ගැබ් ගැනීම යනු අලුත උපදින ජීවිතයක් පිළිබඳ අපේක්ෂාව සතුට, උද්යෝගය සහ අසීමිත ප්‍රේමයකින් සිත පිරී යන කාලයකි. එසේම මෙම ගමන බොහෝ විට නොයෙකුත් බිය සහ අවිනිශ්චිතතාවයන්ගෙන් ද පිරී පවතී. දරු ප්‍රසූතිය දරාගත හැකිද? මට හොඳ මවක් විය හැකිය? වැනි බොහොමයක් ගැටලු සෑම මවකගේම මනසට පැමිණීම ස්වාභාවිකය.
දරුවෙකුගේ පැමිණීම ඔබේ ජීවිතයේ සෑම අංශයක්ම උඩු යටිකුරු කරයි. මෙම විශාල වෙනසට මුහුණ දීමට සිදුවීම පිළිබඳව ඇතිවන බිය ඉතා සාමාන්‍ය දෙයකි.
- දරුවෙකුගේ ජීවිතය පිළිබඳ සමස්ත වගකීම දැරීමට සිදුවීම පිළිබඳව ඇතිවන බිය
- මවක් වීමෙන් පසු තමාගේ කාලය, විනෝදාංශ සහ වෘත්තීය ජීවිතය අහිමි වේ යැයි ඇති වන බිය
- අපේක්ෂිත මව වීමට නොහැකි වේද? දරුවාට අවශ්‍ය දේ ලබා දීමට නොහැකි? යන බිය
ඔබ කිසිවිටෙකත් පරිපූර්ණ මවක් වීමට උත්සාහ නොකරන්න. සෑම මවක්ම වැරදි කරන බවත්, වැදගත් වන්නේ ප්‍රේමය සහ උත්සාහය බවත් වටහා ගන්න. සැමියා, පවුලේ අය සහ මිතුරන් සමඟ ඔබේ හැඟීම් බෙදා ගන්න. අවශ්‍ය විටදී උදව් ඉල්ලීමට පසුබට නොවන්න. දැනටමත් මාපියන් වී සිටින අය සමග අත්දැකීම් බෙදාගන්න. ඔවුන්ගේ අභියෝග සහ ඒවා ජයගත් ආකාරය ඇසීමෙන් ඔබේ බිය ලිහිල් වනු ඇත.
දරු ප්‍රසූතියේ වේදනාව සහ එම ක්‍රියාවලිය පිළිබඳ ඇතිවන බිය ගර්භණී සමයේදී ඇතිවන වඩාත් ප්‍රබලම බියකි. සමහර කාන්තාවන්ට එය දරුණු ලෙස බලපෑ හැකිය. දරාගත නොහැකි වේදනාවක් ඇති වේ යැයි සිතීම, ප්‍රසූතියේදී තමන්ට සිදුවන දේ පිළිබඳ පාලනයක් නොමැති බව සිතීම, දරුවාට හෝ තමාට අනතුරක් වේ යැයි සිතීම, ප්රසූතතියේදී යම් යම් සංගූලතා ඇති වේය යන බිය හේතුවෙන් මව්වරුන් ගැබිනි සමය පුරා පීඩනයට පත් වනවා විය හැකි වුවත් දැනුමෙන් සන්නද්ධ වීම එනම් දරු ප්‍රසූතියේ ක්‍රියාවලිය, විවිධ ප්‍රසූති විකල්ප සහ රෝහලේ ක්‍රියා පටිපාටි පිළිබඳව නිවැරදි තොරතුරු පිළිබඳව දැනුවත් වීමත් වේදනා කළමනාකරණ ශිල්ප ක්‍රම පුහුණු වීම එනම් ප්‍රසූතියට පෙර පැවැත්වෙන සැසිවලට සහභාගී වී හුස්ම ගැනීමේ ව්‍යායාම, විවේකීව සිටීමේ ක්‍රම සහ භාවනාව පුහුණු වන්නට ගැබිනි මවට හැකියි. තවද ඔබ තෝරාගන්නා වෛද්‍යවරයා ඔබට සහ ඔබේ බියට සවන් දෙන, විශ්වාසවන්ත ප්‍රසව වෛද්‍යවරයකු වීමත් ඔබේ බිය විශාල ලෙස අඩු වීමට හේතු වේ.
තම දරුවා සෞඛ්‍ය සම්පන්නව උපදීවිද යන්න පිළිබඳ ඇතිවන කනස්සල්ල සියලුම දෙමාපියන් තුළ දැකිය හැකිය. පළමු ත්‍රෛමාසිකයේදී ගබ්සා වීමක් වේද යන බියෙන් බොහෝ මව්පියවරු කණස්සල්ලෙන් පසු වෙති. දරුවාට යම්කිසි උපත් ආබාධයක් ඇති වේ යැයි සිතීම, නොමේරූ දරු උපත් එනම් දරුවා නියමිත කාලයට පෙර උපත ලැබීම ගැන බිය ඇති වීමද බොහෝ විට දැකිය හැකිය. තවද බොහෝ මව්වරුන් දරුවාට නිසි පෝෂණය නොලැබේ යැයි හෝ හොඳින් වර්ධනය නොවනු ඇතැයි සිතීමින් කණස්සල්ලට පත්වේ.
- ඔබේ වෛද්‍යවරයාගේ උපදෙස් නිසි පරිදි පිළිපදින්න
- වෛද්‍යවරයා නිර්දේශ කරනු ලබන ස්කෑන් පරීක්ෂණ සහ රුධිර පරීක්ෂණ කරන්න
- සමබල ආහාර වේලක්, ප්‍රමාණවත් විවේකයක් ලබා ගන්න
- වෛද්‍යවරයා විසින් අනුමත කරන ලද මධ්‍යස්ථ ව්‍යායාමවල නිරත වෙන්න
- ඔබ අන්තර්ජාලයේ හෝ සමාජ මාධ්‍යවල ඇති අහිතකර සහ අසත්‍ය කතා කියවීමෙන් වළකින්න.විශ්වාසදායක වෛද්‍ය ප්‍රභවයන් පමණක් භාවිතා කරන්න
මේ කරුණු පිළිබඳව සැලකිලිමත් වීමෙන් දිනෙන් දින ගැබිනි සමය සුරක්ෂිත බවට ඇති විශ්වාසය වැඩි වේ.
බිය යනු ගර්භණී සමයේදී ඇතිවන ස්වාභාවික ප්රතිචාරයකි. මෙම බිය සාර්ථකව කළමනාකරණය කිරීම සඳහා පහත සඳහන් දෑ පුහුණු වීමට ඔබට හැකියි.
- හැඟීම් පිළිගැනීම සහ බෙදා ගැනීම
ඔබේ බිය සහ කනස්සල්ල සැඟවීමෙන් වළකින්න. ඒවා පිළිගන්න. ඔබේ සැමියා සමඟ, මව සමඟ හෝ විශ්වාසවන්ත මිතුරෙකු සමඟ විවෘතව කතා කරන්න. සහකරුගේ සහභාගීත්වය ඔහුටද තත්ත්වය අවබෝධ කර ගැනීමටත්, ඔබට ශක්තියක් වීමටත් උපකාරී වේ. - මනස සන්සුන් කිරීමේ ශිල්ප ක්‍රම
ගර්භණී සමයට සුදුසු යෝගා පුහුණු වීමෙන් මානසික ආතතිය සහ කාංසාව අඩු කර ගත හැකිය. දිනකට මිනිත්තු කිහිපයක් භාවනා කිරීම මනස සංසුන් කරයි. එසේම ප්‍රියජනක සංගීතයට සවන් දීම සහ ධනාත්මක අත්දැකීම් සහිත පොත් කියවීමෙන් මනස සන්සුන් කර ගන්න. - වෘත්තීය උපදෙස් ලබා ගැනීම
ඔබේ බිය දෛනික ජීවිතයට බාධා කරන්නේ නම් හෝ කාංසාව හෝ විෂාදය වැනි රෝග ලක්ෂණ ඇති කරයි නම්, මනෝ වෛද්‍යවරයකුගෙන් හෝ උපදේශකවරයකුගෙන් උපදෙස් ලබා ගැනීමට පසුබට නොවන්න. ගර්භණී සමයේදී ඇතිවන මානසික සෞඛ්‍ය ගැටලු ඉතා සාමාන්‍ය දෙයකි. - දරුවා සමඟ බැඳීම ගොඩනැඟීම
දරුවා සමඟ කතා කරන්න, උදරය අතගාන්න, පයින් ගැසීම් දැනෙද්දී සතුටු වන්න. දරුවා කෙරෙහි අවධානය යොමු කිරීමෙන්, ප්‍රසූතියේ වේදනාව පිළිබඳ බිය වෙනුවට, මාතෘත්වය පිළිබඳ ප්‍රේමය සහ උද්යෝගය වැඩි කර ගත හැකිය.
මම සූදානම්ද? යන ප්‍රශ්නයට කෙටි පිළිතුර නම් ඔබ දැනටමත් සූදානම් වෙමින් සිටී. ඔබ මේ මොහොතේ ඔබේ දරුවාට අවශ්‍යම දේ ලබා දෙමින් සිටී. ගර්භණී සමය යනු ජීවිතයේ විශාලතම වෙනස්කමකට ඔබව සූදානම් කරන පුහුණු කාලයකි.
බිය, අවිනිශ්චිතතාවය සහ වේදනාව පිළිබඳ කනස්සල්ලට ඔබේ ශක්තියෙන් කොටසක් ගිල දැමීමට ඉඩ නොදෙන්න. විශ්වාසයෙන්, දැනුමෙන් සහ ප්‍රේමයෙන් සන්නද්ධව මෙම ගමනට මුහුණ දෙන්න. ඔබ ශක්තිමත්, දක්ෂ සහ තම දරුවා වෙනුවෙන් ඕනෑම දෙයක් කිරීමට සූදානම් මවක් බව අමතක නොකරන්න.


Leave feedback about this