අම්මා කොහෙද ? ගල්නෑවෙ
තාත්තා ? අනුරාධපුරේ
ප්‍රොපෝසල්ද? නෑ යාලුවෙලා බැන්දේ
ඒ දවස්වල තැලසීමියා කියලා දෙයක් ගැන අහල තිබ්බෙ නැද්ද?
තිබ්බා ඩොක්ටර්. ඒක දිග කතාවක් කිව්වට කමක් නැද්ද?
කමක් නෑ කියන්න..
අපි යාලුවෙලා ඉන්නකොට කසාද බදින්න කලින් අපි දෙන්නම තීරනය කරා පොරොන්දම් බලන්න. ඉතින් බැලුවා. එයා කීවා ලේ ගැලපෙන්නෑ, ගිහිල්ලා තැලසීමියා වලට ලේ එකක් චෙක් කර ගන්න කියලා.’
පොරොන්දම් බලපු කෙනා කිව්වා?
ඔව්. එයා විද්‍යාව ගුරුවරියක්. ඉතිං තැලසීමියා ගැන කියල දීලම කිව්වා ඒක චෙක් කර ගන්න කියලා. අපි ලඟ තැනකින් තැලසීමියා වලට ලේ බලන්න ගියා. Hb එක බැලුවම ගැටලුවක් නෑ කියලා හිතුණු නිසා එච්චර දුර දිග හිතවේ නෑ, අපි කසාද බැන්දා. ඊටපස්සෙ මේ බබා හම්බුනා. බබාගෙ ලේ අඩුයි කියලා චෙක් කරද්දි දැන ගත්තා බබා EB තැලසීමියා (ඊ බීටා තැලසීමියා ) කියලා. ඒ පාර තමා අපිව ආයේ චෙක් කලේ. මම E තැලසීමියා වාහක, මහත්ත්‍යා B තැලසීමියා වාහක. දෙන්නගෙන් එක්කෙනෙක් විතරක් වාහක වුණා නම් බබා වාහක වෙලා නවතින්න තිබ්බා . ඒත් මේ වාට්ටුවෙ කතා වල තීයෙන්නේ මව පියා දෙදෙනාම වාහක වුණු දරුවන්ගේ කතා. මේකෙත් මව පියා දෙදෙනාව වාහක වෙලා ඒ නිසා දරුවා EB තැලසීමියා රෝගියෙක් වෙලා. මතක තියාගන්න… පොරොන්දම බලන්න. හරියට ක්‍රියාත්මක වන්න. තැලසීමියා පොරොන්දම හරියට බලල නැත්නම් ඒක හරියටම බලව ගන්න තැලසීමියා වාට්ටුවට එන්න.
අනුරාධපුර මහ රෝහලේ තැලසීමියා වාට්ටුවෙ සතියේ හැමදාම උදේ වරුවෙ 12 වෙනකන් තැලසීමියාද කියලා දැනගන්න පරීක්ෂණ කරනවා. ඒක පුංචි ලේ පරීක්ෂණයක්. Hb පරීක්ෂණේ කරන ලැබ් එක අනුවත් පොඩ්ඩක් වෙනස් වෙන සමහර වෙලාවල් තියනවා. ඉතින් තැලසීමියා පරීක්ෂනේ කර ගන්න අවශ්‍ය නම් මෙතැනටම එන්න. කසාද බදින්න ඉන්න දෙන්නෙක් නම් දෙපාරක් හිතන්න එපා. මෙතැනටම එන්න. මතකනෙ තැන. ප්‍රාදේශීය තැලසීමියා මධ්‍යස්ථානය (තැල් වාට්ටුව) වෙලාව උදේ 8 සිට උදේ 11. 59 දක්වා එනකොට මුකුත් ගේන්න ඕන නෑ. ඒත් ඩොක්ටර් කෙනෙක් ලියපු ලියුමක්, රුධිර පරීක්ෂාවක් සිදු කළ වාර්තාවක් තියෙනවා නම් ඒවා රැගෙන එන්න. ඒ කිසිවක්ම නැතත් ගැටලුවක් නැහැ. ඔබට ඒ පරීක්ෂාව කරගත්තොත් හොඳයි කියා හිතෙනව නම් අනිවාර්‍යෙන්ම එන්න.
පරීක්ෂණ වාර්තාව ජංගම දුරකතනයට කෙටි පණිවිඩයක් විදියට හරි ඇමතුමක් විදියට හරි එහෙමත් නැතිනම් තැපෑලෙන් හරි ඉක්මනින්ම එවනවා. වාහක නම් රෝස පාට කාඩ් එකක් – එයාලා රෝස පාට කවුරුත් දිහා ඇහැක් ඇරල වත් බලන්න නරකයි. නිරෝගී නම් කොල පාට කාඩ් එකක් – එයාලා කා සමග විවාහ වුණත් ගැටලුවක් නැහැ. එයින් අදහස් වෙන්නේ කොළ පාට කාඩ් හිමියෙක්ට රෝස කාඩ් හිමි අයෙක් වුවත් විවාහ කරගත හැකි බවයි. මොකද එයාලට ලැබෙන දරුවාට එක වගේ ජාන දෙකක් කොහොමත්ම එන්නෙ නැති නිසා රෝගී දරුවෙක් ලැබෙන්නේ නැහැ.
මේ පරීක්ෂණය හඳුන්වන්නේ HPLC පරීක්ෂණය කියලා. තැලසීමියා රෝගීන් බිහි වීම වැළැක්විය නොහැකි අමාරු දෙයක් නොවෙයි. හොඳින්ම පුළුවන් දෙයක්. අන්න ඒ නිසාම විවාහයට පෙර ලේ පොරොන්දම් ගලප ගන්න ලේ පරීක්ෂණයට යොමු වෙන්න අමතක කරන්න එපා.

කිලෝශිනී හෙන්දවිතාරණ වෛද්‍යතුමියගේ මුහුණු පොතේ පල වූ තැල් කතා ඇල්බමයෙන් උපුටා ගන්නා ලදී
වෛද්‍ය කිලෝශිනී හෙන්දවිතාරණ
තැලසීමියා ප්‍රතිකාර හා නිවාරණ මධ්‍යස්ථානය
අනුරාධපුරය