මන්ද පෝෂණය කෙටි කාලීන වගේම දිගු කාලීන වශයෙන් ද බලපෑම් ඇති කරන තත්වයක් වගේම මන්දපෝෂණය වර්තමානයට පමණක් ලඝු කළ නොහැකි තත්ත්වයකි. මන්දපෝෂණයේ පසු විපාක අනාගතය දක්වාත් ගමන් කරනවා. උදාහරණයක් විදිහට සඳහන් කළොත් අද දවසේ ගර්භණී මවකට නිසි පෝෂණය නොලැබුනොත් ඇය නීරක්තියට පත් වෙනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් උපත ලබන දරුවා තුළ විවිධ පෝෂණ ගැටලු දකින්න පුළුවනි. තාවකාලිකව මන්ද පෝෂණ තතවයේ පසු වෙන දරුවන් තව දුරටත් පෝෂණය පිළිබඳ ගැටලු නිසා උග්‍ර මන්ද පෝෂණ තත්වයට පත් වෙන ප්‍රවනතාවයන් ඇති වෙනවා. මන්දපෝෂණය කියන්නේ ජානගත රෝග තත්වයක් නොවෙයි. වයස අවුරුදු පහට අඩු දරුවන් ගැන අපි සලකා බැලුවොත් ඔවුන් වර්ධනය වෙන්නේ එකම රටාවකින්. ඒ වගේම එකම වේගයකින්.
ළමා මන්දපෝෂන තත්වය හඳුනා ගැනීම
දරුවෙකුට ශක්තිය හා පෝෂණය ලබා ගැනීමේදී ඇති වෙන අසමතුලිතතාවය සහ ඌනතාවය ළමා මන්දපෝෂණය යනුවෙන් හැඳින්වීම නිවැරදියි. ඒ වගේම දරුවෙකුගේ උසට සරිලන බර, වයසට සරිලන උස සහ වයසට සරිලන බර නොමැති වීම යන සාධක සලකා බලා එවැනි දරුවන් මන්දපෝෂණ තත්ත්වයට ගොදුරු වූ දරුවන් ලෙස හඳුන්වනවා.
දරුවෙකුගේ වර්ධන අවධි
- පූර්ව ප්‍රසව හෙවත් මවගේ කුස
- නවජ අවදිය උපතේ සිට දින 28 ක කාලය
- ළදරු අවදිය අවුරුදු 1 ක් දක්වා
- පෙර ළමා විය අවුරුදු 1 සිට 5 දක්වා
- පසු ළමා විය අවුරුදු 6 සිට 10 දක්වා
අද පවතින ආර්ථික අර්බූදය සමග ළමා මන්දපෝෂණ තත්වය ගැන වැඩියෙන් කතා කළත් 2021 වසරේ සංඛ්‍යා ලේඛණ අනුවත් ශ්‍රි ලංකාවේ දරුවන් අතරින් 11. 5 % ක් (උසට සරිලන බර නොමැති වීම හේතුවෙන්) නිදන්ගත මන්දපෝෂණ තත්වයෙන් පසු වෙනවා. දකුණු ආසියානු කලාපෙය්දී මේ තත්වය 30 % ක් ලෙස හඳුනා ගෙන තිබෙනවා.
පෝෂණය ලෙස අප සිතා සිටින්නේ කාබෝහයිඩ්‍රේට, ප්‍රෝටීන්, තන්තු සහ මේද පමණක් වුවත් නිසි පෝෂණයට ක්ෂුද්‍ර පෝෂක, ලවණ සහ වෙනත් විටමින් වර්ග සියල්ලම ඇතුළත් වෙනවා. නමුත් බොහෝ දෙනා දරුවන්ට ආහාර ලබා දීමේදී වැඩි උන්දුවක් දක්වන්නේ සත්සම්බන්ධව පමණයි. ඒ නිසාම ආර්ථිික ශක්තිය ඇති පවුල්වල දරුවන් අධි බර හෙවත් තරබාරු තත්වයට පත් වෙන අවස්ථාවන්ද තිබෙනවා.
මෑත කාලීන තත්වයන් ගැන කතා කලොත් ආහාර පිලිබඳව පැවැති ගැටලු අපි නොදැනීම මන්දපෝෂණ තත්වයට හේතු වුන බව කියන්න පුලුවනි. කොවිඩ් වසංගත තත්වය, ඉන්ධන පිළිබඳ ගැටලු සහ ඩොලර් අර්බූදය නිසා ඇති වුන ආර්ථික අවපාතය නිසා ආහාර ලබා ගැනීමේ ගැටලු ඇති වුණා. ආහාර හිඟය නිසා ගැබිණි මව්වරුන්ට වගේම දරුවන්ගේ පෝෂණය ලබා දීම ගැටලුවක් වුන බව රහසක් නොවේ. ඒ වගේම දරුවන් වෙනුවෙන් පැවැත්වුන ළමා සායන තාවකාලිකව විවෘත වුනේ නැහැ. එවැනි පසුබිමක් තුළ දරුවන් මන්දපෝෂණ තත්ත්වයට ගොදුරු වීමේ වැඩි ඉඩක් ඇති වුණා.
සත්ව ප්‍රෝටීන් වැනි ආහාර මිල අධික වුවත් ඒ වෙනුවට ශාක ප්‍රෝටීන (රනිල කුලයේ බෝංචි, මුං ඇට, සෝයා වැනි දේ) වැඩියෙන් ආහාරයට ගැනීමට පුළුවන්. බිත්තර වැනි දෙයක වුනත් මිල යම් පමණකින් ඉහළ වුනත් දරුවෙක් වෙනුවෙන් සෙසු සත්ව ප්‍රෝටීන්වලට සාපේක්ෂව පහසුවෙන් ලබා ගැනීමට හැකියාව තිබෙනවා.
ඒ වගේම මේද ලබා ගැනීම වෙනුවෙන් ආහාරයට පොල් තෙල් එකතු කිරීම වගේම තල, රටකජු වැනි දේවල් ආහාරයට ලබා දීමත් සුදුසුයි.
ආර්ථික තත්වය සමග අපි දරුවන්ගේ පෝෂණය ගැන වැඩි අවධානයක් දැක්වීම ඉතාම වැදගත්. ඒ නිසා පවතින තත්ත්වයට අනුගත වෙමින් අපට පහසුවෙන් ලබා ගත හැකි පෝෂණීය ආහාර ගැන වැඩි අවදානයක් දක්වන්න පුළුවනි. උදාහරණයක් විදිහට බොහෝ ගෙවතුවල අදටත් ගොටුකොළ, මුරුංඟා, කෙසෙල් වැනි ආහාර බෝග තිබෙනවා. බොහෝ දෙමව්පියන් ගෙවත්තේ තිබෙන කෙසෙල් කැන විකුණලා සොසේජස් පැකට් එකක් ගේනවා. එහෙම නැත්නම් ගෙදර ඇති කරන කිකිලියගේ බිත්තර විකුනලා බිස්කට් පැකට් එකක් ගේනවා. මේ තත්වයෙන් දැන් අපි වෙනස් වීමට අවශ්‍යයි. ඒ නිසා පහසුවෙන් ලබා ගත හැකි එළවළු, පළතුරු පවුලේ ආහාරයට යොදා ගැනීමට හැකියාව තිබෙනවා.
ආහාර බෝග සුලබ නොවන විට අපේ ගෙවත්තක පවුලට අවශ්‍ය දේ වගා කර ගැනීමට පුළුවනි. දැන් නාගරික නිවාස සංකීර්ණවල පවා කුඩා බෑග්වල බතල, මඤ්ඤොක්කා වැනි බෝග වගා කරනවා. ඒ වගේම මෙගා බෝතල්වල කංකුං, නිවිති, ගොටුකොළ වැනි පලා වර්ග වගා කරනවා. මේ විදිහට තමන්ට අවශ්‍ය ආහාර බෝග වගා කර ගැනීමෙන් ආාහර පිළිබඳව සුලබතාවයක් ඇති කර ගැනීම අපහසුවක් නොවෙයි.
දරුවෙකුට මුල් මාස හයෙන් පසුව මව්කිරි පමණක් ප්‍රමාණවත් නැහැ. එවැනි අවස්ථාවන්හි ආරම්භ කරන අතිරේක ආහාරවලදී පෝෂණය ගැන වැඩි අවධානයක් දැක්වීම වැදගත්. ඒ සඳහා කහ වර්ණය ඇති වට්ටක්කා, බතල වැනි අල වර්ග යොදා ගන්න පුළුවනි. ඇට වර්ග තැම්බීමේදී මුංඇට, කව්පි වර්ග එකට සංයෝග කර ගත් විට වැඩි පෝෂනයක් ලැබෙනවා. පලා වර්ග මලවන විට කලවම් පලා විදිහට වර්ග කීපයක්, එළවලු පිසින විට නිවිති , සාරන, පතෝල වැනි දේ පරිප්පු සමග සංයෝග කරන්න පුළුවනි. පාන් පිටි රොටියක් සකස් කරන විට ඊටම කැරට්, පලා වර්ග එකතු කර ගෙන පෝෂණීය රොටියක් හෝ පිට්ටු විදිහට සකස් කර ගන්න පුළුවනි.
පාසලක වුනත් ආර්ථික ක වශයෙන් විවිධ තරාතිරම්වල දරුවන් සිටිනවා. ඒ නිසා හැකියාවක් ඇති ශිෂ්‍යයන් සහ ඇතැම් ගුරුවරු විසින් අතිරේක බත් පාර්සලයක් රැගෙන ගොස් එක් ස්ථානයක තැබූ විට ආහාර අවශ්‍යතාවය ඇති දරුවන් එම ස්ථානයෙන් බත් පැකට් එක අරගෙන යනවා. එය දරුවාගේ ආත්ම ගරුත්වයට හානියක් සිදු වෙන්නෙත් නැහැ.
තවත් ප්‍රදේශවල පාසල් දරුවන් වෙනුවෙන් උදේ ආහාරය ප්‍රදේශයේ ස්වේච්චා සංවිධාන හෝ පුද්ගලයන්ගේ සහභාගීත්වයෙන් සකස් කරනවා. ඒ වෙනුවෙන් ප්‍රදේශයෙන්ම ලබා ගත් කොස්, බතල, මඤ්ඤොක්කා වැනි බෝග වර්ග යොදා ගෙන සාදා ගත් සමබර ආහාර සකස් කරනවා. මෙවැනි ව්‍යාපෘති “ ප්‍රජා මුළුතැන්ගෙය ” යන සංකල්ප වලින් හඳුන්වා තිබෙනවා.
- දරුණු මන්දපෝෂන තත්ත්වයෙන් පසු වෙන දරුවන්ට අතිරේක ආහාර වෙනුවෙන් ආධාර ලබා දීම
- තාවකාලික මන්දපෝෂණ තත්වය හඳුනා ගෙන මේ දරුවන් නිදන්ගත මන්දපෝෂණ තත්වයට පත් වීම වලක්වා ගැනීම.
- ආහාර ද්‍රව්‍ය සහන මුදලට ලබා ගැනීම සඳහා “ සහන සැල් ” පිහිටුවීම.
- සෞඛ්‍ය සම්පන්න කෙටි ආහාර හඳුන්වා දිම ( මුංඇට, සෝයා, බඩ ඉරිගු වැනි ධාන්‍ය බැද එයට පොල් හා සීනි ස්වල්පයක් එකතු කිරීම වැනි )
කොහොම වුනත් මේ වෙන විටත් අපේ රටේ දරුවන් මන්ද පෝෂණ තත්වයට පත් වී සිටින බැව් සහතිකයි. උග්‍ර මන්ද පෝෂණ තත්වයේ දරුවන් රෝහල්වල නේවාසික ප්‍රතිකාර ලබන බවටත් වාර්තාවන් තිබෙනවා. ඒ නිසා ළමා මන්දපෝෂණ තත්වය වලක්වා ගැනීම සඳහා අපේ අවධානය යොමු නොවුහොත් රටක්, ජාතියක් වශයෙන් අපට අනාගතයක් ගැන සිතන්නට අපහසු යුගයක් උදා වෙනු ඇති.
සටහන
පුන්‍යා චාන්දනී ද සිල්වා
Leave feedback about this