මේ ඔබේ යොවුන් දරුවාගේත් ගැටලුව විය හැකියි.
“මට ආදර සම්බන්ධයක් තියෙනවා. දැන් මට ඒක නවත්තන්න ඕනේ. හැබැයි නවත්තන්න හදන හැම වෙලාවෙම එයා, නැවැත්තුවොත් මැරෙනවා කියල කියනවා. ඒ නිසා මට තේරෙන්නේ නැහැ මොකක්ද කරන්න ඕන කියල.”
මේ ගැටලුව යොමු කළ වයස අවුරුදු 13/14 වයසේ දියණියට තිබුණු ගැටලුව වුණේ එයාට අවශ්‍ය නොවන සම්බන්ධයක් නතර කරගන්න බැරිකම. මොකද එයා මත අතේ තව කෙනෙක්ගෙ ජීවිතය රැඳිලා තියෙන්නේ කියන සිතුවිල්ල.
මේක තමයි emotional blackmail කියලා අපි හඳුන්වන්නේ. ඒක විදිහක හැඟීම්වලින් කරන තර්ජනයක්. ඒ කියන්නේ ඔයාව පාවිච්චි කරනවා ඔයාගේ හැඟීම්වලින් ඔයාවම අපහසුතාවයට පත් කරන්න.
මේ ගැටළුවට උත්තරේ, සම්බන්ධය නතර කරන එක විතරක් නෙවේ. එයා කොච්චර දුරට මානසික අවුලකට පත් කරල තියෙනවද සහ එයා කොච්චර ඉක්මනින් මේ ප්‍රශ්නයෙන් මුදවා ගන්න මොනවද නව යෞවනයේ ඉන්න ගැහැණු දරුවෙක් සම්බන්ධයෙන් කරන්න ඕනේ කියලා අපි දැනුවත් වෙන්න ඕනෙ ආකාරයත් එකතු කරගෙනයි මේකට උත්තරයක් හොයන්න වෙන්නෙ.
නව යෞවනයන්ගේ ආදර සම්බන්ධකම් ගොඩාක් තීව්‍ර ලෙස තියෙන්නේ ඇයි?
ඒ ගන කතා කරන්න කලින් නව යොවුන් වියේ දරුවන්ගේ මොළය ගැන දැනුවත් වීම ඉතාමත් වටිනවා. නෙව යොවුන් දරුවන් ජීවත් වෙන්නේ ‘හැඟීම් කුණාටු’ ඇතුලේ. ඒ හින්දා මේ හැඟීම් කුණාටු හරිම තීව්‍ර විදියට එයාලගේ ආදර සම්බන්ධකම්වලදී වැඩ කරනවා.
අපේ මොලේ තියෙන පූර්ව මස්තිෂක බාහිකය වයස අවුරුදු විසිපහක් විතර වනතුරු සම්පූර්ණයෙන්ම වර්ධනය වෙන්නේ නැහැ. අපි ගන්නා තීරණ තීන්දුවලදී විශාලතම මෙහෙය ඉටුකරන්නේ මොළේ තියෙන පූර්ව මස්තිෂ්ක බාහිකයයි. තීරණයක් ගන්නේ කොහොමද? තාර්කිකව හිතන්නේ කොහොමද ? ආවේග පාලනය කරගන්නේ කොහොමද? ඒකෙන් පස්සේ එන සංකූලතා පාලනය කරගන්නේ කොහොමද? කියන ඒවා ඔක්කොම තීරණය කරන්නේ පූර්ව මස්තිෂ්ක බාහිකයෙන්.
ඒ වගේම තමයි නවයොවුන් දරුවෙක්ගේ පූර්ව මස්තිෂ්ක බාහිකය වර්ධනය වී නොතිබුණත් ලිම්බික් පද්ධතිය එනම් මැද මොළයේ ආවේග පාලනය කරන ස්ථාන සියල්ල හොඳින් වැඩී පවතිනවා. ඒ නිසා එයාලා සියලුම තීරණ ගන්නෙ සක්‍රීය වුනු හැගීම් වලින්. ඉතින් ඒ හින්දා වැඩුණු අපි වගේ අය හැගීම් වලින් දැනිලා මොළෙන් තීරණ ගත්තට මේ වගේ දරුවෝ තීරණ ගන්නේ හැඟීම්වලින් විතරමයි. ඒකයි අපි කියන්නේ නවයොවුන් දරුවෝ හදවතින් තීරණ ගන්නවා. වැඩිහිටි අපි මොළයෙන් තීරණ ගන්නවා කියලා.
මෙන්න මේ නොගැලපීම නිසා නව යොවුන් දරුවෝ එයාලා ගන්න තීරණ ඍජුවම හැගීම් මත පදනම් වෙනවා. අන්න ඒ නිසා එයාලට සාමාන්‍ය ආදර සම්බන්ධයක් ඉතා තීව්‍ර ලෙස දැනෙන්නත් පුළුවන්. ඒ වගේම ආවේග පාලනය කරගන්න බැරි තරම් දැඩි සම්බන්ධකමක් විදියට දැනෙන්නත් පුළුවන්. ඒක සමහරවිට එයාලා හිතන්න පුළුවන් මේ තමයි අවංක ඇත්තම ආදරේ කියලා. ඒත් ඒ වයසෙදි ඒක ආදරේ නෙමෙයි කියලා තේරුම් ගන්න පුළුවන් විදියේ පරිණත මොලයක් නැති නිසා එයාලා ඒ රැවටිල්ලෙම ඉන්නවා. වැඩිහිටියන් විදියට අපිට ඒ දෙකේ වෙනස මේ වයසෙදි තේරුනාට ඒ වයසෙ දරුවෙකුට ඒ වෙනස තේරුම් ගන්න එකට තව කාගේ හරි වැඩුනු මොලයක් තියෙන කෙනෙකුගේ උදව් අත්‍යාවශ්‍යයි.
ඒ නිසා කොයි වෙලාවක හරි නව යෞවනයෙකුට, ඔයා මාව අත ඇරලා ගියොත් මම මැරෙනවා කියලා කිව්වොත් ඒක එයාට දැනෙන්නෙ ජීවිතයත් මරණයත් අතර වගකීමක් එයාගේ කර උඩට ආවා වගේ. ඒත් ඔවුන් තවත් ජීවිතයක වගකීම ඔසවා ගෙන යා යුතු නැහැ.
හැඟීම් වලින් කරන තර්ජනාත්මක බලපෑම් (emotional blackmail)
මාව දාලා ගියොත් මැරෙනවා කියලා කියන්නෙ ආදරයට නෙමෙයි. ඒක එක්තරා ආකාරයක මානසික අපයෝජනයක්. එහෙම නැත්නම් හැඟීම් වලින් ඔයාලව පාලනය කරලා තියාගන්න හදන ක්‍රමවේදයක්.
මේ වගේ පාලනයකින් කෙනෙක්ට ආතතිය, වරදකාරී හැගීම, විෂාදය එහෙම නැත්නම් අධික වැරදි සහගතයි කියල හිතෙන තුවාලයක් නැත්නම් ට්‍රෝමා එකක් එන්න පුළුවන්. එයාට හැමතිස්සෙම හිතන්න පුළුවන් එයාට තර්ජනය කරපු කෙනා අත ඇරලා දැම්මොත් එයාට උදව් ඕන වෙලාවේ අතහැර දැමීම නිසා ඒක ලොකු හානියක් වෙන්න පුළුවන් කියලා.
ඒත් ඇත්ත, තව කෙනෙක්ගෙ ජීවිතය වෙනුවෙන් ඔබ වග කිව යුත්තෙක් නොවන බවයි. වැරදිකාරී හැඟීම තියෙන එක ඔබට තවදුරටත් ඒ සම්බන්ධයේ සිටීමට හේතුවකුත් නෙමෙයි. බිය වෙලා එයත් එක්කම ඉන්න එක ආදරයත් නෙමෙයි.
එහෙනම් මොකද්ද කරන්න ඕන? බැහැ කියලා කියන්න.
ඒක නිකම්ම සීමාවක් දාන වචනයක් විතරක් නෙමෙයි. ඒක ඔයා, ඔයා ගැන ඉගෙන ගන්න ඕනේ ජීවන නිපුණතාවයක්. ඔයාටත් හානියක් නොවී තව කෙනෙකුටත් හානියක් නොවී ඒ අර්බුදයෙන් ගැලවෙන්න ඔයා ගාව තියෙන්න ඕන නිපුණතාවයක්. තමන් කොහොමද තමන් ආරක්ෂිතව තදින් නොවෙනස් විදියට සහ ආඩම්බරකාර විදියට කෙනෙකුට බැහැ කියලා කියන්නේ.
මේක ටිකක් අමාරු වැඩක් හැබැයි හරියට බෑ කියලා කියන්න පටන් ගත්තොත් බෑ කියන එක ඇතුලෙ තියෙන සාමය ඔයා අකමැත්තෙන් කියන දේ කලාම ලැබෙන්නෙ නැති බව ඔයාලට තේරුම් ගන්න පුළුවන් වෙයි.
පැහැදිලිව සහ කෙලින්ම බැහැ කියලා කියන්න.
ඉතාම සැර පරුෂ විදියට බනින්න කියලා ඒකෙන් කියවෙන්නේ නැහැ. ඔබට මේක කාරුණිකව ප්‍රතික්ෂේප කිරීම කරන්න පුළුවන්.
“මේ සම්බන්ධය දිගටම පවත්වාගෙන යන්න මට හිතෙන්නෙ නැහැ.”
“මේ සම්බන්ධය මට ගැලපෙන්නෙ නැහැ.”
ඇයි ගැලපෙන්නේ නැහැ කියලා කියන්න අමතර හේතු දක්වන්න ඕනේ නැහැ. මේ සම්බන්ධය ඔයාට සහනයක් නෙවෙයි කියන කතන්දරේ කිව්වහම ඇති. හැම විටම මම කියන වාක්‍ය පාවිච්චි කරන්න.
“මට ඇතිවෙලා තියෙන්නේ තියෙන්නේ.”
” මට තනියම ඉන්න ඕනේ.”
” මට තනියෙන් ඉන්න ඉඩ අරින්න.”
මෙහෙම කියනකොට ඒක කාටවත් වැරැද්දක් පැටවෙන්නේ නැහැ. ඒ වගේම ඔයාට කියන්න ඕනේ පණිවිඩය ඉතාම මෘදුව අනිත් කෙනාට ප්‍රකාශ වෙනවා. එහෙම නැතුව කිව්වොත් ‘අම්මා තමයි නතර කරන්න කිව්වේ’ කියලා, අන්න එතනදිම ඔයාගේ වාක්‍ය ඇතුලේවත් බෑ කියලා කියන දේ ඉතාම දුර්වල හේතුවක් එක්ක තමයි අනිත් කෙනාට ප්‍රකාශ වෙන්න.
අවශ්‍යනම් නැවත නැවතත් බෑ කියලම කියන්න.
එයා දිගින් දිගටම තර්ක කරනවා නම් එහෙම නැත්නම් ඔයාගෙන් ආයාචනය කරනවා නම් කලබල වෙන්න එපා. ඒත් නිශ්ශබ්දව තදින් ඔයාගෙ මතය පැහැදිලිව නැවත නැවත ප්‍රකාශ කරන්න.
“මට තේරෙනවා ඔයා අප්සෙට් යනවා කියලා. ඒ වුනාට මම තීරණය අරගෙන ඉවරයි.”
නොනවත්වාම ඔයා ඒක බැහැ කියලා ප්‍රතික්ෂේප කරන කොට ඒකේ වරදකාරී ස්වභාවයෙන් ඔයා යම්තාක් දුරකටත් මිදෙනවා. ඒ වගේම කිසිම හේතුවක් නොදන්නවාම ඔයාට ප්‍රතික්ෂේප කළ හැකියි.
“බැහැ මට තවදුරටත් මේ සම්බන්ධය පවත්වාගෙන යන්න බැහැ.”
බැහැ කියන්න අමතර උදාහරණ හරි එහෙම නැත්නම් හේතු දක්වන්න අවශ්‍ය නැහැ. ඒකෙදි ඔයාගේ මානසික සහනය තියෙන්න ඕනේ ඔයා ගාව කියන එක විතරක් අවබෝධ කරගෙන නිකන්ම බැහැ කියන වචන විතරක් කිව්වත් ප්‍රමාණවත්.
ඔබේ ආත්ම ආරක්ෂාව වෙනුවෙන් ඔබ ගාව සැලසුමක් තිබිය යුතුයි
එයා මරණීය තර්ජන එල්ල කරනවා හෝ ඔයාව පාලනය කරන්න හදනවා හෝ එහෙම නැත්තන් නොනවත්වාම මැරෙනවා කියලා තර්ජනය කරනවා නම් ඒ තත්ත්වයන් ඔබ තනිව පාලනය නොකළ යුතුයි. එවැනි අවස්ථාවකදී ඉක්මනින්ම වගකිවයුතු වැඩිහිටියෙකුට කියන්න. එහෙම නැත්නම් පාසැලේ ගුරුවරයෙක්ට එහෙමත් නැත්නම් අදාල පාර්ශවයේ හෝ ඔබේ පාර්ශවයේ වැඩිහිටියෙකුට පවසන්න. ඔයින් ඔබ දෙදෙනාම ආරක්ෂාකාරී වෙනවා.
නව යෞවන වයසේ ඉන්න දරුවෙක්ගෙ ආදර කතන්දරයක තියෙන රතු එළි මොනවාද?
රතු එලි එහෙම නැත්නම් රතු කොඩි කියන්නේ, දැක්ක වහාම නතර වෙලා නවත්තන්න ඕනේ තැන්.
- තමන්ව පාලනය කරන ටොක්සික් සම්බන්ධකමකදී බොහේ නව යෞවනයො හිතන්නේ එයා මං ගැන ගොඩක් හිතනවා. එයා මාව තාත්තෙක් වගේ බලාගන්නවා කියලා. මොකද අපි දකින චිත්‍රපටිවල, එහෙම නැත්තං යාලුවෝ අතර තියෙන කතන්දරවලදී අපිට තේරෙන්නේ ඒ විදියට තමයි. ඒත් ඒක එහෙම නෙමෙයි. මේ කාරණා එක්ක නම් ඒ සම්බන්ධය ගැන ආපහු පාරක් හිතන්න. ඒක තමයි නතර කරන්න හොඳම අවස්ථාව.
- තමන්ට අනතුරක් කරගන්නවා කියලා බිය ගන්වනවා, එමාව දාලා ගියොත් මම මැරෙනවා. අන්න ඒ වගේ විදියට ඔයාව මානසිකව බ්ලැක්මේල් කරනවා නම් වහාම එතනින් ඉවත් වෙන්න.
- ඔයාව අයිති කරගන්න හදනවා සහ ඔයාව පාලනය කරන්න හදනවා නම් අයින් වෙන්න. නිතරම ඔයාගේ ෆෝන් චෙක් කරනවා කාත් එක්කද කතා කරේ කියලා, ඔයාගේ පාස්වර්ඩ් ඉල්ල ගන්නවා, හැමතිස්සෙම යාළුවොන්ගෙන් ඈත් කරලා තියනවා, තනියෙන්ම තියන්න උත්සාහ කරනවා. මට ඔයාව බලාගන්න පුළුවන් මං විතරක් ඇති කියලා හිතනවා. ඔයාට හිතෙන්න පුළුවන් ඔයාව ඕනෑවට වඩා පරිස්සම් කරනවා කියලා. ඒත් ඒක එහෙම නෙමෙයි. ඒ ඔයාව පාලනය කරනවා. එය ඔබ පිළිබඳව සොයා බැලීම නොවෙයි.
- ඔයාව වරදකාරී තැනට හසු කරගන්න හදනවා. මම මේ ඔක්කොම කරේ ඔයා වෙනුවෙන් කියලා කියනවා.මතක තියාගන්ඩ ආදරේ කියලා කියන්නේ නැවත ගෙවන්න ඕන දෙයක් හරි එහෙම නැත්නම් ඉල්ලගත්ත ණයක් හරි නෙමෙයි. ඒක හැඟීමක් .
- ඔයාව ලැජ්ජාවට පත් කරනවා එහෙම නැත්නම් අපහාස කරනවා. ඔයා ගැන නරක දේවල් ප්‍රචාරය කරනවා. ඒක ඇත්තටම ඔයාට කරන අපයෝජනයක්.
- ඔයාගේ සම්බන්ධ හිතුවට වඩා වේගෙන් ගලාගෙන යනවා නම් එතනත් හිතන්න ප්‍රශනයක් තියනවා. ආදරේ කරනවා කියලා කියන එක හරිම හිමීට සිද්ධ වෙන දෙයක්. පළවෙනි දවසේ මුණ ගැහෙනවා. දෙවෙනි දවසේ මම ඔයාට ආදරෙයි කියලා කියනවා. තුන්වෙනි දවසේ අපි පවුලක් ගොඩනැගුවාම කොහොමද වෙන්නේ කියලා කල්පනා කරනවා. අවුරුදු 15 දී පවුලක් වෙන එක ගැන හීන මවන එක ඇත්තටම රතු එලියක්. කරදරයක් නැති ආදරේ හිමින් තමයි ගලාගෙන යන්නේ. ඕනෑවට වඩා වේගවත් වෙන එක දෙන්නටම පීඩනයක්.
නව යොවුන් දරුවෙක් මෙවැනි සම්බන්ධයක් නතර කළ හොත්
- ඔයාගේ නිදහස වෙනුවෙන් ගන්න තීරණයට මත ඔයා ආත්මාර්ථකාමි කෙනෙක් වෙන්නේ නැහැ
- වේදනාකාරී දෙයකින් අයින් වෙන්න පියවරක් පිටුපසට තිබ්බා කියලා මහා සාහසික අපරාධකාරියක් වෙන්නේ නැහැ. ඒ වගේම ඔබට පෙරත් මෙවැනි තීරණ ගත් අය සිටිනවා. ඔවුන් එම තීරණ ගැනීම නිසා ඕනෑවටත් වඩා ශක්තිමත් වෙලා තියනවා.
- මේ තත්ත්වයේදී ඔබට වගේම සම්බන්ධය පැවැත් වූ පිරිමි දරුවාටත් උදව් අවශ්‍යයි. නමුත් ඔබ ඔබේ ජීවිතේ හීන පරිත්‍යාග ක පමණින් ඒකට උදව්වක් ලැබෙන්නේ නැහැ. ඒකට ඇත්තටම වෘත්තීමය අයෙකුගේ සහය අවශ්‍යයි.
මව්පිය වැඩිහිටියෝ වගේම ගුරුවරුත් මේ කරුණු පිළිබඳව අනිවාර්යෙන්ම දැනුවත් විය යුතුයි. අපි දරුවන්ට ගණිතය, විද්‍යාව, සිංහල, ඉංග්‍රීසි, විනය වගේ හැම දේම ඉගැන්නුවත් හරියට ආදරේ කරන හැටි උගන්වන්නේ නැහැ. පුළුවන් නම් අපේ දරුවන්ට මේ කරුණු ටික කියා දෙන්න.
- පරිස්සමෙන් ආදරය කරන්නේ කොහොමද?
- තමන්ගේ සීමාවන්ට ගරු කරමින් ආදරය කරන්නෙ කොහොමද?
- ගරුත්වයක් රැකගෙන තැනකින් ඉවත් වෙන්නෙ කොහොමද?
- බියට පත් නොවී අවශ්‍ය වූ විටෙක තව කෙනෙක්ගෙන් උදව්වක් ඉල්ලන්නෙ කොහොමද?
මේ දරුවොත් එක්ක ආදරය සම්බන්ධකම් බිඳ වැටීම් වගේම ලිපියේ මුල සිට සාකච්ඡා කළ සිද්ධි ගැන තොරතුරු, මානසික සෞඛ්‍ය ගැන විවෘතව කතා කරන්න. ඒ සඳහා වෙලාව වෙන් කරන්න. එතකොට දරුවන්ට තියෙන ගැටලුවල බර ඔවුන් දරා සිටිය යුතු නැහැ.
- බැහැ කියලා ප්‍රතික්ෂේප කරන එක ඉතාම සාමාන්‍යයි. ඒක කමක් නැහැ.
- හිත වෙනස් වෙන එක සාමාන්‍යයි. පළමු ආදරයම විවාහයෙන් කෙළවර විය යුතු නැහැ. එයා ගැලපෙන්නෙ නැත්නම් එයාව අයින් කරගන්න ඔයාගේ හිත වෙනස් වෙන එක අතිශය සාමාන්‍යයි.
- කෙනෙක් අවශ්‍ය නැත්නම් එතනින් අත්හැරයාම ඉතාම සාමාන්‍යයි. ඒක කමක් නැහැ.
- හිතේ නිදහස් බව රැකගන්න
අපි අපේ යොවුන් දරුවන් අනාගතයට යොමු කළ යුත්තේ බයට ආදරය කිරීමට නොව තමන්ගේ සීමාවන්වල බලය අඳුනා ගෙන, කරුණාවෙන් වගේම තමන්ගේ ආරක්ෂාවත් එක්ක තව කෙනෙක් එක්ක හැඟීම් බෙදාගන්න එකට. තමන්ගේ වටිනාකමට මීට වඩා තැනක් තියෙන්න ඕනේ කියන එක අපි අපේ දරුවන්ට කියා දෙමු.
නව යොවුන් දරුවන් වෙනුවෙන්

වෛද්‍ය කිලෝශිනී හෙන්දවිතාරණ