චීස් කියන්නේ අපට අමුතු දෙයක් නෙවෙයි නේ. ආහාරයට වගේම අතැම් විට විවිධ ආහාර රස ගැන්වීමටත් චීස් යොදා ගන්නවා. එහෙම නම් ලෝකයේ තිබෙන විවිධ රස, ගුණ වගේම විවිධ මිල ගණන් යටතේ අලෙවි වෙන චීස් ගැන තියෙන කතන්දර ටිකක් අහමු.
පිට්සා හදන්න යොදා ගන්නේ මොසරැල්ලා චීස්. මොසරැල්ලා චීස් කියන්නේ ඕනෑම කිරි වර්ගයකින් නිෂ්පාදනය කරන්න පුලුවන් චීස් වර්ගයක්. ඇතැම් අවස්ථාවල ඔරිගානෝ වගේ කුලුබඩුත් මේ වෙනුවෙන් එකතු කරනවා. මොසරැල්ලා ගැන මුලින්ම ලිඛිිත සටහනක් දක්නට ලැබෙන්නේ 1570 වසරේ සුපශාස්ත්‍ර කෘතියක කියලා තමයි සඳහන් වෙන්නේ. සාමාන්‍ය චීස් නිපදවීමේ ක්‍රියාවලිය වගේ නෙවෙයි මොසරැල්ලා චීස් හැදුවට පස්සේ කල් තැබීම අවශ්‍ය නැහැ.
එංගලන්තයේ චෙඩාර් කියන ගම්මානයෙන් උපත ලද නිසාම මේ චීස් වර්ගයට චෙඩාර් කියන නම ලැබිලා තියෙනවා. 12 වැනි සියවස වැනි ඈත අතීතයක හිමිකම් ඇතැත් වර්තමාන වට්ටෝරුවේ අයිතිකරු ලෙස ජෝසප් හර්ඩීන් සලකනු ලබනවා. පැස්ටා, බර්ගර් එක්ක හොඳිම ගැලපුමක් ඇති චෙඩාර් චීස් මාස තුනක් පමණ පරණ කිරීමේ ක්‍රියාවලියට ලක් කරනවා.
ගුණාත්මක බවෙන් ඉහළ මෙම Gouda චීස් නිෂ්පාදනයට අමුද්‍රව්‍ය ලෙසින් එළකිරි යොදා ගන්නවා. ලන්දේසි ජාතිකයන්ගේ සොයා ගැනීමක් වන ගෝඩා චීස් මුලින්ම අලෙවි වෙලා තියෙන්නේ ගෝඩා නගරයේ නිසා තමයි මේ නමින් හැඳින් වෙන්නේ. සැන්ඩ්විච්, සලාද, වයින්, බියර් සමග ගැලපෙන ගෝඩා චීස් නිෂ්පාදනයේදී මාස තුනක පමණ කාලයක් පටන් අවුරුද්දක් තරම් පරණ කිරීමේ ක්‍රියාවලියට නතු වෙනවා. පරණ වෙන තරමට ප්‍රමිතිය ඉහල බව සැලකෙන මේ චීස් වර්ගය තද ගතියකින් යුක්තයි.
ඝකතම් සහිත පාර්මසාන් චීස් එළකිරි භාවිතයෙන් නිෂ්පාදනය කරන අතර ඉතාලියට ආවේනික වර්ගයක්. මෙය වසරක පටන් වසර තුනක පමණ කාලයක් පරණ කිරීමේ ක්‍රියාවලියට පත් වෙන අතර 13 සහ 14 වැනි සියවසක තරම් පැරණි බවට සාක්ෂි සටහන් තිබෙනවා. පැස්ටා, සුප්, සැලඩ් සමග විතරක් නොවෙයි, වෙනත් ආහාරයක් නැතුව වුනත් මේ චීස් වර්ගය රස බලන්න බාධාවක් නැහැ.
ටැලෙන්ජිඕ චීස්වල අයිතියත් ඉතාලියටයි. සාමාන්‍ය ඇඹුල් ගතියක් දැනුනත් එය මෘදු පළතුරු රසයක් නිසා කෑමට අරුචියක් ඇති වෙන්නේ නැහැ. 17 වන සියවසේ පටන් අද දක්වාම පැවැතෙන මේ චීස් මාස තුනක පරණ කිරීමේ ක්‍රියාවලියකට යොමු වෙන අතර අමුද්‍රව්‍ය විදිහට එළකිරි යොදා ගන්නවා. සරත් සහ ශීත සෘතුවලදී නිෂ්පාදනය ආරම්භ කරන ටැලෙන්ජිඹ් චීස් වර්ගය සලාද වෙනුවෙන් වැඩියෙන් භාවිත වෙනවා.
සැන්ඩ්විච්, ඔම්ලට් වැනි කෑම වර්ගවලට වගේම ග්‍රිල් කිරීමෙන් නිපදවන ආහාර වර්ගවලටත් යෝග්‍ය ෆෙටා චීස් වෙනුවෙන් ග්‍රිසිය අයිතිකම් කියනවා. බැටලු කිරි ප්‍රධාන වශයෙන් යොදා ගන්නා අතර ඇතැම් විට එළු කිරිත් සංයෝග කරන අවස්ථාවන් තිබෙනවා. එළකිරි යොදා ගෙන නිෂ්පාදනය කරන රටවල්ද තිබෙනවා. ක්‍රි. පු. 8 වැනි සියවස තෙක් වූ අතීතයකට හිමිකම් කියන ෆෙටා චීස්වල ඇති ලුණු රසයට බොහෝ දෙනෙක් ප්‍රිය කරනවා. මාස තුනක පමණ පරණ කිරීමේ ක්‍රියාවලියකින් පසුව පරිභෝජනයට ගන්නා මෙම වර්ගය ඉතා මෘදුයි.
14 වැනි සියවස තරම් ඈත යුගයක හිමිකම ඇති Emmental චීස් ඉතා රසවත්. අමුද්‍රව්‍ය විදිහට එළකිරි යොදා ගන්නා අතර මාස දෙකක සිට 18 ක් වැනි කාලයක් පුරා පරණ කිරීමේ ක්‍රියාවලියට යොමු වෙනවා. ග්‍රිල් කරන ලද සැන්ඩ්විච්, චීස් පයි වැනි ආහාර සමගත් පැස්ටා සමගත් ඉතා ගැලපෙනවා. මෙම Emmental චීස්වල ඇති තවත් විශේෂත්වයක් නම් සිදුරු සහිත වීමයි.
මෙක්සිකෝවට අයත් යැයි කියන කොටිජා චීස්වල වර්ග දෙකක් තිබෙනවා. එක් වර්ගයක් තද ගතියෙන්ද අනෙක් වර්ගය වියලි ගතියෙන් ද යුක්තයි. කඳුකර චීස් යනුවෙනුත් හැඳින්වෙන මේ චීස් වර්ගය නිපදවන පිරිස් ජීවත් වෙන්නේ මීටර් 1700 කටත් වඩා උස් කඳුකර ප්‍රදේශවලයි. එළකිරෙන් නිපදවන මෙම චීස් බරිටෝස්, ටාකෝස්, සුප් සහ සලාද සමගත් ගැලපෙනවා.
කැම්බර්ට් චීස් ගැන මුලින්ම අහන්න ලැබෙන්නේ 1790 වැනි කාලයක වුනත් අද තිබෙන වට්ටෝරුව 19 වන සියවසට අයත් යැයි අනුමාන කරනවා. මෘදු නිසා පිසින විට ඉක්මනින්ම උණුවෙන ගතියෙන් යුක්තයි. ප්‍රංශයට අයිතිය ඇති මේ කැම්බර්ට් චීස් කැසරෝල්, පාන්, සුප් සමග ගැලපෙනවා
බැටලු කිරිවලින් නිපදවන රොක්ෆොර්ට් චීස්වල තිබෙන නිල් පැහැති ලප මුල් කර ගෙන අපුරු කතාවකුත් තිබෙනවා. එක්තරා තරුණයෙක් බැටලු කිරෙන් හදන ලද චීස් පෙත්තක් කකා සිටියදී තරුණියක දැක චීස් පෙත්ත පසෙක තබා ඇය සමග කතාවට ගියා. චීස් පෙත්ත එතැනම මාස ගණනක් තිබුන අතර දිනක් මුලින් කී තරුණයා එතැනට එන විට චීස් පෙත්ත පුරා නිල් පැහැති ලප තිබුන අතර ඒ සිද්ධියෙන් පසුව නිල් ලප සහිත චීස් නිෂ්පාදනයට දොරටුව ඇරුන බවට ප්‍රබන්ධයකුත් තිබෙනවා. මාස පහක පමණ කාලයක් පරණ කරන මෙම චීස් ලුණු රසයෙන් සහ තෙතමන ගතියකින් යුක්තයි.
සටහන
පුන්‍යා චාන්දනී ද සිල්වා


Leave feedback about this