සාමාන්‍යයෙන් කුඩා දරුවන් කෑම ගන්නේ හරියට තෝරල බේරලා. දවසින් දවස උස් මහත් වෙන එයාලගේ නිදහස ඔවුන්ට ඉතාමත් වටිනවා. තමන්ගේ දරුවා කෑම එපා කියන එක අම්මා කෙනෙක්ට ලොකුම බාධාවක් වගේම මනසට ලොකු පීඩනයක්. ඒ වගේම දරුවෙකුට කෑම කවනවා කියන එක තමයි අම්මා කෙනෙකුට තියෙන ලොකුම අභියෝගය කියලා කිව්වොත් ඒකෙත් වරදක් නැහැ. ඒ අභියෝගයම දරුවාට හිතකර ආහාර රටා හුරු කරවන අවස්ථාවක් විදියට ගන්න අම්මලාට පුළුවන්. දරුවන් වැඩිවියට පත් වූ පසුත් ඔවුන්ගේ ගති පැවතුම් පවතින්නේ කුඩා අවධියේදී හුරුපුරුදු වූ ආකාරයටමයි. අන්න ඒ නිසාම දරුවන්‍ට කෑම ගන්නා නිවැරදි ක්‍රම ද කුඩා වියේ සිටම හුරු කළ යුතු වෙනවා.
කෑම වෙලාවට සිඟිත්තාගේ අවධානය වෙනත් දේ සඳහා යොමු නොවිය යුතුයි. ඒ නිසාම දරුවාගේ අවධානය වෙනතක යොමු නොවන ආකාරයට ආහාර වට්ටෝරුව පිළියෙල වීම ඉතා වැදගත්. පෝෂණීය ආහාර වර්ගවලට දරුවා යොමු කරවීම ඊටත් වඩා වැදගත්. මේදය, සීනි, කොලොස්ටරෝල් අධික ආහාර වර්ග වලින් දරුවා හැකි තරම් ඈත් කරන්න. පෝෂණිය මෙන්ම සිඟිත්තාට ප්‍රණීත ආහාර වර්ග සකසා දීමට ආහාර වේල දරුවාට ප්‍රිය ජනක අවස්ථාවක් කර දෙන්න. සෑම ආහාර වේලකදීම එහි අඩංගු සියලුම ආහාර වර්ග දරවා ආහාරයට නොගැනීම ගැන කලබල නොවිය යුතුයි. නමුත් සමබර ආහාර වේලක් දරුවාට ලැබෙනව නම් එය දරුවාගේ වර්ධනයට බොහෝසෙයින් ඉවහල් වෙනවා.
අම්මයි තාත්තයි දරුවා කෑමට ප්‍රතික්‍ෂේප කරන්නට හේතු හඳුනාගන්න සැමවිටම උනන්දු විය යුතුයි. සමහර දවස් වලට දරුවා කෑම ගන්නව හොඳට බඩ පිරෙන්න. ඒත් සමහර දවස් වලට කෑම ප්‍රතික්‍ෂේප කරනවා. කැවීමට අපේක්ෂා කරන සෑම අහර පිඬක්ම දරුවාට ගිල්ලවන්න නොහැකි විය හැකියි. දරුවාට බඩගිනි නැති අවස්ථාවල බලෙන් කැවීමට උත්සාහ නොකිරීම දරුවාට මහත් සහනයක්. හොඳ ආහාර ගැනීමේ පුරුදු ඇති කරවීමෙන් එය, දරුවාට කුස ගින්නත් කුස පිරී යාමත් හොඳින් හඳුනාගන්න උදවු වෙනවා. තව එක කටක් කෑමට වද කිරීමෙන් දරුවා තම සිරුරේ විධාන නොතකා හැරීමට පුරුදු වෙනවා. පමණ ඉක්මවා කෑමට පුරුදු වෙන දරුවා අධි තරබාරු දරුවෙක් බවට පත් විය හැකියි. ඒ තත්ත්වය දරුවාගේ ශරීර සෞඛ්‍යයට හානි කරයි. ඒ නිසා දරුවාට එපා කියනව නම් බල නොකර, විධිමත්ව ක්‍රමවත්ව ආහාර ගැනීමට පුරුදු කරවන්න. දරු පැටියා පිඟානේ බෙදූ ආහාර අහවර නොකරන්නේ නම් බෙදන කෑම ප්‍රමාණය අඩු කරන්න. උවමනා නම් දරුවාට තව ඉල්ලන්නට ඉඩ තබන්න. ඔබේ දරුවා හොඳින් වැඩෙනවා ඔබට පෙනෙන්නේ නම් දරුවා ගැන සතුටු වෙන්න.
සිඟිත්තන්නට අපි කරන දේවල් කරන්න හිතෙනව. ඒක දරුවන්ගේ ස්වභාවයක්. ජංගම දුරකථනයෙන් ඇමතුමක් ගන්න හිතෙනව. ඔබේ පාවහන් පැළඳගෙන මිදුලේ ඇවිදින්න හිතෙනව. ඉතින් ඔබ මාළු, කුකළු මස්, පළතුරු, එළවළු ජාති, ආදී පෝෂණිය ආහාර වර්ග වැඩිපුර ගැනීමත්, බැදුම් වර්ග සහ වෙනත් රස මිස පෝෂණයක් නැති ආහාර වර්ග නොගැනීමත් දරුවාට දකින්නට ඉඩ දෙන්න. දරුවා ඔබව අනුකරණය කරාවි. ආහාරය පෝෂණිය නම්, දරුවා කනවා නම් දරුවාත් ඔබත් සතුටට පත් වේවි.
දරුවට කෑම දෙනකොට දරුවා එක් වරම ‘හා’ නොකිව්වට කමක් නෑ. දරුවා හඳුනා ගන්න. කෑම කනවද කියල ඇහුවම ‘නෑ’ කියන්නෙ එපා කියනව නෙවෙයි. දැන් එපා කියන එකයි. සමීක්ෂණයකින් හොයාගෙන තියනව දරුවෙකුට අලුත් ආහාර වර්ගයක් දුන්නම එකඟ වෙන්නෙ අම්මා 15 වතාවක් උත්සාහ කළාට පසුව බව. ඉතිං හිත රිදවගන්න උවමනා නැහැ. එයා එකඟ වෙන්නෙ, දෙතුන් වතාවක්, හත් අට වතාවක්, දහ දොළොස් වතාවක් කිව්වට පසුවයි.
පවුලේ සාමාජිකයින් සමග එකට දරුවාට පෝෂණිය ආහාර වේලක් සූදානම් කරන්න. හොඳම ක්‍රමය එයයි. එවිට දරුවාට තේරුම් යනවා ආහාර වේලක් කියන්නෙ බඩ පුරවා ගැනීමත්ම නොවෙයි කියන දේ. පවුලේ සැවොම එකට එක්ව ආහාර වේලක් ගන්නකොට ආහාර ගැනීමට දරුවාගේ අවධානය වඩාත් යොමු වෙනව. පවුලේ ආහාර වේලක් ගන්න දරුවෙකු පෝෂණිය ආහාර වලට හුරු පුරුදු වෙනව වගේම, අහිතකර ආහාර වර්ග වලට හුරු පුරුදු වීමෙන් වලකින බව අධ්‍යයන වලින් තහවුරුවී තිබෙනවා. පවුලේ සියල්ලන්ටම එකට හිඳ ආහාර ගන්න බැරි වෙන අවස්ථා තියනවා. ඒ සඳහා සති අන්තය යොදා ගන්න. නැත්නම් හැකි අවස්ථා යොදා ගන්න. දරුවන් නිදහසට හරි කැමතියි. ඔබ සකස් කරන්නේ හිතකර පෝෂණීය ආහාර වර්ග නම් දරුවා එය තෝර ගැනීමේ කිසිඳු වරදක් නෑ. ඒ එක්කම දරුවාගේ රුචි අරුචිකම් අනුව ආහාර ලබා දීමට කටයුතු කරන්නේ නම් එයද ආහාර කෙරේ ප්‍රියතාවයක් ඇති කරවීමට හොඳ උපක්‍රමයක්.
දරුවන්ට නොගැලපෙන ආහාර වර්ග නිවසේ නැත්නම් දරුවාටද ඒවා නුහුරු නුපුරුදු වෙනව. නිතර භාවිතයට නුසුදුසු වර්ග හැමවිටම දරුවාට තහනම් කළ යුතු වන්නේද නෑ. නිවසේ විශේෂ උත්සව අවස්ථාවකදී, උපන් දින සාදයකදී, විශේෂ ඇස පිනවන විවිධ රසයන්ගෙන් යුතු කෘත්‍රිම මෙන්ම ක්‍ෂණික ආහාර වර්ග තෝරා ගැනීමට පෙළඹිය හැකියි. කලාතුරකින් අවස්ථාවකදී එවැන්නක් දරුවාට ලබා දීමේ එතරම් වරදක් නෑ. නිවසේ ආහාර ඇසුරුම් විධිමත් ලෙස සකස් කර තැබීමෙන් දරුවාට යම් දෙයක් කෑමට අවශ්‍ය වූ විට අම්මාගෙන් ඉල්ලා සිටීම අවශ්‍ය වන්නේ නෑ. දරුවාට අවශ්‍ය දේ අවශ්‍ය තැනින් ලබා ගත හැකියි.
දරුවාට රුචි ආහාර වර්ග දිය යුතුයි. නමුත් නිවස කියන්නෙ හෝටලයක් නොවෙයි. ඉතිං දරුවා වෙනුවෙන් වහා විශේෂ අහරක් සපයන පුරුද්දක් අවශ්‍ය නැහැ. සෑම කෑම වේලකටම දරුවා කන්න කැමති දෙයක් එක් කරන්නට මතක තබා ගත යුතු නමුත් දරුවා කන්නේ නෑ කියා ක්‍ෂණිකව යම් යම් දේ පිළියෙල කිරීම නොකළ යුතුයි. ඔබ සැකසූ දෙයක් රස විඳින්නන ඉඩ හරින්න. එවිට දරුවා කෑම මේසයේ ඇති යම් දෙයක් තෝරා ගැනීමට පෙළඹෙනවා. ඊට අමතරව එවිට දරුවා මේසය මත තිබෙන දෙයක් තෝරා ගන්නවා ඇත.
කිරි/යුෂ වර්ග සිඟිත්තාගේ ආහාරයේ පෝෂණිය කොටස්. යම් දරුවෙක් දිනක් අවුන්ස 16 – 24 අතර ප්‍රමාණයක කිරි බොනවා නම්, අවුන්ස 6 කට වඩා යුෂ වර්ග පානය කරනවා නම්, ඔවුනට කුස ගින්න පමා වෙයි. මෙම ප්‍රශ්නයට අවධානය යොමු කරල වතුර පානයට දරුවා යෙමු කරන්න. යුෂ වර්ග දුන්නත් එහි අඩංගු සීනි සහ කැලරි ප්‍රමණය අඩු කරන්න වතුර වැඩිපුර මිශ්‍ර කර පානය සකස් කර ගන්න.
දරුවා කැමැත්තෙන් ගන්නා ආහාර වර්ගය එකම වර්ගයක් වුවත් එය දරුවාට දීමේ වරදක් නැත. දරුවෙක් එක ආහාර වර්ගයක දිගු කලක් රැඳී සිටින්නේ නැති නිසාම බලපෑම් කිරීම සුදුසු නොවේ. පෝෂණිය බවේ විවිධත්වය එක්ක දරුවා කැමති දේ ලබා දීම වැදගත්. මතක තබාගන්න දරුවා වයසින් වැඩෙත්ම මේ තත්වය මග හැරෙනවා.
මේ ආකාරයෙන් දරුවාගේ ආහාරය පිළිබඳව ඔබ දැනුවත්ව සිටින්නේ නම් එය ඔබට ගැටළුවක් නොවනු ඇත. එසේම දරුවාට ආහාර ලබා දීමේදී දරුවා සමග ආහාරයේ රසය, වර්ණය පිළිබඳව කතා බහ කිරීමත් ඒ හරහා දරුවාට ලැබෙන පෝෂණය පිළිබඳව දරුවාට වැටහෙන ලෙස පැවසීමත් ඉතා වැදගත්. දරුවාගේ අවධානය වෙනතක යොමු කොට කෙසේ හෝ කෑම පිඟාන හිස් කරගැනීමට ඔබ උත්සාහ කරන්නේ නම් එය අදම නවතා දමන්න.
Leave feedback about this