ගැබිනි මවක් සිය කුස තුළ වැඩෙන දරුවා සමඟ නිහඬව හෝ වචනයෙන් හෝ ඇති කරගන්නා සම්බන්ධය අතිශයින් සුවිශේෂී වූ අත්දැකීමකි. බොහෝ විට මවට ඇතිවන එක් ප්‍රධානතම ප්‍රශ්නයක් වන්නේ ඇත්තටම මගේ බබා මම කියන දේ අහන් ඉන්නවාද? කියා මවකට සිතිය හැකියි. නවීන විද්‍යාව සහ මනෝවිද්‍යාව පෙන්වා දෙන්නේ, දරුවාට උපතට පෙර සිටම තම මවගේ හඬ හඳුනා ගැනීමට සහ ඒ තුළින් මාපියන් හා සමීප බැඳීමක් ගොඩනඟා ගැනීමට හැකි බවයි. මෙය හුදෙක් හැඟීමක් පමණක් නොව, දරුවාගේ භාෂා සංවර්ධනයට සහ චිත්තවේගීය ආරක්ෂාවට පදනම සපයන බව ද පැවසෙනවා.
දරුවෙකුට හඬ ඇසීම ආරම්භ වන්නේ කවදාද යන්න දැන ගැනීම මෙම සන්නිවේදනයේ වැදගත්කම තේරුම් ගැනීමට අත්‍යවශ්‍ය වේ. දරුවාගේ කනෙහි ව්‍යුහයන් ගොඩනැඟීම ගැබ් ගැනීමේ මුල් මාසවලදීම ආරම්භ වේ. සති 18 ක් පමණ වන විට, දරුවාට අභ්‍යන්තර ශබ්ද ඇසීමට පටන් ගනී. මේවා මවගේ හෘද ස්පන්දනය, රුධිර ගලන ශබ්දය සහ ආහාර ජීර්ණ පද්ධතියේ ශබ්ද වේ. දරුවාට වඩාත් හුරුපුරුදු, සන්සුන් පරිසරය වන්නේ මෙම ශබ්දයන්ගෙන් පිරුණු ලෝකයයි. සති 25 – 27 ත් අතර කාලය වන විට, දරුවාගේ ශ්‍රවණ පද්ධතිය වඩාත් දියුණු වන අතර, ඔවුන්ට ගර්භාෂයෙන් පිටත ශබ්දවලට ප්‍රතිචාර දැක්වීමට හැකි වේ. මෙම ශබ්ද උල්බ තරලය තුළින් ගමන් කරන බැවින් තරමක් මෘදු ස්වභාවයක් ගනී.
කෙසේ වෙතත්, දරුවාට වඩාත්ම පැහැදිලිව ඇසෙන හඬ වන්නේ මවගේ හඬයි. මවගේ හඬ, ඇගේ ශරීර පටක සහ අස්ථි හරහා කෙළින්ම ගමන් කරන බැවින්, එය අනෙකුත් බාහිර ශබ්දවලට වඩා පැහැදිලිව දරුවාට දැනේ. මේ නිසා, මව කතා කරන විට හෝ ගීත ගායනා කරන විට, දරුවාගේ හෘද ස්පන්දන වේගය වෙනස් වීම වැනි ප්‍රතිචාර පෙන්විය හැකි බව ද අධ්‍යයනවලින් හෙළි වී තිබේ.
ගර්භාෂය තුළ සිටින දරුවා සමඟ සංවාදයේ යෙදීමෙන් මවට සහ දරුවාට ලැබෙන මානසික ප්‍රතිලාභ අතිමහත්ය. මවගේ හඬ දරුවාට ආරක්ෂාව සහ සැනසීම පිළිබඳ හැඟීමක් ලබා දෙයි. උපතින් පසු, දරුවාට අවට ඇති අලුත් පරිසරය තුළ තම මවගේ හඬ ඇසෙන විට ඇතිවන සැනසිල්ල අසමසමයි. එය උපතට පෙර සිටම හුරු වූ හඬයි. මව සන්සුන්ව හා ආදරයෙන් කතා කරන විට, එම සන්සුන් බව දරුවාට ද දැනී, ගර්භාෂය තුළ ඇතිවන ආතතිය අවම වේ.
තවද දරුවාට කතා කිරීම යනු මව තමන්ගේ හැඟීම් ප්‍රකාශ කරන ක්‍රියාවකි. දරුවා සමඟ කතා කිරීමේදී, මවට ඇතිවන මාතෘත්වයට සූදානම් වීමේ ආතතිය අඩු වී, දරුවා කෙරෙහි ඇති ආදරය සහ සම්බන්ධතාවය ශක්තිමත් වේ. මෙම සන්නිවේදනය මවගේ මානසික යහපැවැත්ම සඳහා ධනාත්මකව බලපායි.
සංවාදය යනු මවට පමණක් සීමා වූ ක්‍රියාවක් නොවේ. පියාට සහ අනෙකුත් සහෝදර සහෝදරියන්ට ද මෙම බැඳීමට දායක විය හැකිය. දරුවාට කතා කරන ලෙස පියා දිරිමත් කිරීම, ගර්භණී සමය පිළිබඳව පියාට වඩාත් සක්‍රීයව දැනීමට උපකාරී වේ. පියාගේ හඬ මවගේ හඬට වඩා අඩු සංඛ්‍යාතයකින් යුක්ත බැවින් එය ගර්භාෂය තුළ වඩාත් හොඳින් ඇසෙන බවට මත තිබේ. දරුවා නිරන්තරයෙන් තම පියාගේ හඬ ඇසීමෙන්, උපතින් පසු පියාගේ හඬ සැනසිලිදායක හඬක් ලෙස හඳුනා ගැනීමටත්, ඒ තුළින් ඉක්මන් බැඳීමක් ඇති කර ගැනීමටත් හැකි වේ. තවද නිවසේ සිටින වැඩිමහල් සහෝදර සහෝදරියන්ට බඩට අත තබා කතා කිරීමට, කතන්දර කියවීමට හෝ ගීත ගායනා කිරීමට දිරිමත් කරන්න. මෙය සහෝදරයන් අතර මතු ඇති විය හැකි ඊර්ෂ්‍යාව අඩු කිරීමටත්, අලුත උපන් දරුවාට හුරුපුරුදු හඬක් උපතින්ම ලබා දීමටත් කදිම අවස්ථාවකි.
ගර්භාෂය තුළ අසන ශබ්ද දරුවාගේ අනාගත භාෂා කුසලතා සඳහා පදනම දමයි. දරුවා ගර්භාෂය තුළදී මවගේ ස්වරය, කථන රටාව සහ නිතර භාවිතා වන භාෂාවේ රිද්මය වටහා ගනී. උපතින් පසු, දරුවාට හුරුපුරුදු භාෂාවට ප්‍රතිචාර දැක්වීම සහ ඉක්මනින් වචන හඳුනා ගැනීම පහසු වන්නේ මේ නිසාය. දරුවාට නිතරම කතන්දර පොත් කියවීම හෝ සන්සුන් සංගීතයට සවන් දීම ඉතා වැදගත්ය. එක් අධ්‍යයනයකට අනුව, ගර්භාෂය තුළදී නිතර අසා ඇති කතන්දරයක් උපතින් පසු දරුවාට නැවත ඇසෙන විට ඔවුන් සන්සුන් වන බව සොයාගෙන ඇත. මෙයින් පෙනී යන්නේ, දරුවන්ට ශබ්ද මතක තබා ගැනීමේ හැකියාවක් ඇති බවයි.
දවස විස්තර කරන්න – දැන් අම්මා කෑම හදන්න යනවා. අද හොඳටම වහිනවා. ඒ සද්දේ ඔයාට ඇහෙනවද?” යනාදී වශයෙන් එදිනෙදා ක්‍රියාකාරකම් සරලව විස්තර කරන්න.
ගායනා කරන්න – ඔබට හුරුපුරුදු ඕනෑම ගීතයක් හෝ නැලවිලි ගීයක් සන්සුන්ව ගායනා කරන්න. එම ගීතය උපතින් පසු දරුවා සන්සුන් කිරීමට ක්‍රමයක් විය හැකියි.
ඔබේ බඩ පිරිමදින්න – ඔබ කතා කරන අතරතුර බඩට මෘදු ලෙස අත තැබීමෙන් දරුවාට ස්පර්ශය සහ හඬ අතර සම්බන්ධතාවක් ඇති වේ. දරුවා පයින් ගසන විට නැවත මෘදු ස්පර්ශයකින් ප්‍රතිචාර දක්වන්න.
අද කාර්යබහුල ලෝකයේ, ගැබිනි මවකට දරුවා ගැන සිතන්නටවත් නිශ්චිත කාලයක් වෙන් කර ගැනීමට අපහසු විය හැකිය. එහෙත්, කුස තුළ සිටින දරුවා සමඟ ගැඹුරු බැඳීමක් ඇති කර ගැනීමට සහ ඔබටත්, දරුවාටත් සැනසීමක් ලබා දීමට නම්, දිනකට මිනිත්තු කිහිපයක් හෝ වෙන් කර ගැනීම අතිශයින් වැදගත් වේ. මෙම කෙටි කාලය වෛද්‍ය පරීක්ෂණ ගැන සිතන, කළ යුතු වැඩ ලැයිස්තු හදන වේලාවක් නොවේ. එය ඔබ දෙදෙනාට පමණක් වෙන් වූ සුවිශේෂී කාලයකි. එය ප්‍රතිලාභ රැසක් හිමිකර දෙන බව මතක තබා ගන්න.
සන්සුන් හෝමෝන මුදා හැරීම – මව ආතතියෙන් තොරව, සන්සුන්ව සිටින විට සිරුරෙන් සතුටු හෝමෝන මුදා හරියි. මෙම හෝමෝන වැදෑමහ හරහා දරුවාට ද ගමන් කරයි. නිශ්ශබ්ද මොහොතකදී සිත සන්සුන් කර ගැනීම මගින්, දරුවාට ගර්භාෂය තුළ සුවපහසු සහ ආතතියෙන් තොර පරිසරයක් නිර්මාණය වේ.
දරුවාගේ චලනයන්ට අවධානය දීම – ගැබිනි මවක් බොහෝ විට කාර්යබහුල වන විට දරුවාගේ කුඩා චලනයන් එතරම් නොදැනේ. නමුත් ඔබ සන්සුන්ව, නිශ්චලව සිටින විට, දරුවාගේ පළමු පයින් ගැසීම් හෝ කුඩා පෙරළීම් වඩාත් හොඳින් දැනේ. මෙම චලනයන්ට ප්‍රතිචාර දක්වමින් ඔබේ බඩට මෘදු ලෙස අත තැබීම, දරුවා සමඟ ඇති බැඳීම ක්ෂණිකව වැඩි දියුණු කරයි.
භාෂා සංවර්ධනයේ පදනම – බාහිර ශබ්දවලින් තොර නිශ්ශබ්ද අවස්ථාවක ඔබ කතා කරන විට, දරුවාට ඔබේ හඬේ ස්වරය, රිද්මය සහ වචනවල සංඛ්‍යාතය වඩාත් හොඳින් අවශෝෂණය කර ගත හැකිය. මෙමඟින් දරුවාගේ භාෂා ඉගෙනීම සඳහා අවශ්‍ය මූලික පදනම වැටේ.
- සුදුසු කාලයක් තෝරන්න – මෙම මොහොත සඳහා හොඳම කාලය වන්නේ දරුවා වඩාත් සක්‍රීය වන හෝ මව වඩාත් ලිහිල්ව සිටින වෙලාවකි. බොහෝ මව්වරුන් සඳහා එය රාත්‍රියේ නින්දට යාමට පෙර හෝ උදෑසන අවදි වූ වහාම විය හැකිය. දිනකට මිනිත්තු 5 සිට 10 දක්වා කාලයක් ප්‍රමාණවත්ය.
- පරිසරය සූදානම් කරන්න – සුවපහසු පුටුවක හෝ ඇඳ මත වාඩි වී ජංගම දුරකථනය, රූපවාහිනිය සහ වෙනත් අවධානය වෙනතකට යොමු කරන දේ ඉවත් කර ගැඹුරු හුස්මක් කිහිපයක් ගෙන, ශරීරයේ ඇති සියලුම ආතතිය මුදා හරින්න.
- සක්‍රීයව සන්නිවේදනය කරන්න – දරුවාට ආමන්ත්‍රණය කරන්න. ඔහුගේ/ඇයගේ නම හෝ අන්වර්ථ නාමය භාවිත කරන්න. “අද දවස හොඳයි, අම්මා සතුටින් ඉන්නේ” යනාදී වශයෙන් සරලව කතා කරන්න. කුඩා කතන්දරයක් හෝ තොටිලි ගීතයක් සෙමින් ගායනා කරන්න. ඔබේ බඩ මෘදුව පිරිමදින්න. දරුවාගේ චලනයකට ප්‍රතිචාර ලෙස නැවත අතගාන්න.
මෙම මොහොත, ඔබගේ ගැබිනි සමය පුරාම ඔබ සහ දරුවා අතර ඇතිවන පළමු පෞද්ගලික සංවාදය සහ හදවතින් දැනෙන සම්බන්ධතාවය වනු ඇත.
ගර්භාෂය යනු ශබ්දයෙන් හුදකලා වූ ස්ථානයක් නොවේ. එය ආදරයේ සහ හඳුනාගැනීමේ මුල්ම ස්ථානයයි. ඔබගේ දරුවා සති 25 න් පසු ඔබට සක්‍රීයව සවන් දෙයි. එබැවින් ඔබගේ හඬ, ගීතය සහ ආදරය පිරුණු වචන දරුවාගේ ලෝකයට හඳුන්වා දෙන්න. මෙම සරල සංවාදය, ඔබගේ දරුවාට සුවිශේෂී චිත්තවේගීය බැඳීමක සහ සංජානන සංවර්ධනයේ පළමු පියවර වනු ඇත.


Leave feedback about this