Parent Pulse Blog සුව දිවිය පෝෂණීය සුව දිවිය කොස් ඇටවල ඇති ඔබ පුදුම කරවන ගුණ අගුණ දැනගනිමු
පෝෂණීය සුව දිවිය සුව දිවිය

කොස් ඇටවල ඇති ඔබ පුදුම කරවන ගුණ අගුණ දැනගනිමු

Jackfruit Parent Pulse Article Featured Image

ශ්‍රී ලාංකික අපට කොස් යනු හුදෙක් ආහාරයක් පමණක් නොව, අපගේ සංස්කෘතියේ හා ජීවන රටාවේම කොටසකි. එහෙයින්, බත් ගස යන ආදරණීය නාමයෙන් කොස් ගස හඳුන්වයි. කොස් ගෙඩියේ මදුලුවලට පමණක් නොව, බොහෝ දෙනෙකු නොසලකා හරින කොස් ඇටවලට ද සුවිශේෂී පෝෂණ ගුණයක් සහ ඖෂධීය වටිනාකමක් හිමි වේ. දරුවන්ගේ වර්ධනයට අත්‍යවශ්‍ය වන මෙම දේශීය ආහාරය පිළිබඳව දෙමාපියන් ලෙස ඔබ දැනුවත් ද?

කොස් ඇට සාමාන්‍යයෙන් බිත්තරයක පෝෂණ ගුණයට සමාන බව පැරණි මතයකි. නවීන පර්යේෂණවලින් ද මෙම අදහස සනාථ වී තිබේ. කොස් ඇට දරුවෙකුගේ ආහාර වේලට එකතු කිරීමෙන් ලැබෙන ප්‍රධාන පෝෂණීය ප්‍රතිලාභ මෙතෙකැයි කිව නොහැක.

  • ඉහළ ප්‍රෝටීන් ප්‍රභවයකි
    කොස් ඇට ප්‍රධාන වශයෙන්ම ප්‍රෝටීන් සහ පිෂ්ඨය (කාබෝහයිඩ්‍රේට) වලින් පොහොසත් ය. වර්ධනය වන දරුවෙකුගේ මාංශ පේශි සහ සෛල ගොඩනැගීමට ප්‍රෝටීන් අත්‍යවශ්‍ය වන අතර, කොස් ඇට යනු මිල අධික සත්ත්ව ප්‍රෝටීනවලට කදිම දේශීය විකල්පයකි.
  • තන්තු සහ ප්‍රතිරෝධී පිෂ්ඨය
    කොස් ඇටවල අඩංගු තන්තු සහ ප්‍රතිරෝධී පිෂ්ඨය, ආහාර ජීර්ණ පද්ධතියේ සෞඛ්‍යයට ඉතා වැදගත් වේ. මේවා බඩවැල්වල නොදිරා ගොස්, එහි සිටින හිතකර බැක්ටීරියා සඳහා ආහාර සපයන අතර, මලබද්ධය වළක්වා ජීර්ණ ක්‍රියාවලිය පහසු කරයි. එමෙන්ම, කොලෙස්ටරෝල් මට්ටම පාලනය කිරීමටත් මේවා උපකාරී වේ.
  • යකඩ සහ සින්ක් වලින් පොහොසත්
    කොස් ඇටවල යකඩ අඩංගු වන බැවින්, රක්තහීනතාවය වළක්වා ගැනීමට සහ රතු රුධිරාණු නිපදවීමට උපකාරී වේ. එසේම සින්ක් දරුවාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ නිසි ක්‍රියාකාරිත්වයට අතිශයින් වැදගත් වන අතර, ඉක්මන් සුවය ලැබීමට ද උපකාරී වේ.
  • විටමින් B සහ ඛනිජ ලවණ
    කොස් ඇටවල B විටමින් කාණ්ඩයට අයත් තයමින් (Thiamine) සහ රයිබොෆ්ලේවින් (Riboflavin) අඩංගු වේ. මේවා දරුවාගේ සම සහ හිසකෙස් නිරෝගීව පවත්වා ගැනීමටත්, ශක්ති උත්පාදනයටත් අත්‍යවශ්‍ය වේ. මීට අමතරව, කැල්සියම්, පොටෑසියම් සහ මැග්නීසියම් වැනි ඛනිජ ලවණ ද එහි අඩංගු ය.

කොස් ඇට යනු ඉතා ගුණදායක ආහාරයක් වුවත්, එය පරිභෝජනය කිරීමේදී දෙමාපියන් ලෙස ඔබ අවධානය යොමු කළ යුතු කරුණු කිහිපයක් තිබේ.

  1. අමු ඇටවල ඇති ප්‍රති-පෝෂක (Antinutrients)

අමු කොස් ඇටවල ටැනින් (Tannins) සහ ට්‍රිප්සීන් නිෂේධක (Trypsin Inhibitors) වැනි ප්‍රති-පෝෂක අඩංගු වේ. ටැනින් මගින් යකඩ සහ සින්ක් වැනි ඛනිජ ලවණ ශරීරයට අවශෝෂණය වීම වැළැක්වීමට හැකියාව ඇති අතරම ට්‍රිප්සීන් නිෂේධක මගින් ප්‍රෝටීන් ජීර්ණයට බාධා ඇති කළ හැකි ය.අන් ඒ නිසාම කොස් ඇට සෑම විටම තම්බා, බැද හෝ නිසි ලෙස පිස ආහාරයට ගැනීමෙන් මෙම ප්‍රති-පෝෂකවල බලපෑම අවම කර ගත හැකි බව පර්යේෂණ මගින් සනාථ වී ඇත.

  1. වාතය ඇතිවීම

කොස් ඇටවල ඉහළ තන්තු ප්‍රමාණයක් අඩංගු වන බැවින්, ඇතැම් සංවේදී පුද්ගලයන්ට (විශේෂයෙන් කුඩා දරුවන්ට) වැඩිපුර ආහාරයට ගැනීමෙන් බඩ පිපුම සහ වාතය ඇතිවීම සිදුවිය හැකිය. එමනිසා, සෑම විටම ප්‍රමාණයට ආහාරයට දීම වැදගත් ය.

  1. ඇතැම් ඖෂධ සමඟ ඇතිවන අන්තර්ක්‍රියා

දුර්ලභ අවස්ථාවන්හිදී වුවත්, කොස් ඇට රුධිරය කැටි ගැසීම වැළැක්වීමේ ඖෂධ වැනි සමහර ඖෂධ සමඟ අන්තර්ක්‍රියා කර, රුධිර වහනයේ අවදානම වැඩි කළ හැකි බවට වාර්තා වී ඇත. දරුවෙකු යම් නිදන්ගත රෝගයක් සඳහා ඖෂධ ලබා ගන්නේ නම්, කොස් ඇට විශාල වශයෙන් ආහාරයට දීමට පෙර වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සුදුසු ය.

  • තම්බා පොල් සමග – කොස් ඇට තම්බා, පොල් සහ ලුණු සමග දරුවාට කෑමට දිය හැක.
  • කළුපොල් මාළුව – කොස් ඇට කලුපොල් මාළුවක් ලෙස සකස් කර බත් හෝ රොටි සමග ලබා දීම.
  • ව්‍යංජන වලට එකතු කිරීම – කෙසෙල් මුව හෝ තිත්බටු වැනි දේශීය ව්‍යංජනවලට කොස් ඇට එකතු කිරීමෙන් පෝෂණය වැඩි කළ හැක.
  • ඇට පිටි – තම්බා හෝ බැදගත් කොස් ඇට වියළා පිටි කර, කැඳ හෝ රොටි පිටිවලට මිශ්‍ර කිරීමෙන් දරුවාට පහසුවෙන් ලබා දිය හැක.

කොස් ඇට යනු ශ්‍රී ලාංකීය ආහාර සංස්කෘතියට ආවේණික වූ, ප්‍රෝටීන්, තන්තු සහ අත්‍යාවශ්‍ය ඛනිජ ලවණවලින් අනූන විශිෂ්ට ආහාරයකි. එය නිසි ලෙස පිස ආහාරයට ගැනීමෙන්, එහි ඇති පෝෂණීය ප්‍රතිලාභ දරුවාට උපරිමයෙන් ලබා දිය හැකි අතර, එහි ඇතිවිය හැකි සුළු අගුණ පාලනය කරගත හැකිය. මිල අධික නොවන, පහසුවෙන් සොයාගත හැකි මෙම දේශීය ආහාරය දරුවාගේ නිරෝගී වර්ධනයට කදිම පෝෂණීය විසඳුමකි.


දැනුවත් කිරීම

ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මිය
සූතිකා පුහුණු හෙද නිළධාරිනි
නවජ සූති දැඩි සත්කාර ඒකකය
පළාත් මහ රෝහල, කුරුණෑගල

Exit mobile version