ගැලපෙන ඉගෙනුම් විධානයක් සොයා ගැනීම හා එකමුතුවෙන් යොමු කරවීම මඟින් ඉගෙනීමට ඇති උත්සාහය වර්ධනය කළ හැක.

  • තාක්ෂණය සාර්ථකව භාවිත කිරීම

අද කාලයේ දරුවන්ට තාක්ෂණය නොමැතිව ඉගෙනීම සිදු කළ නොහැක. නමුත් දුරකථන හා ගේම් අධික ලෙස භාවිත කිරීම ඉගෙනීමේ උනන්දුව අඩු කළද, එය සාර්ථකව භාවිත කළොත් ඉගෙනීම ආකර්ෂණීය කටයුත්තක් කළ හැක. උදාහරණයක් ලෙස YouTube හි අධ්‍යයන වීඩියෝ වැනි දෑ භාවිතයෙන් දරුවාගේ උත්සාහය හා උනන්දුව වැඩි කළ හැක.

  • දරුවාගේ රුචි හා ප්‍රියතම ක්ෂේත්‍ර සම්බන්ධ කරගන්න

දරුවාට කැමති ක්ෂේත්‍රයන් සමඟ අධ්‍යයනය කටයුතු සම්බන්ධ කිරීම උත්සාහය වැඩි කරයි. උදාහරණයක් ලෙස, දරුවා චිත්‍රකලාවට කැමති නම්, ගණිත සංකල්ප චිත්‍ර හෝ රූප මගින් පැහැදිලි කළ හැක. කලාත්මක හැකියාවන් ඇති නම්, ඉගෙනුම් සටහන් රූපවත් කරගන්නට හැක. මෙවැනි ක්‍රම දරුවාගේ ආශාවන් හා අධ්‍යයනය කටයුතු එක් කරන මගක් වන අතර, එය බරපතල කටයුත්තක් ලෙස නොව, ආකර්ෂණීය අත්දැකීමක් වනු ඇත.

  • වටපිටාවෙන් ආදර්ශ ලබා දෙන්න

දරුවන්ට දෙමාපියන්, ගුරුවරුන් සහ වටා සිටින වැඩිහිටියන් ආදර්ශ වේ. ඔවුන් තමන්ගේ කටයුතුවල කැපවීම, පොත් කියවීම සහ අඛණ්ඩව උත්සාහය දක්වන ආකාරය දරුවා දකින විට, එම ආදර්ශය පිළිපැදීමට තරමක් හෝ උනන්දුව මතුවේ. එබැවින්ම, දරුවාගේ උත්සාහය වැඩි කිරීමට දෙමාපියන්ට තමන්ගේ දෛනික ජීවිතයේ ආදර්ශමත් කටයුතුවලින් ඉදිරියෙන් සිටිය යුතුය.

ඉගෙනීමට ඇති උත්සාහය වර්ධනය කිරීම සරල කටයුත්තක් නොවෙයි. එය දරුවාගේ මනෝභාවය, පරිසරය, ගුරු සහ දෙමාපියන්ගේ සහය, තාක්ෂණය භාවිතය සහ දරුවාගේ පුද්ගලික ආශාවන් යන කරුණු ගණනාවක් සම්බන්ධ කරගත් විශාලම ක්‍රියාවලියකි. නමුත්, ආදරය, අවධානය, නිවැරදි මාර්ගෝපදේශය සහ සකස් කළ වැඩපිළිවෙලක් මඟින් ඕනෑම දරුවකු තුළ ඉගෙනීම සදහා වූ උත්සාහය වැඩි කරගත හැක. ඔහුගේ කුඩා ජයග්‍රහණ සැමරීම, ගුරු සහ දෙමාපියන්ගේ එකමුතුව හා ආකර්ෂණීය ඉගෙනුම් ක්‍රම භාවිතය මඟින් දරුවා අනාගතයේ සාර්ථක හා උනන්දු පුද්ගලයෙක් බවට පත්වේ.


Exit mobile version