ඔක්තෝබර් 23, 2025
Infant Walking Parent Pulse Article Featured Image
දරුවන්ගේ සුව දිවිය සුව දිවිය

කල්තියා හඳුනා ගත යුතු දරුවන්ගේ පාදවල විකෘතිතා 3ක්

දරුවන් සම්බන්ධව කතා කිරීමේදී මව්පියන්ට බොහොමයක් ගැටලු පවතිනවා. ඒ අතරින් නිතර කතා බහට ලක් වෙන මාතෘකාවක් වුවත් මව්පියන්ට හඳුනා ගැනීමට අපහසු පාදවල දැකිය හැකි විකෘතිතා කීපයක් පිළිබඳව මේ ලිපියෙන් සාචක්ඡා කෙරෙනවා. එනම්,

  • කකුල් බකල් වීම ( Bow leg )
  • Talipes equinovarus සහ Talipes calcaneovalgus
  • දණහිස් එකට ගැටීම ( Knock knee )

කුඩා දරුවන්ගේ කකුල් බකල් වීම අද බොහෝ දෙමාපියන්ට ඇති වන ගැටලුවකි. වෛද්‍ය විද්‍යාවේදී මෙය ජිනු වේරම් (Genu Varum) ලෙස හැඳින්වේ. සාමාන්‍යයෙන් මෙම තත්ත්වය සෑම ළමයකුගේම කුඩාම අවධියේ තිබෙන අතර කෙටි කලකදී (අවුරුදු 2 කදී) ස්වභාවිකව නැතිව යයි.

  • දරුවා ස්වෝත්සහයෙන්ම සිට ගැනීමට ප්‍රථම දෙමාපියන් විසින් බලෙන් දරුවා සිටුවා තැබී‍ම නිසා අස්ථි වර්ධනයට ප්‍රථම සිරුරේ ඉහළ කොටසේ බර දෙපා වලට බලපාන නිසා.
  • අධි බරකින් යුක්ත දරුවෙකු වීම
  • රිකටිස් නම් වූ රෝගය නිසා

බොහෝ අවස්ථාවල දෙපා වල මාංශ පේෂී දුර්වල වීම නිසා සන්ධිවල සමතුලිතතාවය බිඳ වැටීමෙන් මෙය සිදු වේ. එවැනි අවස්ථාවලට පේෂී ශක්තිමත් කරන ව්‍යායාම කළයුතු අතර එවිට එය මග හැරී යයි. දරුවාගේ පාදයේ වක්වීම කොපමණදැයි බලා ගැනීමට මිනුම් තබා ගත හැක. එනම් දරුවාගේ පතුල් එකට සිටින සේ තබා දණහිස් අතර දුර මැනීමෙන් මෙය ලබා ගත හැක.

උපතින්ම පාද වල ඇති විය හැකි විකෘතිතා අතර බහුල වශයෙන්ම දක්නට ලැබෙන්නේ ටැලිපීස් ඉක්වයිනො වේරස් නම් තත්ත්වයයි. මෙහිදී පාදයේ පතුල පහතට වැටී ශරීරය තුළට හැරී පිහිටයි.

මෙම දරුවන්ගේ පතුල සහ විලුඹ කුඩා වන අතර කෙණ්ඩ ප්‍රදේශයේ මාංශ පේශීන් සිහින්ය. තවද පතුලේ ඇතුළු පැත්තේ සමේ රැලි පිහිටන අතර ශරීරයේ බර පතුලට වැටෙන්නේ එම පිටත දාරය ඔස්සේය. මේ සඳහා පමා නොකර භෞතචිකිත්සක ප්‍රතිකාර ගැනීමෙන් විකෘතිය නිවැරදි කරගත හැකයි. නැතහොත් ශල්‍ය වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු විය යුතුය.

  • පතුල ශරීරයෙන් ඉවතට හරවමින් ඉහළට ඔසවන ව්‍යායාමය
  • පතුරු බැඳීම

ඉංග්‍රීසී L හැඩයට පතුරක් සාදා එය පුළුන් වලින් ඔතා දරුවා නිදාගත් විට දරුවාගේ පතුලට යටින් තබා ක්‍රේප් බැන්ඩේජයකින් බැඳීමෙන් (බැන්ඩේජය දමන විට පතුලේ ඇඟිලි නිරාවරණය වන සේ දැමිය යුතු අතර බැන්ඩේජය තද වැඩි වී ලේ ගමනාගමනය අවහිර වූවොත් දරුවාගේ ඇඟිලි නිල් පැහැ ගැන්වී සීතල වී ඉදිමේ. එසේ වුවොත් වහාම බැන්ඩේජය ඉවත් කරන්න) මෙය මග හරවා ගත හැක.

මෙහිදි පාදය ඉහළට එස වී ශරීරයෙන් ඉවතට හැරී පිහිටයි. ඉහත විස්තර කළ විකෘතියට විරුද්ධ දෙසට මේ විකෘතිය පිහිටයි. මේ තත්ත්වය සදහා ද භෞතචිකිත්සක ව්‍යායාම සහ Talipes Equinovarus තත්ත්වයේදී මෙන්ම L පතුර ( L Splint) පැලදීම සුදුසුය.

දණහිස් එකට ගැටීම අද බොහෝ කුඩා දරුවන්ට ගැටලු ඇති කරන තත්ත්වයකි. ප්‍රධාන ගැටලුව නම් දරුවන් දුවද්දි දණහිස් එකිනෙකට වැදීමෙන් බිම ඇද වැටීමයි. මෙසේ බිම ඇද වැටෙන දරුවාට නොයෙකුත් අනතුරු සිදුවිය හැක. තවද මෙම දණහිස් එකට ළංව පිහිටා තිබීම සිරුරට අවලස්සනක් ද ඇති කරයි.

වෛද්‍ය විද්‍යාවේදී ජීනු වැල්ගස් (Genu Vaglus) ලෙස හැඳින්වෙන මෙය ඇතැම් දරුවන්ට ප්‍රතිකාර නැතිවම ක්‍රම ක්‍රමයෙන් සුව වේ. එමෙන්ම බොහෝ දරුවන්ගේ මේ තත්ත්වයත් සමඟම පතුල, පැතලි වී තිබීම ( Flat feet ) දක්නට ඇත. ඊට අමතරව පතුල ශරීරයෙන් ඉවතට හැරී පිහිටිය හැක. මෙය ඊවර්ටඩ් ෆුට් ( Everted Foot ) නමින් හැඳින්වේ.

  • ශරීරයේ බර අධික වීම
  • දණහිස් උඩ ඉඳගැනීම එනම් පතුල් දෙක අතර දණහිස් නවාගෙන ඉඳ ගැනීමයි
  • දරුවන් නියමිත වයසට පෙර සිටගැනීම (දරුවා ස්වෝත්සාහයෙන් සිට ගැනීමට පෙර සිටුවා නොතැබිය යුතුය)
  • දණහිස් අවට මාංශ පේශීන් ආඝාතයට ලක් වීම (එවිට මාංශ පේශී ශක්තිමත් කරන ව්‍යායාම කළ යුතුය
  • ලැටරල් ස්ප්ලින්ටිස් ආකාරයට පතුරු තබා බැඳීම
  • රාත්‍රී කාලයේදී දරුවා නින්දට ගිය විට දණ හිස් දෙක අතරට තුවායක් වැනි දෙයක් නවා තබා දෙපා එකට සිටින සේ රෙදිපටිවලින් වෙලා දැමීම සුදුසුය. එය පතුල් නිරාවරණය වන සේ බැඳිය යුතුය. නැතහොත් ලේ ගමනාගමනය අවහිර වූවොත් පතුල ඉදිමීම, සීතල වීම හා නිල් පැහැගැන්වීම නිරීක්ෂණය කළ නොහැකි වේ. එවැනි තත්ත්වයක් ඇති වී නම් වහා රෙදි පටි ගලවා දැමිය යුතුය.

පෙර සඳහන් කළ පතුල ශරීරයෙන් ඉවතට තැබීම ( Everted foot ) සඳහා විශේෂිත සපත්තුවක් පැළඳිය යුතුය. එම සපත්තුව ෂූ විත් මීඩියල් එලිවේෂන් නමින් හඳුන්වයි. මෙවැනි දරුවන්හට ට්‍රයිසිකලයක් පැදීම ඉතාම සුදුසු වේ. තවද නියමිත වයසට වඩා බර වැඩි නොවන සේ පාලනය කළ යුතුය.

නොක් නී තත්ත්වය කොපමණදැයි මැන ගැනීමට දණහිස් එකට සිටින සේ තබා පතුල් දෙක අතර දුර මැනීම සිදු කරයි. එමගින් අදාල අගය ලබා ගත හැක. මෙම අගය දරුවාට ප්‍රතිකාර කරන විට ක්‍රම ක්‍රමයෙන් අඩු විය යුතුය.


දැනුවත් කිරීම

ආචාර්ය ජාලිය උඩුවැල්ල
ප්‍රධාන භෞතචිකිත්සක
රිජ්වේ ආර්යා ළමා රෝහල

Leave feedback about this

  • Quality