ඔක්තෝබර් 23, 2025
Massage-gun-parent-pulse-article-featured-image
විශේෂී ලිපි

ජනප්‍රිය මසාජ් ගන්, අංශභාගය හා අන්ධභාවයට හේතුවක් විය හැකිද?

වැඩ කිරීමෙන් පසු ඇතිවන මස්පිඬු වේදනාවට සහනයක් ලෙස ඔබත් මසාජ් ගන් (Massage Gun) වැනි සම්බාහන උපකරණයක් භාවිතා කරනවාද?

පහසුව, අඩු මිල සහ භාවිතයේ පහසුව නිසා බොහෝ දෙනා අතර ජනප්‍රිය වී ඇති මෙම උපකරණ, නිවැරදිව භාවිත නොකළහොත්, අන්ධභාවය හෝ අංශභාගය වැනි බරපතල සෞඛ්‍ය ගැටලු ඇති කළ හැකි බවට දකුණු කොරියානු වෛද්‍යවරු අනතුරු අඟවති.

මෑතකදී, 30 හැවිරිදි කොරියානු කාන්තාවක්, නිවසේදී තනිවම සම්බාහන උපකරණයක් භාවිත කිරීමෙන් පසු, තම එක් ඇසක් අන්ධ වූ බවට අන්තර්ජාලයේ පළකළ සටහනක්, බොහෝ දෙනා කම්පනයට පත් කිරීමට සමත් විය. මෙම සිදුවීමත් සමග, මෙම උපකරණවල ඇති සැඟවුණු අන්තරාය පිළිබඳව දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.

දකුණු කොරියානු ස්නායු විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වා දෙන පරිදි, මෙම ගැටලුවට ප්‍රධාන හේතුව වන්නේ, බෙල්ල ප්‍රදේශයේ මෙම උපකරණ භාවිත කිරීමයි. අපගේ මොළයට සහ ඇස්වලට රුධිරය සපයන ප්‍රධාන රුධිර නාලිකාවක් වන කැරොටීඩ් ධමනිය (Carotid Artery), බෙල්ලේ ඉදිරිපසින් දිව යයි. සම්බාහන උපකරණයකින් මෙම ප්‍රදේශයට ඇතිවන අධික පීඩනය හෝ කම්පනය නිසා, එම ධමනිය තුළ ලේ කැටියක් (blood clot) නිර්මාණය විය හැක. මෙම ලේ කැටිය ගැලවී ගොස්, රුධිරය සමග ගමන් කර, ඇසට රුධිරය සපයන මධ්‍ය දෘෂ්ටි විතානයේ ධමනිය (Central Retinal Artery) අවහිර කළහොත්, ක්ෂණිකව පෙනීම නැතිවී, ප්‍රතිකාර ප්‍රමාද වුවහොත් ස්ථිර අන්ධභාවය ඇතිවිය හැක. එලෙසම, එම ලේ කැටිය මොළයේ රුධිර නාලිකාවක් අවහිර කළහොත්, එය ආඝාත (Stroke) තත්ත්වයකට හේතු විය හැකි අතර, එහි ප්‍රතිඵලයක් ලෙස අංශභාගය, කතා කිරීමේ අපහසුතා සහ වෙනත් ස්නායු ආබාධ ඇතිවිය හැක.

  • බෙල්ලේ ඉදිරිපස සහ දෙපස – කැරොටීඩ් ධමනිය පිහිටා ඇති නිසා, මෙම ප්‍රදේශය අතිශය අවදානම් සහිතයි.
  • බෙල්ලේ පිටුපස (හිස්කබලට සම්බන්ධ වන ස්ථානය) – මොළයට රුධිරය සපයන තවත් වැදගත් ධමනියක් වන වර්ටීබ්‍රල් ධමනිය (Vertebral Artery) මෙම ස්ථානයේදී ආරක්ෂිත අස්ථි ආවරණයෙන් මදක් පිටතට නිරාවරණය වන නිසා, අධික පීඩනයට ගොදුරු වීමේ ඉඩකඩ වැඩිය.
  • උදරය, සන්ධි, සහ අස්ථිමය ප්‍රදේශ – ඝන මාංශ පේශී නොමැති මෙම ස්ථානවලට උපකරණය භාවිත කිරීමෙන්, අභ්‍යන්තර ඉන්ද්‍රියයන්ට හානි සිදුවිය හැක.

දකුණු කොරියානු ස්නායු වෛද්‍යවරුන් අවධාරණය කරන්නේ, ඉහත සඳහන් ස්ථානවල සම්බාහන උපකරණ භාවිත කිරීමෙන් සම්පූර්ණයෙන්ම වළකින ලෙසයි. එදිනෙදා ජීවිතයේ අපහසුතා මගහරවා ගැනීමේදී වුවත් ඒ වෙනුවෙන් පළපුරුදු ඇත්දැකීම් සපිරි පුද්ගලයන්ගේ උපදෙස් මත ක්‍රියා කිරීම වඩාත් සුදුසුයි.


KBS පුවත් ඇසුරෙනි

Leave feedback about this

  • Quality