ඔක්තෝබර් 24, 2025
Hair Loss Parent Pulse Article Featured Image
විශේෂී ලිපි

කොණ්ඩය ගැලවී යාමට හේතුවන ඔබ නොදන්න වැරදි පුරුදු 6

දිනකට කෙස් ගස් 50 – 100ක් පමණ ගැලවී යාම සාමාන්‍ය දෙයක් වුවත්, ඔබ ඔබේ කොණ්ඩය පීරු විට හෝ සේදීමේදී අසාමාන්‍ය ලෙස වැඩිපුර කෙස් ප්‍රමාණයක් ගැලවී යන බවක් හැඟේ නම්, ඔබ ඒ ගැන සැලකිලිමත් විය යුතුයි. ජානමය හේතු, හෝමෝන අසමතුලිතතා සහ ඇතැම් රෝග තත්ත්වයන් මෙන්ම පෝෂණ ඌනතාද කොණ්ඩය ගැලවී යාමට ප්‍රධාන වශයෙන් බලපාන නමුත්, අප දිනපතා පුරුදු වී සිටින ඇතැම් වැරදි පුරුදු මෙම ගැටලුව තවත් උග්‍ර කළ හැකියි. ඔබේ නිරෝගී වරලසට තර්ජනයක් විය හැකි එම වැරදි පුරුදු මොනවා කියා සොයා බලමු.

කොණ්ඩය කෙළින් කිරීමට (Straightening) හෝ රැලි කිරීමට (Curling) භාවිතා කරන හීට් අයන් (Heat Iron), හෙයා ඩ්‍රයර් (Hair Dryer) වැනි අධික තාපය සහිත උපකරණ නිතර භාවිතා කිරීම කෙස් ගසට හානි සිදු කරයි. අධික තාපය නිසා කෙස් ගසේ ස්වාභාවික තෙතමනය ඉවත් වී, කෙස් ගස දුර්වල වී, කැඩී යාම හා ගැලවී යාම වේගවත් වේ. ඔබේ වරලස රැක ගැනීමට මෙම උපකරණ භාවිතය අවම කරන්න. අත්‍යවශ්‍ය නම්, අඩු තාප මට්ටමක් භාවිත කරන්න, තවද තාපයෙන් ආරක්ෂා කරන (Heat Protection) ආලේපනයක් හෝ සීරම් වර්ගයක් යෙදීම ද කළ හැකියි.

හිසකෙස් තෙත් වූ විට ඒවා ඉතාම දුර්වල තත්ත්වයක පවතින බව ඔබ දන්නවාද? එම අවස්ථාවේදී සිදු කරන ඇතැම් දේවල් කෙස් ගැලවී යාම තවත් වැඩි කරයි. සේදීමෙන් පසු රළු තුවායකින් කොණ්ඩය තදින් අතුල්ලමින් පිස දැමීම කෙස් ගස් මුලින්ම ඇදී යාමට හෝ කැඩී යාමට හේතු වේ. තෙත් වූ හිසකෙස් පීරන විට වැඩි ආතතියක් කෙස් මුල්වලට ඇති වී ගැලවී යයි. එම නිසා හිසකෙස් වියළා ගැනීම සඳහා මෘදු, මයික්‍රෝ ෆයිබර් (Microfiber) තුවායක් භාවිත කර මෘදුව තට්ටු කරන්න. තෙත කොණ්ඩය පීරීමෙන් වළකින්න. අත්‍යවශ්‍ය නම්, පුළුල් දත් සහිත පනාවක් භාවිත කර අග සිට සෙමින් පීරන්න.

විශේෂයෙන්ම කාන්තාවන් අතර ජනප්‍රිය ඇතැම් කොණ්ඩා මෝස්තර දිගු කලක් තිස්සේ භාවිත කිරීමෙන් කෙස් ගැලවී යාම සිදුවේ. තද පොනිටේල්, බන් හෝ බ්‍රේඩ් මෙම මෝස්තර නිසා කෙස් මුල්වලට අධික ආතතියක් එල්ල වෙයි. එය හිසකෙස් ස්ථිරවම ගැලවී යා හැකිය. තවද තද හිස් වැසුම් හෝ තොප්පි නිතර දැමීම නිසාත් කොණ්ඩයේ මුල් කොටසට වාතය නොලැබීම සහ ඝර්ෂණය නිසා ගැලවී යාම වැඩි විය හැක. මේ තත්ත්වයන් වළක්වා ගැනීමට නිතරම කොණ්ඩය ලිහිල්ව බැඳ තබන්න. නිදාගැනීමේදී ලිහිල්ව ගෙතීම හෝ බන් එකක් දැමීම සුදුසුය. කොණ්ඩය බැඳීමට රබර් පටි (Elastic Bands) වෙනුවට මෘදු රෙදි පටි (Scrunchies) භාවිත කිරීම වඩාත් උචිතය.

අප ගන්නා ආහාර කෙළින්ම අපගේ හිසකෙස්වල නිරෝගී භාවයට බලපායි. පෝෂණ ඌනතා කොණ්ඩය ගැලවී යාමට ප්‍රබල හේතුවකි. කෙස් ගස සෑදී ඇත්තේ ප්‍රෝටීන් වලින් (කෙරටින්) බැවින් ඔබේ ආහාර වේලෙන් ිරුරට ඇවැසි ප්‍රෝටීන් ප්‍රමාණය නොලැබේ නම් කෙස් ගැලවී යාම වේගවත් විය හැකි අතරම යකඩ, සින්ක්, විටමින් D සහ B12 අත්‍යවශ්‍ය පෝෂක ඌනතා නිසා රක්තහීනතාවය (Anemia) වැනි තත්ත්වයන් ඇති වීම කෙස් ගැලවී යාමට හේතු වේ. අන්න ඒ නිසා ප්‍රෝටීන් බහුල ආහාර (මාළු, බිත්තර, මස්, රනිල කුලයේ බෝග) සහ විටමින්, ඛනිජ ලවණ බහුල සමබල ආහාර වේලක් පවත්වා ගන්නට උනන්දු වන්න.

සිරුරේ අභ්‍යන්තර සමතුලිතතාවය බිඳ දමන ප්‍රධාන සාධක දෙකක් ලෙස ආතතිය සහ නිදි වැරීම හැඳින්විය හැකියි.මානසික ආතතිය නිසා ද කෙස් විශාල ප්‍රමාණයක් එකවර ගැලවී යාමට ඇති ඉඩ ප්‍රස්ථාව වැඩි වන අතරම ප්‍රමාණවත් නින්දක් නොලැබීම හෝමෝන අසමතුලිතතාවයන්ට හේතු වන අතර, එයද කෙස් ගැලවී යාමට බලපෑ හැකියි. මේ තත්ත්වයන් වළක්වා ගැනීමට යෝගා, භාවනාව වැනි ක්‍රම මගින් හෝ මනෝවෛද්‍යවරයෙකු හමු වී උපදෙස් ලබාගෙන හෝ ආතතිය කළමනාකරණය කර ගන්න. දිනකට පැය 7 – 8ක පමණ ප්‍රමාණවත් නින්දක් ලබා ගන්න.

කෙස් වර්ණ ගැන්වීම, ස්ථිර රැලි ගැන්වීම (Perming) හෝ රීබොන්ඩින් වැනි රසායනික ප්‍රතිකාර නිතර සිදු කිරීම මෙන්ම ඇතැම් ෂැම්පු, කන්ඩිෂනර් හෝ ස්ටයිලිං නිෂ්පාදනවල අඩංගු සල්ෆේට් වැනි දැඩි රසායනික ද්‍රව්‍ය හිස් කබලේ ස්වාභාවික තෙල් ඉවත් කර කෙස් මුල් දුර්වල කරයි. තවද වැඩිපුර හිස සේදීමෙන් හිස්කබලේ තෙල් ඉවත් වී වියළි බව ඇති වන අතර, නොසේදීමෙන් දූවිලි හා අපද්‍රව්‍ය රැස් වී ආසාදන ඇති වී කෙස් ගැලවී යාම සිදු විය හැක. එබැවින් සල්ෆේට් රහිත මෘදු ෂැම්පු සහ කන්ඩිෂනර් භාවිත කරන්න. සැමවිටම හිස්කබලට හිතකර නිෂ්පාදන තෝරා ගන්න. සතියකට 2 – 3 වතාවක් හිස සේදීම සුදුසුය.

ඔබගේ කොණ්ඩය ගැලවී යාම සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි නම්, මෙම පුරුදු වෙනස් කිරීමෙන් පසුත් ගැටලුව පවතින්නේ නම්, වෛද්‍යවරයකු හමුවී නිසි රෝග විනිශ්චයක් සහ ප්‍රතිකාර ලබා ගැනීම අත්‍යවශ්‍ය වේ. නිරෝගී ජීවන රටාවක් සහ නිසි හිසකෙස් රැකවරණ පුරුදු මගින් ඔබේ වරලස රැක ගැනීමට ඔබට හැකියාව ලැබෙනු ඇත.


Leave feedback about this

  • Quality