Parent Pulse Blog සුව දිවිය දරුවන්ගේ සුව දිවිය යොවුන් දරුවන් සහ මව්පියන් අතර ගැටුමට හේතු මෙන්න
දරුවන්ගේ සුව දිවිය සුව දිවිය

යොවුන් දරුවන් සහ මව්පියන් අතර ගැටුමට හේතු මෙන්න

Children Parent Argument Parent Pulse Article Featured Image

දස මාසයක් කුස දරා ගෙන සියලු දුක් කන්දරාවම සම්පතක් ලෙස සිතන මව්පියන් දරුවාගේ මුහුණ දුටුවාම හිතන්නේ මුලු ලෝකයම දැන් තමන්ට ලැබුනා වගේ සතුටක්. කර දඬු උස් මහත් වෙන කොට අම්මා තාත්තා රුස්සන්නේ නැති ගති ස්වභාවයක් දරුවන්ගෙන් දකින විට දෙමාපියන් විදිහට ඔවුන්ට තමන් ගැනම ආත්මානුකම්පාවක් ඇති වෙනවා.

නමුත් නවතම අධ්‍යයන වාර්තාවකට අනුව ස්නායු වෛද්‍ය විද්‍යාඥ ප්‍රැන්සිස් ඊ ජෙන්සන් සඳහන් කරන්නේ දරුවන්ගේ නව යෞවනත්වය සමග ඇති වෙන හෝර්මෝන වෙනස්කම් නිසා ඔවුන් වෙතින් මෙම ගති ලක්ෂණ පහල වෙන බවයි. මේ සඳහා බලපාන ප්‍රධාන හෝර්මෝන ලෙස Testosterone, Progesterone සහ Estrogen පෙන්වා දෙනවා. මොළයේ උද්වේග කලාපයේදි ලිංගික හෝර්මෝන ක්‍රියාකාරි වෙන බව වෛද්‍ය ජෙන්සන් පෙන්වා දෙනවා.

මේ කාලයට එලැඹෙන දරුවන් නිතරම තමන්ගේ ස්වාධීනත්වය අගය කරනවා. ඔවුන් ඒ නිසාම බොහෝ විට මව්පියන්ගෙන් ඈත්ව ගත කිරිමට කැමැත්තක් ඇති වෙනවා. මේ වෙලාවට මව්පියන් මේ විිදිහට කියන්නට පුලුවන්. අපිටත් ඔය කාලයක් තිබුනා. ඔය හෝර්මෝන අපිට තිබුනේ නැද්ද කියලා. නමුත් ඒ දවස්වල දරුවන් ගත කළේ සමාජශීලි ජිවිතයක්. ඔවුන්ගේ ජිවන රටාව ඉතාම සරලයි. අහිංසක කෙලි සෙල්ලම් මිස විද්‍යුත් උපාංග සමග ගනුදෙන් තිබුනේ නැහැ.

අද මව්පියන් විටෙක තමන්ගේ දරුවන් විද්‍යුත් මෙවලම් පරිහරනයේදි තමාට වඩා බොහොම ඉදිරියෙන් සිටින බව සඳහන් කළත් එහි විපාකත් බොහොමයි. ඉස්සර කාලයේ රෑ බතට පස්සේ අත්තම්මා සියාගෙන් කතාන්දරයක් අහලා ආගම දහම සිහි කර ගෙන වැඩිහිටියන්ට වැඳලා ඉතාම සන්සුන් මනසින් නින්දට ගියා. නමුත් අද පරම්පරාව මේ ගති පැවැතුම් වලින් මුලුමනින්ම වෙනස්.

ජංගම දුරකථන සමග රාත්‍රි කාලයේ ගනුදෙනු කරන විට දරුවන්ගේ චර්යාත්මක වගේම ජෛව රසායන ක්‍රියාවලියේ වෙනස්කම් සිදු වෙනවා. මෙම කටයුතුවල යෙදෙන විට dopamine රසායනය නිදහස් වෙන අතර නව යෞවනවියේ දරුවන්ගේ මොළයේ ඇති වෙන උත්තේජනය නිසා දරුවන්ගේ ආවේගශීලිත්වය ඉතා ප්‍රබලයි. ඒ නිසාම ඔවුන්ට හොස්ස අගින් මැස්සා යන්න බැරි තරම් ආවේගශීලියි.

ඒ වගේම නව යෞවනවියේ දරුවන් දිවා කාලයේදි නිරන්තරව නින්දට යොමුව සිටින බවට මව්පියන් නිරන්තරවම චෝදනා නගනවා. මෙම නිසාචර චරියාව නිසා මව්පියන් සහ දරුවන් අතර නිරන්තර අරගල ගොඩ නැගෙනවා. රාත්‍රි නින්ද මොළය නිරෝගි ලෙසින් පවත්වා ගැනිමට බෙහෙවින් හිතකර සාධකයක්. රොචෙස්ටර් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන්ගේ නවතම අධ්‍යයනයක් මගින් පෙන්වා දෙන්නේ අපි අවදිව සිටින විට සිදු වෙන ස්නායු ක්‍රියාකාරිත්වයේ අතුරු ප්‍රතිඵලයක් ලෙසින් නිපදවන විෂ ප්‍රෝටීන සංයෝග මොළයෙන් පිරිපහදු කිරිමට නම් නින්ද අවශ්‍ය සාධකයක් බවයි. නව යොවුන්වියේ දරුවන් රාත්‍රි කාලයේදි පරිගණක සහ මුහුනු පොත් සමග ගනුදෙනු කරමින් සිටින නිසා දිවා කාලයේ නින්දට පුරුදුව සිටිම අද ඔවුන්ගේ යුගයේ ප්‍රවනතාවයක් බවට පත්ව තිබෙනවා. මේ වෙනුවෙන් උපදෙස් දෙන පර්යේෂකයන් පෙන්වා දෙන්නේ මේ දරුවන්ගේ ජිවිතය බවට පත්ව ඇති ලැප්ටොප්, ජංගම දුරකථන සහ පරිගණක භාවිිතය නින්දට ආසන්නයේදි පරිහරනයෙන් ඉවත්ව සිටින්නට උපදෙස් ලබා දිම වැදගත් බවයි. මේ දරුවන්ට අද ව්‍යායාම නොමැති ජිවන රටාවත් රාත්‍රි කාලයේදි නින්දට බාධාවන් ඇති කරනවා. ඒ වගේම අද ආහාර අතරට බොහෝ විට ඇත්තේ කෝලා පාන වර්ග, කෝපි වැනි නින්ද හීන කරවන ආහාර පාන නිසාත් නව යෞවන දරුවන්ගේ රාත්‍රි නිදි පුරුද්ද ඉබේටම බිඳ වැටි තිබෙනවා.

රෑ නින්ද සුවසේ නොලද විට උදෑසන ප්‍රබෝධය ඔවුන්ගෙන් ගිලිහි යනවා. පාන්දරට ඇති නිදිබර ගතිය නිසා මව්පියන්ගේ ගෝරනාඩුව සමග දරුවන් අවදි වෙන්නේ ගැටුමකට මුල පුරාගෙනයි.

වවුලෝ වගේ රෑට නිදි මරනවා. ඉතිං උදේට නැගිට ගන්න බැහැ. ඊටපස්සේ වෙලා ගියා කියලා ඉස්කෝලේ යන්නේ නැහැ. මේ වගේ චෝදනාවන් අද ඉවරයක් නැහැ.

වෛද්‍ය ජෙන්සන් සඳහන් කරන අන්දමට මේ විදිහට පැවැතෙන නිදි පුරුදු නිසා ඔවුන්ගේ දෛනික ජිවිතයේ වැඩකටයුතු අඩාල වෙනවා පමණක් නොව, ඉදිරියේදි මානසික විඩාව, තරබාරුව , කිරිටක ධමණීන් ආශ්‍රිත ආබාධ සහ අධි රුධිර පිඩන තත්වයන් වැනි විවිධාකාර රෝගාබාධයන්ට ගොදුරු විමේ අවදානම ඉතාම ඉහලයි.

  • නින්දට වේලාවක් ඇති කර ගන්න – පාසල් යන දරුවන්ගේ අවශ්‍ය ඉගෙනුම් කටයුතු කාලවේලාව ඇතුව අවසාන කර නින්ද වෙනුවෙන් වේලාවක් ගොඩ නගා ගන්න.
  • උත්තේජක පාන වර්ගවලින්ගෙන් මිදෙන්න – අද දරුවන්ගේ ආහාර අතර වතුරට වඩා ඇත්තේ වෙනත් විවිධාකාර පාන වර්ගයි. වතුර තරම් නිරෝගි බව ලබා දෙන වෙනත් පානයක් නැහැ. නින්දට ආසන්නයේදි කෝලා, කැපේන් සහ වෙනත් නින්ද වලක්වන පානයන්ගෙන් මිදෙන්න
  • ජංගම දුරකථන ක්‍රියා විරහිත කරන්න. – නිදි යහනට යන්නට පෙරාතුව ජංගම දුරකථනය මුලුමනින්ම ක්‍රියාවිරහිත කරන්න. දරුවන් බොහෝ විට මෙම උපාංගයන් නිශ්ශබ්ද කළද ඒවායේ කම්පනයන් නිසා නින්ද බිඳ වැටෙනු ඇත. කෙටි පණිවිඩ පවා නිදි කාලසිමාවේදි අක්‍රිය කොට තබන්න.
  • නින්දට පෙර පරිගණකයෙන් ඈත් වෙන්න – නින්දට ආසන්නව පරිගණකයේ කටයුතුවලින් දුරස්ථ විමද අවශ්‍යය. බොහෝ දරුවන් අද මෙම උපාංග නිදි යහනේදි පවා පරිහරණය කිරිම ඔවුන්ගේ නින්දට බෙහෙවින් බලපෑම් කරනු ඇත.
  • ආගම දහම අනුව පිලිවෙත්වල යෙදෙන්න – නින්දට පෙරාතුව තමන්ගේ ආගම දහමට අනුව වු පිලිවෙත්හි යෙදි නින්දට යෑමෙන් ඇති වෙන මානසික සන්සුන්බව ඔබේ දරුවාගේ නින්ද ඉතා සුවදායක කරනු ඇත.

සටහන

පුන්‍යා චාන්දනි ද සිල්වා

Exit mobile version