ගැබ් ගැනීම යනු කාන්තාවකගේ ජීවිතයේ ශාරීරික හා චිත්තවේගීය වශයෙන් විශාලතම වෙනස්කම් සිදුවන කාලයක් බව පෙර ලිපිවලදීත් අප සඳහන් කළ බව ඔබට මතක ඇති. උදේට දැනෙන මහත් සතුට එක මොහොතකින් දුකට හෝ දැඩි කෝපයකට හැරෙන අවස්ථා ගර්භණී සමයේදී ඉතා සාමාන්‍යය. මෙම තත්ත්වය තුළ, ගර්භණී මවට පමණක් නොව, සහකරු ලෙස ඔබටද විශාල අභියෝගයකට මුහුණ දීමට සිදු වෙනවා. හදිසියේ වෙනස් වන හැඟීම් තේරුම් ගෙන, අමනාප නොවී, තම ගැබිනි බිරිඳට නිසි සහයෝගය ලබා දීමට සහකරු වන ඔබව දැනුවත් කිරීම මෙම ලිපියේ අරමුණයි.
චිත්තවේගීය වෙනස්කම්වලට මූලික හේතුව
ගර්භණී සමයේදී ඇතිවන චිත්තවේගීය වෙනස්කම්වලට මූලිකම හේතුව වන්නේ ශරීරයේ සිදුවන දැවැන්ත හෝමෝන වෙනස්කම්ය. ගර්භණී සමයේදී, විශේෂයෙන් පළමු සහ තෙවන ත්රෛමාසිකවලදී, එස්ට්‍රජන් මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ යයි. මෙම හෝමෝනය ස්නායු පද්ධතියේ රසායනික ද්‍රව්‍ය (විශේෂයෙන් සෙරොටොනින්) කෙරෙහි බලපාන අතර, එය කාංසාව (Anxiety) සහ ඉක්මන් කෝපය (Irritability) ඇති කළ හැකිය. ඒ වගේම ප්‍රොජෙස්ටරෝන් ගැබ් ගැනීම පවත්වා ගැනීමට උපකාරී වන ප්‍රධාන හෝමෝනයකි. ප්‍රොජෙස්ටරෝන් මට්ටම ඉහළ යාම නිසා කාන්තාවකට දැඩි ලෙස විඩාපත්වීම (Fatigue), නිදිමත ගතිය සහ සමහර විට දුකක් හෝ දැඩි චිත්තවේගී සංවේදීතාවක් දැනිය හැකිය. මෙම හෝමෝන වෙනස්කම් මොළයේ හැඟීම් පාලනය කරන ප්‍රදේශයට සෘජුවම බලපාන බැවින්, මවගේ චිත්තවේගීය ප්‍රතික්‍රියා ඇගේ පාලනයෙන් තොර විය හැකිය.
චිත්තවේගීය වෙනස්කම් තේරුම් ගැනීම
ගර්භණී සමයේදී මවකට ඇතිවිය හැකි පොදු චිත්තවේගීය තත්ත්වයන් සහ ඒවාට යටින් පවතින හේතු සහකරු තේරුම් ගත යුතුය.
- කෝපය සහ ඉක්මන් අමනාප වීම, එස්ට්‍රජන් මට්ටම් වෙනස් වීම, නින්ද නොලැබීම, ශාරීරික අපහසුතා නිසා මිස සහකරු වන ඔබට එරෙහිව පෞද්ගලිකව එල්ල වන දෙයක් නොවන බව ඔබ වටහා ගත යුතුය.
- අධික ලෙස හැඬීම හෝ දුක, ඉදිරි ජීවිතය පිළිබඳ අවිනිශ්චිතතාව, ශාරීරික වේදනාව සමහර විට ඇයට අවශ්‍ය වන්නේ හේතුවක් නොමැතිව වැළඳ ගැනීමක් පමණක් බව ඔබ වටහා ගන්න.
- කාංසාව, මාතෘත්වයට ඇති බිය, දරුවාගේ සෞඛ්‍යය පිළිබඳ කනස්සල්ල, දරු ප්‍රසූතියට ඇති බිය ඇගේ කනස්සල්ල අසා සිටීමෙන් පමණක් ඇයට විශාල සහනයක් ලැබිය හැක.
සහකරු ලෙස ඔබට ගැබිනි බිරිඳට සහය විය හැකි ආකාරය
සහකරුවෙකු ලෙස ඔබේ සහකාරියගේ මෙම චිත්තවේගීය අසීරුතා කළමනාකරණය කිරීමට විශාල කාර්යභාරයක් ඉටු කළ යුතුය.
- සන්නිවේදනය සහ අවබෝධය
ඇයගේ හැඟීම් විනිශ්චය නොකර හෝ ඒවා හේතුවක් නැති බව නොපවසා නිහඬව සවන් දෙන්න. ඇයට අවශ්‍ය වන්නේ ඇගේ හැඟීම් පිළිගැනීමක් පමණි. ඇය කෝපයෙන් යමක් පැවසුවහොත් හෝ අමනාප වුවහොත්, එය ඔබට පෞද්ගලිකව එල්ල වන පහරක් නොවන බව තේරුම් ගන්න. එය හෝමෝනවල බලපෑම බව මතක තබා ගන්න. ඇගේ හැසිරීම්වලින් ඔබට රිදවීමක් දැනේ නම්, චෝදනා නොකර ඔබේ හැඟීම් ප්‍රකාශ කරන්න. - අවශ්‍යතා සපුරාලීම සහ සහනය ලබා දීම
දහඩිය දැමීම, නිතර වැසිකිළි යාම සහ පිටේ වේදනාව වැනි ශාරීරික අපහසුතා චිත්තවේගීය තත්ත්වය උග්‍ර කරයි. සුව පහසු ඇඳුම්, හොඳ කොට්ටයක් හෝ පාද සම්බාහනයක් ලබා දීමෙන් සහනයක් ලබා දෙන්න. හෝමෝන සහ ශාරීරික අපහසුතා නිසා ඇයට නින්ද නොයාම හෝ නින්දේ ගුණාත්මකභාවය අඩු විය හැක. ඇයට හැකි තරම් විවේකයක් ලබා දීමට ඉඩ සලසන්න. ඇය කැමති ආහාර පිළියෙල කිරීමට උදව් කරන්න. හොඳ, සමබල ආහාර වේලක් ඇයට අවශ්‍ය නිසා එයට සහය වෙන්න. - සූදානම් වීම සහ සැලසුම් කිරීම
පූර්ව ප්‍රසව සායන සඳහා ඇය සමග එකට සහභාගී වීම, රෝහලට අවශ්‍ය බඩු බාහිරාදිය පිළියෙල කිරීම සහ උපත් සැලසුම සකස් කිරීමට උදව් කිරීම මගින් ඇගේ කාංසාව අඩු කළ හැකිය. චිත්තවේගීයව අවුල් වූ මොහොතක ඇයව සන්සුන් කළ හැකි ක්‍රම කල්තියා සාකච්ඡා කරන්න.
කාල සීමා තේරුම් ගැනීම
චිත්තාව්ගීය වෙනස්කම් සාමාන්‍යයෙන් ගර්භණී සමයේදී වැඩි වශයෙන්ම ඇතිවන්නේ ත්‍රෛමාසික දෙකකදී ය:
- පළමු ත්‍රෛමාසිකය – ශරීරය හෝමෝන මට්ටම්වලට හුරු වීමට උත්සාහ කරන බැවින්, චිත්තවේගීය වෙනස්කම් ඉතා දරුණු විය හැකිය.
- දෙවන ත්‍රෛමාසිකය – මවට වඩාත් සුවපහසු සහ චිත්තවේගීයව වඩා ස්ථාවර කාලය විය හැකිය. මෙම කාල සීමා පිළිබඳ අවබෝධය සහකරු ලෙස ඔබට විඳදරා ගැනීමට අවශ්‍ය මානසික ශක්තිය ලබා දෙයි.
- තෙවන ත්‍රෛමාසිකය – ශාරීරික අපහසුතා උච්චතම අවස්ථාවට පැමිණීම, නින්ද නොලැබීම සහ ප්‍රසූතියට ආසන්න වීම නිසා බිය සහ කනස්සල්ල නැවත ඉහළ යයි.
සමහර චිත්තවේගීය තත්ත්වයන් සාමාන්‍ය තත්වය ඉක්මවා යා හැකිය. සහකරු ලෙස ඔබ පහත සඳහන් කරුණු පිළිබඳව දැනුවත් විය යුතුය.
- සති දෙකකට වඩා වැඩි කාලයක් පවතින දැඩි දුකක් හෝ බලාපොරොත්තු සුන්වීමක්.
- දෛනික කටයුතුවල නිරත වීමට නොහැකි වීම.
- ආහාර රුචියෙහි දැඩි වෙනස්කම් (අධික ලෙස කෑමට හෝ කිසිසේත් කෑමට අකමැති වීම).
- තමාට හෝ දරුවාට හානියක් කිරීම පිළිබඳ සිතුවිලි.
මෙවැනි රෝග ලක්ෂණ ඇත්නම්, එය ගර්භණී සමයේ විෂාදය (Perinatal Depression) විය හැකි අතර, වහාම වෛද්‍යවරයකු හෝ මනෝ උපදේශකයකු හමු වී උපදෙස් ලබා ගැනීම අත්‍යවශ්‍ය වේ.
ගර්භණී සමයේදී ඇතිවන චිත්තවේගීය වෙනස්කම් යනු සැබෑ, බලවත් සහ තාවකාලික තත්ත්වයකි. සහකරු ලෙස, ඔබේ භූමිකාව වන්නේ ඉවසීම, ප්‍රේමය සහ ගැඹුරු අවබෝධය තුළින් මෙම තත්ත්වය සාර්ථකව ජය ගැනීමයි.
මෙම අභියෝගාත්මක නමුත් සුන්දර ගමන ඔබේ සහකාරියට පමණක් නොව, ඔබේ සම්බන්ධතාවයටද නව ශක්තියක් එක් කරනු ඇත. මතක තබා ගන්න, ඔබ දෙදෙනාම බලා සිටින්නේ ඔබ දෙදෙනාගේ දරුවාගේ පැමිණීම වෙනුවෙනි.


Leave feedback about this