Parent Pulse Blog සුව දිවිය මානසික සුව දිවිය දෙමව්පියන්ගේ “සුදු බොරු”දරුවන්ට හානිකරයි.
මානසික සුව දිවිය සුව දිවිය

දෙමව්පියන්ගේ “සුදු බොරු”දරුවන්ට හානිකරයි.

Parent Pulse Lies to Kids Article Featured Image

අපි නිතරම උනන්දු වෙන්නේ අපේ දරුවන් බොරු කියන්නේ නැති හොඳ දරුවන් විදිහට ලෝකයට දායාද කිරීමටයි. ඒක ඉතින් ඇත්ත. අනේ එයා හරිම බොරු කාරයෙක් කියලා අනාගතයේදී සමාජය ඔබේ දරුවා හඳුන්වන්න ඉඩ තියන්න අපි කැමැති නැහැ. හැබැයි දරුවන්ට බොරු කියන්න හොඳ නැත්නම් දෙමව්පියන්ට දරුවන් වෙනුවෙන් බොරු කියන්න පුලුවනිද..?

ඇයි බැරි..අපි දෙමව්පියෝ..
ඔබේ තර්කය වැරදියි. වැඩිහිටියන් විදිහට ඔබ දරුවන්ට බොරු කියා රැවටීම එතරම් සුදුසු දෙයක් නොවෙයි.

අපි කියන්නේ ”සුදු බොරු “..
ඔව්… දෙමව්පියන් විසින් දරුවන්ට බොරු කියන්නේ ඔවුන් රවටා ගන්න. එහෙම නැත්නම් දරුවන් බියට පත් කරන්න. තවත් විටෙක ඔබට අවශ්‍ය විදිහට දරුවා හසුරුවා ගන්න. එහෙම නැතුව දරුවාට අනර්ථයක් කරන්න නොවෙයි. චේතනාව හොඳ නිසා පර්යේෂකයන් විසින් දෙමව්පියන් දරුවන්ට කියන බොරු ”සුදු බොරු ” විදිහට හදුන්වා දෙනවා.

ඔබ දැනටත් මේ විදිහට දරුවාට කියා නැත්ද?
අපේ කන්තෝරුවේ කන්නාඩියක් තියෙනවා. ඔයා කරන දඟ වැඩ මට සේරම කන්තෝරුවේ ඉදලා කන්නාඩියෙන් බලන්න පුලුවනි..
එහෙම නැත්නම් මම චොකලට් මල්ලම ගඟට විසි කළා….
මේ බොරු වලින් පුංචි පැටියා මෙල්ල කර ගන්න පුලුවන් බව ඇත්ත
සුදු වුනත් බොරු කියන එක නම් එතරම් හොද නැහැ.

දෙමව්පියන් දරුවන්‍ සමග කටයුතු කරන විට තමන්ගේ පහසුව වෙනුවෙන් කියන මෙම ”සුදු බොරු ” පිලිබඳව පර්යේෂණයක් සිදු කරනු ලැබුවා. මෙම අධ්‍යයනය සිංගප්පුරුවේ Nanyang තාක්ෂණ විශ්ව විද්‍යාලය, කැනඩාවේ ටොරොන්ටෝ විශ්ව විද්‍යාලය, කැලිෆෝනියාවේ සැන් දියගෝ විශ්ව විද්‍යාලය සහ චීනයේ සීජියැජං විශ්ව විද්‍යාලය ඒකාබද්ධව සිදු කරනු ලැබුවා. මෙම අධ්‍යයනය වෙනුවෙන් සිංගප්පුරුවේ වැඩිහිටි දරුවන් 379 ක් සම්බන්ධ කර ගත්තා. මේ වැඩිහිටියන් අතර විවිධ මානසික ගැටුම් තිබුන අතර ඔවුන් තමන්ගේ දෙමව්පියන් සමග එතරම් හොඳ සම්බන්ධතාවයක් දැක්වූයේ නැහැ. අධ්‍යයනයේ කර්තෘ ”රෝස් බෙල්ට්ස් ” විසින් මේ පිලිබඳව සිදු කරන ලද අධ්‍යයනයෙන් පෙන්වා දෙන්නේ බාල කාලයේ දෙමව්පියන් විසින් දරුවන්ට විවිධ බොරු කියමින් සිදු කරන රැවටීම් නිසා අනාගතයේදී ඔවුන් සාංකාව, මානසික හිස්බව වැනි රෝග තත්වයන්ට පත් වෙන අතර ජීවිතය අසුබවාදී අන්දමින් දකින පිරිසක් වීමේ අවදානම තිබෙන බවයි.

පුංචි අයට ඒවා තේරෙන්නේ නැහැ කියා ඔබ හිත්වත් පුංචි මනස බොහොම විමසිලිමත්. ඔබ සමග නගරයට එන්නට දරුවා ඇවිටිලි කරද්දී ”හා දැන් ගිහිං නිදාගන්න..නිදාගෙන නැගිට්ටාම යමු..” කියමින් ඔබ දරුවා ඇඳට පිටත් කරනු ඇත. දරුවාද ඔබ විශ්වාස කරමින් නිදාගන්නට ගිය තැනදී ඔබ නගරයට ගියොත් නින්දෙන් අවදිවෙන දරුවා තමන් රවටා තබා අම්මා නගරයට යෑම ගැන වේදනාවට පත් වෙනු ඇත. ඔබට දරුවා කැටුව යෑම අපහසු නම් ඒ බැව් කියමින් හෝ වෙනත් විකල්පයක් යොදා ගැනීම මිස දරුවා බොරුවෙන් රැවටීම එතරම් සුදුසු නැත.

නිරන්තරයෙන් මෙසේ දරුවා රැවටීමට ලක් කිරීම දරුවා තුළ ගැටලු රාශියක් ඇති කිරීමට හේතු විය හැකියි.

  • තමන් පරාජිත වීමේ ආත්මීය ශෝකයක් ඇති වීම

ඔබ නිතරම ඔබේ අරමුනු ඉටු කර ගැනීම වෙනුවෙන් දරුවා බොරුවෙන් රවටන විට තමන් නිතරම පැරදීමට පත් වීමේ ලැජ්ජාව දරුවාට ඇති වෙනවා. ජීවිතයේ සතුටක් ලැබීම වෙනුවට ඔහුගේ සිතේ නිතරම ඇති වෙන්නේ දැඩි වේදනාවක්,කම්පාවක්. පුංචි හිතේ සිහින මාලිගා දෙමව්පියන්ගේ බොරුවෙන් රැවටීමෙන් බිඳ වැටෙන නිසා දරුවාගේ හිතේ දැඩි සිත් වේදනාවක් ඇති වෙනවා.

  • දෙමව්පියන් ගැන විශ්වාසයක් නැති වීම

දරුවන්ගේ එකම ආරක්ෂකයා, විශ්වාසවන්තයා දෙමව්පියන් බව රහසක් නොවේ. ඉතින් තමන්ගේ අම්මා, තාත්තා මේ විදිහට බොරු කියමින් තමන් රවටනවා නම් දරුවන්ටත් මෙහෙම හිතේවි..”වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසමි ඒ අමාරුව..”දරුවන් මෙවැනි පසුබිමක් තුළ බෙහවින් පසුගාමී මානසිකත්වයකට පත් වෙන්න පුලුවනි. අම්මා,තාත්තා තමන්ට ආදරයක් නැති නිසා තමන්ට ආරක්ෂාවක් නැහැ යන පරාජිත සිතුවිලිවලින් කම්පාවට පත් වෙන්න පුලුවනි. එය දරුවෙකුගේ සුන්දර ළමා ලෝකයට ගැලපෙන පරිසරයක් නොවෙයි.

මෙම අධ්‍යයනයට සම්බන්ධ කර ගත් වැඩිහිටි දරුවන් කියා සිටියේ ඔවුන්ට බාල කාලයේදී ළමා ලෝකයක් නොතිබුන අතර නිතරම ඔවුන්ගේ දෙමව්පියන් විසින් ඔවුන්ට සැලකුවේ දරුවන් විදිහට නොව වැඩිහිටියන් ලෙසින් බවයි. ඒ නිසා අතීතය ගැන මේ වැඩිහිටියන් තවමත් ඔවුන්ගේ දෙමව්පියන් ගැන කලකිරීමකින් සිටින බවත් ඔවුන්ගේ අතීතාවර්ජනයේදී පර්යේෂකයන්ට පෙනී ගියා.

ළමා කාලය තරම් සුන්දර යුගයක් ජීවිතයේ තවත් නැහැ. ළමයෙකුට ඔවුන්ගේ ළමා කාලය තරම් සුන්දර යුගයක් ජීවිතයේ තවත් නැහැ. ඒ නිසා ඔවුන්ට මේ කාලය සුන්දර අත්දැකීම වෙතින් සපුරා ගැනීමට අවසර දිය යුතුයි. එයින් අදහස් වෙන්නේ දරුවා ඉල්ලන ඉල්ලන දේ දීම හෝ ඔවුන් කියන විදිහට දෙමව්පියන් හැසිරීම නොවේ. නමුත් දරුවාගේ මානසිකත්වට හානියක් නොවන සේ ඔවුන් හැසිරවීම ඉතාම වැදගත්ය.
මෙම අධ්‍යනය මගින් පෙන්වා දෙන අන්දමට දෙමව්පියන්ගේ බොරුව සහ රැවටිලි නිසා දරුවන් මානසික සහ සමාජයීය ගැටළු රාශියකට අනාගතයේදී මුහුණ දෙනු ලබනවා. සිය අධ්‍යයන වාර්තාව Journal of Experimental Child Psychology මගින් ප්‍රකාශයට පත් කරන පර්යේෂකයින් මෙම දරුවන් සමාජය සමග ගනුදෙනු කිරීමේදී පහත දැක්වෙන අන්දමේ දුර්වලතාවයන් පෙන්වන බවයි.

  • ඔවුන් සමාජයට අනුගත වීමේදී බොහොම පසුගාමීයි.

මේ අන්දමින් බාල කාලයේදී දෙමව්පියන්ගේ රැවටිලිවලින් මුලාවට පත් දරුවන්ට සමාජයට අනුගත වීම හෙවත් වෙනස්වන සමාජ රටාවක් තුළ හැඩගැසීමේ අපහුතාවයන් දක්නට ලැබෙනවා.

  • ආක්‍රමනශීලියි

බාලකාලයේදී ඇති වුන පසුගාමී මානසිකත්වය නිසා වැඩිහිටියන් වුනත් ඔවුන්ගේ බාලකාලයේ මුහුණ දුන් මෙම පරිසරය නිසා ඉතා ආක්‍රමනශීලී ලෙසින් කටයුතු කිරීමේ ප්‍රවනතාවයක් දක්නට ලැබෙනවා.

  • සමාජ නීති රිති වලට අනුකුල නැහැ.

මේ තත්වය නම් ඉතාම අනතුරුදායකයි. අද වැඩිහිටියන් වුනත් සමාජයේ නිති රිති වෙනුවෙන් කිසිදු අනුකුලතාවයක් නොදක්වන නිසා එහි විපාකත් අප විසින්ම භුක්ති විදින පරිසරයක් උදා වී තිබේ. ඒ නිසා ඔබේ දරුවා විනයගරුක වැඩිහිටියෙකු කිරීමට නම් ඔබගේ ”සුදු බොරුවලින්’ ඔවුන්ගේ ලපටි සිත් තලා පෙලා නොදැමීම මොනතරම් වටිනවාදැයි දැන් වටහා ගන්න.


තොරතුරු මූලාශ්‍ර
https://www.wltx.com

Exit mobile version