Parent Pulse Blog සුව දිවිය මානසික සුව දිවිය කල් නෑර, අදම ඔබේ යොවුන් දරුවා හොඳින් කියවාගන්න
මානසික සුව දිවිය සුව දිවිය

කල් නෑර, අදම ඔබේ යොවුන් දරුවා හොඳින් කියවාගන්න

Parent Pulse Young Kids Article Featured Image

අද වන විට අපේ සමාජය තුළ ඇතැම් යොවුන් දරුවන් පිළිබඳව අසන්නට දකින්නට ලැබෙන්නේ ඉතා වේදනාත්මක සිදුවීම්ය. ඒ අද වන විට තරුණ පරපුර නොයෙක් ආකාරයේ වෙනස්කම්වලට යොමු වෙමින් සමාජමය වශයෙනු පමණක් නොව කායික, මානසික වගේම බුද්ධිමය වශයෙන්ද බොහෝ සෙයින් වෙනස්ව සිටී. තරුණ විය ඉතාම සුන්දර කාලයක් ලෙස වැඩිහිටි අප සිතුවත් යොවුන් වියේ දරුවන්ටද වොයෙක් ආකාරයේ ගැටලු හමුවේ මුහුණ දීමට සිදු වනු ඇත.

පෞරුෂ වර්ධනය, පවුල් සංස්ථාව තුළ මෙන්ම සමාජීය වශයෙනුත් අන්‍යෝන්‍ය අවබෝධයෙන් යුතුව කටයුතු කිරීමට යොවුන් දරුවාට සිදු වනු ඇත. නව යොවු වියේ සිටින දරුවාට මේ කරුණු හමුවේ නොයෙක් බාධාවන්ට මුහුණ දීමට සිදු විය හැකි අතරම ඒවා ඔවුන්ට විශාල ගැටලු ලෙස සිතීමට ඇති ඉඩ කඩ වැඩිය. අන්න ඒ නිසාම දෙමාපිය වැඩිහිටියන් ලෙස අපි සැමවිට දරුවා සමග හිඳිමින් ඔවුන්ව වටහා ගනිමින් සහය වීඹ ඉතාම වැදගත් වන්නේ ඔවුන් මානසිකව ශක්තිමත්ව තමා මුහුණ දෙන තත්තවයන්ට නොබියව මුහුණ දීමට ශක්තියක් වීමටයි. එසේ තමාට සහයට, තමාව අවබෝධ කරගැනීමට කිසිවෙකු නොමැත යන හැඟීම යොවුන් දරුවෙකු මානසික ආතතියට වගේම සාංකාව යන තත්ත්වයට ඇද දැමීමට හේතු විය හැක.

මානසික ආතතිය ඇති වූ විට හටගන්නා සාමාන්‍ය තත්ත්වයක් වන සාංකාව නම් වූ තත්ත්වයේදී දරුවාගේ අත්ල මත දහදිය දැමීමල හෘද ස්ප්න්දන වේගය වැඩි වීම, වමනය වැනි ලක්ෂණ පෙන්නුම් කරයි. මෙය සාමාන්‍ය තත්ත්වයක් වුවද ඇතැම් යොවුන් දරුවන්ට එය දරා ගැනීම අපහසු විය හැකිය. ඒ හේතුවෙන් මානසිකවත් කායිකවත් පීඩාවට පත් වීමත් ඒ හේතුවෙන් තම එදිනෙදා වැඩ කටයුුතු මගහැරීමත් සිදු විය හැකිය. සාමාන්‍ය වැඩවලින් පිට දෙයක් කිරීමට සිදු වුවහොත් මේ තත්ත්වය වැඩි වේ. දරුවෙකු දිගු කාලයක් පුරා අසාමාන්‍ය ලෙස කනස්සලයෙන් පසු වීම නිසා සුළු දෙයකට පවා බිය විම, සුළු සුු සිදු වීම් දරා ගැනීමට නොහැකි වීම, ඍණාත්මක සිතුවිලි ඇති වීම වැනි තත්ත්වයන්ට හේතු වේ.

  • General Anxiety disorder
  • Obsessive compulsive disorder
  • Panic Disorder
  • Post – traumatic stress disorder
  • Social Phobia
  • Specific phobia

මේ තත්ත්වයට නිශ්චිත එක් හේතුවක් නොමැති අතර එය දරුවාගෙන් දරුවාට වෙනස් විය හැකිය. මේ සඳහා හේතු විය හැකි කරුණු කීපයක්ම දැක්විය හැකිය. බොහෝ විට තමාට මුහුණ දීමට සිදු වෙන යම් සිදු වීම් හේතුවෙන් ඇති විය හැකි ආතතිය මේ තත්ත්වයට හේතු විය හැකිය.

  • කාන්තාවක් වීම
  • පවුල තුළ මෙවැනි ඉතිහාසයක් පැවතීම
  • දෙමාපියන් වෙන්වීම/ඈත් වීම
  • ආතතිය ඇති වන ආකාරයේ ක්‍රියාකාරකම් (Stressful life event)
  • පෞරුෂයේ දුර්වලතා
  • දරා ගැනීමේ හැකියාව අවම වීම
  • වටහා ගැනීමේ සහ අවබෝධ කරගැනීමේ අඩුපාඩු
  • ඖෂධවල අතුරු ආබාධ
  • කායික රෝග
  • ආබාධිත තත්ත්ව
  • මත්පැන/මත් දුව්‍ය භාවිතය
  • දිළිදු බව

මෙම තත්ත්වයෙන් මිදීමට නම් ඔබේ යොවුන් දරුවාට පවුලේ අයගේ සහ මිතුරන්ගේ සහයෝගය සහ අවබෝධය ඉතා වැදගත් වේ. එසේම මානසික සෞඛ්‍ය පිළිබඳව විශේෂඥ සහය ලබා ගැනීම මගින් වඩාත් ගැලපෙන නිසි උපදෙස් ලබා ගැනීමටත් අවශ්‍ය පිළියම් වෙත විශ්වසනීයව යොමු වීමටත් අවස්ථාව උදාවේ. සැමවිටම ඔබේ දරුවා ශාරීරිකවද සෞඛ්‍ය සම්පන්නව තබා ගැනීම ආතතිය කළමනාකරණය කිරීමට සහයෝගයක් වේ. එසේම සමාජය තුළ යහළු යෙහෙළියන් නැදෑයන් සමග මනා සබඳතාවන් ගොඩනඟා ගැනීමද ඉතා වැදගත් වනු ඇත.

  • දරුවා කෙරෙහි පූර්ණ අවධානය යොමු කරන්න
  • දරුවා පිළිබඳව ඔබ කනස්සල්ලෙන් පසුවන බව හැඟෙන්නට ඉඩහරින්න
  • දරුවාට සාවදානව සවන් දෙන්න. දරුවාගේ දෑස් දෙස බලා කතා කරන්න
  • සංයමයෙන් යුතුව දරුවාට ගෞරවාන්විත ලෙස දරුවාගේ කණස්සල්ලයට හේතු විමසන්න සහ එය වටහා ගන්න. දරුවාගේ හැඟිම්වලට වටිනාකමක් ලබා දෙන්න
  • දරුවාට දැනෙන ලෙස ආදරයෙන් පහදා දෙන්න
  • දරුවා පිළිබඳ ඔබ තුළ විශ්වාසයක් ඇති බව දැනෙන්නට හරින්න
  • දරුවාගේ හැඟිම් පිළිගන්න. උපදෙස් අවවාද දීමට හදිසි නොවන්න
  • දරුවාගේ පෞද්ගලිකත්වය සුරකින්න. අනවශ්‍ය පිරිස් සමග දරුවාගේ ගැටලුව බෙදාගැනීමෙන් වලකින්න
  • ඕනෑම ප්‍රශ්නයක් සඳහා විසදුම් ඇති බව ඒත්තු ගන්වන්න
  • දරුවාට ඔබේ උදව් අවශ්‍ය කොයි ආකාරයෙන්ද යන වග විමසන්න

තරුණ දරුවාගේ හැඟිම් ගැන කතාකරන්නට පසුබට නොවන්න. ඔබට ඔවුන්ගේ හැසිරිමේ වෙනස්කම් සහ බාහිර පෙනුමේ ඇතිවන වෙනස්කම් ගැන දැනෙන බව ඔවුන්ට දැනගැනීමට සලස්වන්න. සමහර විට ඔවුන් ඔබ සමග කතා නොකිරිමට පුලුවන. නමුත් ඔවුන් කෙරෙහි ඔබට තිබෙන අවධානය සහ අවබෝධය දරුවන්ට ශක්තියක් විය හැක. යම් කාලයක ඔවුන් ඔබ සමග කතා කිරීමට පියවර ගනු ඇත. ඇතැම් විට කුඩා ලිපියක් මගින් හෝ ඔබ සමග සම්බන්ධ වීමට දරුවා තීරණය කරනු ඇත. සැමවිටම දරුවා ධනාත්මක ගුණාංග හා ක්‍රියාකාරකම් අගය කරන්න.


සටහන,

ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මිය
සූතිකා පුහුණු හෙද නිළධාරිනි
නවජ සූති දැඩි සත්කාර ඒකකය
පළාත් මහ රෝහල, කුරුණෑගල.

Exit mobile version