ඔක්තෝබර් 24, 2025
දරුවන්ගේ සුව දිවිය සුව දිවිය

ක්‍රීඩාව ඔබේ දරුවාට ලබා දෙන ප්‍රතිලාභ ගැන දැනුවත්ද?

දවසෙම සෙල්ලමටම යන් දරුවා ගැන ඇතැම් විට ඔබ සිටින්නේ කණස්සල්ලෙන් විය හැකියි. සෙල්ලම් කිරීම හෝ ක්‍රමවත් පුහුණුවක් ලබමින් නියැලෙන ක්‍රීඩාව දරුවෙකුට ලබා දෙන ප්‍රතිලාභ ගැන ඇහුවොත් ඔබ පුදුමයට පත්වේවි. අප ජීවිතයද අභියෝග හා ඒ හමුවේ ක්‍රියාත්මක වෙමින් දිනුම හෝ පැරදුම ලබන ක්‍රියාවලියක් නිසාම ක්‍රීඩාවද එක්තරා ආකාරයකින් අපේ ජීවිතයට සමාන අත්දැකීමකි. ක්‍රීඩාවක නිරත වීම තුළින් යමක් ලබාගත යුතු අවස්ථාව, ක්‍රියාත්මක විය යුතු අවස්ථාව හඳුනාගැනීමට මෙන්ම තමා තරග කළ යුතු අවස්ථාව හා පසුබැසිය යුතු අවස්ථාව කුමක්දැයි උගනී. එසේම දිනුම ලබන්නේ කණ්ඩායම හා එක්වූ විට මිසක තනිව නොවන බව හඳුනාගනී. එම අත්දැකීම දරුවාට අත්විඳින්නට ඔබ ලබාදෙන අවස්ථාව කෙතරම් වටී දැයි මේ ලිපිය අවසන ඔබට වැටහෙනු ඇත.

අධ්‍යාපනය මෙන්ම ක්‍රීඩාව සම්බන්ධයෙන් ද වැදගත් වෙනවා. මෙම සංකල්ප පුද්ගල සංවර්ධනය සහ කාර්ය සාධනය තීරණය කරන ප්‍රධාන සාධකයි. ක්‍රීඩා ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ගත් කළ ක්‍රීඩාව සඳහා එකී මානසික ශක්තිමත්භාවයේ අවශ්‍යතාවය මෙන්ම ක්‍රීඩාව තුළින් මානසික ශක්තිමත්භාවය නිර්මාණය වේ.
මානසික ශක්තිමත්භාවය යනු පීඩනය, ආතතිය, අභියෝග හෝ බලාපොරොත්තු නොවන මොහොතක බලාපොරොත්තු නොවූ ආකාරයෙන් සිදුවන වෙනස්කම් වලට ඔරොත්තු දීම සඳහා පුද්ගලයෙකු සතු හැකියාවයි.

තම හැගීම්, කැමැත්ත හෝ මානසික තත්ත්වය ස්වයං පාලනයට නතු කොට ඉලක්කය හෝ තම කණ්ඩායම වෙනුවෙන් ක්‍රියාත්මක වීමට ක්‍රීඩාවේ නිරතවන්නෙකු හුරු වේ.

යම් ඉලක්කයක් සාක්‍ෂාත් කරගැනීම උදෙසා උපරිම ශක්ති ප්‍රමාණයෙන් වැඩ කිරීමට ක්‍රීඩකයෙකු උත්සාහ කරයි.

ක්‍රීඩකයෙකු තරඟයට ඉදිරිපත් වන්නේම තම හැකියාවන් පිළිබඳව ඇති විශ්වාසය මතයි. අභියෝග හා ගැටලුවලට මුහුණ දීම සඳහා විශ්වාසය ඇති කරගැනීමට ක්‍රීඩකයා ලබන පුහුණුව ආත්ම විශ්වාසය ගොඩනගා ගැනීමකි.

මේ ආකාරයෙන් මානසික ශක්තිමත්භාවය ඇති කරගන්නා ක්‍රීඩකයා ගැටලු නිරාකරණය සඳහා දක්‍ෂයෙකු වන අතර සුභවාදී චින්තනයකින් යුක්ත වෙයි. එම නිසා ක්‍රීඩාව පුද්ගලයෙකුගේ මානසික ශක්තිමත්භාවය උසස් කරමින් පුද්ගල සංවර්ධනයට රුකුලක් වේ.

කායික ක්‍රියාශීලීභාවය දරුවන්ගේ කායික මෙන්ම මානසික සංවර්ධනය ද වේගවත් කරන අතරම නවතම සොයාගැනීම්වලට අනුව තවත් වැදගත් කාරණාවක් වන්නේ කුඩා කාලයේදී ඉතා ක්‍රියාශීලී දරුවන් පසු කලෙක රුධිර පීඩනය, දියවැඩියාව, හෘදරෝග, පිළිකා හෝ තරබාරු බව වැනි රෝගවලට ලක්වීමේ අවධානම ඉතා අවම බව පැවසෙයි.

ක්‍රීඩාවෙහි යෙදෙන විට මානසික ආතතිය මග හැරී යන බවත්, මතක ශක්තිය වර්ධනය කරන බවත් කියැවේ.
තම ආත්ම අභිමානය වර්ධනය කරගැනීමට මෙන්ම කණ්ඩායමක් සමඟ එක්ව ක්‍රීඩා කිරීමෙන් සමාජ සම්බන්ධතා පැවැත්වීම පිළිබඳ ඉගෙන ගැනීමට ද දරුවාට අවස්ථාව ලැබේ.

  • කායික හා මානසික ශක්තිමත් බව හිමි වේ
  • පෞරුෂත්වය වර්ධනය වේ
  • මිතුදම්, සමාජ සම්බන්ධතා පවත්වා ගැනීමට උගනී
  • තමාට එරෙහිව නැගෙන විවේචන විඳ දරා ගැනීමට මෙන්ම තම හැකියාවන් හා දුර්වලතාවයන් පිළිගෙන ඒවා නිවැරදි කර ගැනීමට උගනී
  • ජය පරාජය එක සේ විඳ ගැනීමට හා අන්‍ මතය ඉවසීමට පුරුදු වේ
  • ඉලක්කයක් වෙත ලඟා වීම සඳහා ක්‍රියාත්මක වීමට සහ ඒ වෙනුවෙන් තම උපරිම ශක්තිය යෙදවීමට ඉගෙන ගනී
  • ආත්ම විශ්වාසය මෙන්ම ආත්ම අභිමානය ඇති කර ගනී
  • කිසිවෙකු පරිපූර්ණ නොමැති බවත් තමා තුළ ද දුර්වලතා ඇති බවත් හඳුනාගනී
  • කාලය කළමනාකරණය කරගැනීමට ඉගෙන ගනී

ඔබ කොතරම් දක්ෂයෙකු වුවද, කුමන ආකාරයේ දුර්වලතා තිබුණ ද ක්‍රීඩාවකදී ඔබ වැදගත් චරිතයක් බව හඳුනාගැනීමට අවස්ථාව ලැබේ
මේ කරුණු සියල්ල සලකා බැලීමේදී දරුවෙකුගේ කායික මානසික නිරෝගී බව හා සංවර්ධනය සම්බන්ධයෙන් මෙන්ම අධ්‍යාපනය හා පෞරුෂත්ව සංවර්ධනය සම්බන්ධයෙන්ද ක්‍රීඩාව ඉතා වැදගත් වේ. එහෙයින් දෙමාපියන් ලෙස ඔබ, ඔබේ දරුවා ක්‍රීඩාවට යොමු කිරීම අත්‍යවශ්‍ය වේ. එහිදී අත්හදා බැලීම් කරමින් දරුවාට සුදුසු ක්‍රීඩාවක් තෝරා දීම, ජය හෝ පැරදුම ලබන අවස්ථාවල දී එය විඳ දරා ගැනීමට දරුවාට සහය දීම, කාලය කළමනාකරණය කරගැනීමට උදව් වීම හා සුදුසු අත්දැකීම් සහිත පුහුණුකරුවන් වෙත දරුවා යොමු කිරීමද ඔබේ සතු වගකීමකි.


Leave feedback about this

  • Quality