ඩොක්ටර් මගෙ රිපෝර්ට් එක ගැන කියන්න කතා කලේ.
දවසක් තරුණ යුවළක් එනවා වාට්ටුවට, තැලසීමියා වාහක පරීක්ෂණයක් කර ගන්න.
අපේ වාට්ටුවෙ සතියේ දින පහේම උදේ 12 වෙනකන් මේකට රුධිර සාම්පල ලබා ගැනීම කරනවා.
එනකොට මුද්දරේකුයි ලියුම් කවරෙකුයි ගේන්න විතරයි තියෙන්නෙ. ඒ හැර මෑතකදි ගත්ත FBC රිපෝර්ට් එකක් ඕන වෙනවා. හේතුව දැන් ඒ පරීක්ෂණය, අපේ රෝහලේ සායන වලට එන අයට කරන්න පහසුකම් නැති කම. ඒ නිසා එනකොට පිලිගත් ලැබ් එකකින් කරගත්ත FBC එකක් එක්කම ආවා නම් පහසුයි.
ඇයි මේක කරන්නෙ?
අපි විවාහ වෙන්න ඉන්නෙ.
ඉතින්?
මෙයා තැලසීමියා වාහක.. ඒකයි මාත් බලවගන්න ආවෙ.
ඔයාලා මොකද කරන්නෙ.?
මන් ජැෆ්නා යුනිවර්සිටි. මෙයා පේරාදෙනියෙ.
ලේ සාම්පලේ ගන්නකන් අපිත් ආගිය මුලගිය අලගිය තැන් කතා කරනවා.
ඔයාලා මුණ ගැහුණේ කොහොමද?
ඉස්කෝලෙ කාලෙ ඉදන් දන්නවා ඩොක්ටර්…
දුවට තියෙන්නෙ රෝස පාට කාර්ඩ් එකක්.
ඒ කියන්නෙ ඔයාට විවාහ වෙන්න පුලුවන් වෙන්නෙ කොල පාට කාඩ් එකක් තියන කෙනෙක් එක්ක විතරයි. ඒක දන්නවනෙ. ඔයාට කොල පාට කාර්ඩ් එකක් නම් තියෙන්නෙ ඕන කෙනෙක්ව විවාහ කර ගත්තෑකි. ඔයාට රෝස කාර්ඩ් එකක් තියේනම් අනිවාර්යයෙන්ම ඔයා විවාහ වෙන්න ඕන කොල කාර්ඩ් එකක් තියන කෙනෙක් එක්ක විතරයි. ඔයා ගාව මොනම කාර්ඩ් එකක්වත් නැත්නම් , විවාහය අනිවාර්යයෙන්ම කොල පාට කාර්ඩ් එකක් තියන කෙනෙක් එක්ක වෙන්න ඕන. නැත්නම් චෙක් කර ගන්න ඕන.
අපි සායනයට එන හැමෝගෙම ආය පාරක් පොරොන්දම් බලල දෙනවා.
පුතාල ආපු එක හොදයි.
පොඩි දෙයක් අහන්නද?
හා …
දැන් පුතා කැමති ඔයාට මොකක් වෙනවටද ?
කොල පාට කාර්ඩ් එකක් ලැබෙනවට…
ඔයාට රෝස පාට කාර්ඩ් එකක් ලැබුනොත් ?
හුස්ම දිග වැඩි යි. වෙන සද්දයක් නෑ.
ඒ වෙලාවෙ වාට්ටුවෙ ළමයින්ට දෙන්න ලේ අරන් එනවා.
මේ ලේ මේ ළමයින්ට. මෙයාලා මාස හයේ ඉදන් මෙහෙ ඉන්නෙ. මැරෙනකන්ම මාසෙන් මාසෙට ලේ දෙන්න ඕන. අම්ම බබාත් එක්ක එනකොට තාත්තා ගොඩක් වෙලාවට ගෙදර නෙවේ. පවුල් කැඩෙන්නෙ හිතන්නත් බැරි විදිහට. රස්සාවල් හරියට කර ගන්න බැරි වෙනවා. අගහිගකම් එන්නෙ හිතන්නත් බැරි විදිහට. මතක තියාගන්න මේ දරුවන්ගෙ අම්මලා තාත්තාලා ඔක්කොම වාහක. එයාලා දැනුවත්ව හෝ නොදැනුවත්ව ගත්ත තීරන නිසා එයාලත් විදවනවා. පොඩ්ඩොත් විදවනවා.
ළමයි හදන්නෙ නැතිව බදින්න පුලුවන් නේද?
පුලුවන්. හැබැයි ඒ තීරණේ මුලුමනින්ම ඉන්න ඕන. ටික දවසක් යනකොට ළමයි නැත්තෙ ඇයි කියල අහනකොට, නමට හරි ළමයෙක් උන්න නම් හොදයි කියල හිතනකොට ඔයාලටම උපත් පාලනේ නවත්තන්න හිතෙන්න ගන්නවා. අනික මේ රටේ කිසිම උපත් පාලනයක් 100% සාර්ථක නෑ. මේ රටේ නම් ඉන්නෙ ඔයාලට නිරෝගී දරුවෙක් හදාගෙන සතුටින් ඉන්න ලැබෙන අවස්තා විරලයි. මේක අමාරු තීරනයක්. ඔයාලට විතරක් නෙවේ අපිටත්. ඒ නිසා අපි ගාවට එන්න ඕන වෙඩින් කාර්ඩ් එකත් අරන් නෙවේ. ඊට කලින්. හරියටම කියනව නම් ලොකු වෙලා අයිඩෙන්ටිටි කාර්ඩ් එක හම්බ වෙන්නත් කලින්. අපේ අඩුපාඩුවක් තියනවා. මේක සමාජගත වෙන්නෙ හරි හිමීට.
තැලසීමියා වාහකයො ගලක් ගැහුවත් පදුරකින් දහයක් පහලොවක් විසිවෙන තරමට ඉන්නවා. එහෙව් එකේ ඒ ජාතියෙ දෙන්නෙක් හම්බ වෙලා රෝගී දරුවෙක් ලැබෙන්න තියන සම්බාවිතාව හුගක් වැඩියි. ගමේ වුනාම ඒක තවත් වැඩියි. අනුරාධපුර කුරුණෑගල වගේ මුල්ගම් තියනව නම් තවත් වැඩියි. ලේ නෑයො වුනාම හොදටම වැඩි. පුතාලා කැමති නම් අපේ වාට්ටුවෙ අම්මලත් එක්ක ටිකක් කතා කරල එන්න. අපෙ අම්මලා හරිම කැමැත්තෙන් එයාලගෙ පැත්තෙන් වෙන්න තිබ්බ වෙච්ච දේ ගැන පැහැදිලි කරල දෙනවා.
ටික වෙලාවකින් ආය ජෝඩුව මන් ලගට එනවා.
මොකද වෙන්නෙ ?
අමාරු තීරනනෙ ඩොක්ටර් ගන්න වෙන්නෙ…
හ්ම්… ලේසි නම් ඔච්චර දගලන්න ඕන නෑනෙ.
තාම ඔයා බැලුවෙ නෑනෙ. බලල ඉවර වෙලා රිපෝර්ට් එකත් එක්ක එන්නකො. සුබම දෙයක් ලැබෙන්න කියලා මමත් ප්‍රාර්තනා කරන්නම්.
යන්නම් කියල ගියා.
ඔය කීවට ඔලුවට ගන්න එකක් නෑ.
මම මටම කීවා.
මට පෙරේදා කෝල් එකක් එනවා.
ඩොක්ටර් මගෙ රිපෝර්ට් එක ගැන කියන්න කතා කලේ.
ආ කොහොමද?
කොල පාට….
කොල පාට රිපෝර්ට් ගෙදරටම තැපෑලෙන් යනවා. රෝස පාට කාර්ඩ් ටික කෝල් දීලා වාට්ටුවට ගෙන්නගෙන ආය කියල දීලා තමයි යවන්නෙ.
එහෙනම් හරිනෙ.
ඔව්.
බැරිවෙලාවත් රෝස පාට වුනානම් මොකද කරන්න උන්නේ.
අපි සම්බන්දෙ නතර කරන්න උන්නෙ.
ඒක තමා පුතේ නැණවත්ම තීරණේ…
ජීවිතේ තියෙන්නෙ හැම තැනම කීවට ජීවිතේ තියෙන්නෙ ඊට පස්සෙ. හුගක් රෝස කාර්ඩ් වලට ජීවිතේ හම්බ වෙන්නෙ ඊට පස්සෙ.

කිලෝශිනී හෙන්දවිතාරණ වෛද්‍යතුමියගේ මුහුණු පොතේ පල වූ තැල් කතා ඇල්බමයෙන් උපුටා ගන්නා ලදී.

වෛද්‍ය කිලෝශිනී හෙන්දවිතාරණ
තැලසීමියා ප්‍රතිකාර හා නිවාරණ මධ්‍යස්ථානය
අනුරාධපුරය
Leave feedback about this