ඔක්තෝබර් 24, 2025
Kids accident Parent Pulse Article Featured Image
වැඩිහිටියන්ගේ සුව දිවිය සුව දිවිය

දරුවන්ගේ සුරක්ෂිතතාව වෙනුවෙන් අනතුරු වළක්වා ගනිමුද?

දරුවන් නොසිතූ ආකාරයේ අනතුරුවලට බඳුන් වීම නිරන්තර අපට අසන්නට දකින්නට සිදු වන දෙයක්. අපි අපේ දරුවන්ට සැම විටම සුරක්ෂිත පරිසරයක් ගොඩ නැගිය යුතු වන්නේ අනතුරු හේතුවෙන් අඳුරු විය හැකි ඔවුන්ගේ සුන්දර ජීවිත රැක ගැනීම උදෙසායි. මේ ලිපිය තුළින් සකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ ඇද වැටීම් සහ පිලිස්සීම් නිසා සිදු විය හැකි අනතුරු පිළිබඳවයි. කුඩා දරුවන් කෙරේ මව්පියන්ගේ අවධානය සැමවිටකම 100%ක්ම අවශ්‍ය බව මේ ලිපිය අවසානයේදී ඔබට වෙනදාටත් වඩා හොඳින් වැටහේවි. එසේම ඔබ සැමවිටම කළ යුත්තේ දරුවාගේ ක්‍රියාව නතර කිරීම නොව ඒ සඳහා දරුවාට අවශ්‍ය ආරක්‍ෂාව සැපයීම බව සිහි තබා ගත යුතුයි.

ඇඳ වැටීම බහුලව සිදුවන අනතුරකි. ඇතැම් විට ඇඳ, මේසය, නිවසේ තරප්පු පෙළ හෝ එසේත් නැතිනම් නිවසේ සඳලු තලයෙන් හෝ විය හැකියි. හැකි හැමවිටම දරුවා එම අනතුරින් වැළකෙන පරිදි කටයුතු කිරීමට මවක් කල්පනාකාරී විය යුතුය.

දරුවා ඇඳ මත තනිව තබා එන්නේ නම් ඔහු ඉතා ආරක්‍ෂාකාරී ලෙස තැබිය යුතුය. ඒත් ඔබට සුළු හෝ සැක සහිත බවක් තිබේ නම් ඇඳ පාමුල මෙට්ටයක් දැමීමට ඔබට හැකියි. මන්ද දරුවා ඇඳ වැටෙන්නේ එම මෙට්ටය මතට නිසා දරුණු ලෙස පොළවේ වැදීමක් සිදු නොවේ. තවද කුඩා දරුවන් සිටින ඔබ සැමවිටම ඇඳ කාමරයේ කොනක තැබිමට උනන්දුවන්න. එනම් ඇඳේ පහළ පසු බිත්තියේ මුල්ලට වන වන පරිදිය. එවිට ඇඳෙහි තුන් පැත්තක්ම බිත්ති දෙකෙන් හා ඇඳ විට්ටමමෙන් ආවරණය වේ. එය ඔබේ නිදන කාමරයේ ප්‍රියමනාප සැලැස්මට බාධාවක් වුවත් දරුවන්ගේ ආරක්‍ෂාව උදෙසා සහායක් ලබා දෙනු ඇත.

ඇතැම් දරුවන් පුටු ඇන්ද මත ඇවිදීමට ප්‍රියකරන අතර එය ඔවුන් සිය සිරුරේ සමබරතාවය මැන බැලීමට කරන යම් ක්‍රියාකාරකමක් විය හැකියි. එයට දරුවාට බැණ වැදීමට වඩා ඒ සඳහා දරුවාට උදව් වීම ඔබේ යුතුකමයි. නැතිනම් ඔබ නැති අවස්ථාවක හෝ ඔබෙන් සැඟවී ඒ අත්හදා බැලිම සිදු කර විශාල අනතුරක් කරගත හැකියි. දරුවාගේ අතින් අල්ලා ගනිමින් ඒ කාර්යයට සහාය ලබා දී නැවත වරක් එය සිදුකරන්නට අවශ්‍ය නම් ඔබ වෙත දැනුම් දෙන මෙන් දරුවාට අවවාද කරන්න.

බිළිඳුන් උස් ස්ථානවලින් ඇද වැටෙන අවස්ථා අප කෙතෙකුත් අසා ඇති. ඇතැම් විට මේසය මත තබා නැපි මාරු කිරීමට යන විටදී සුළු අතපසුවීමකින් දරුවා මේසය හෝ ඇඳ මතින් ඇඳ වැටිය හැකියි.

ඔබේ නිවසේ සඳුලු තලයේ සකසා ඇති යකඩ වැට අතර පවතින ඉඩ ප්‍රමාණය වැඩි නම් ඒ අතරට රෙදි පටි ආධාර කරගනිමින් හෝ ඒ හිඩැස් වසා දමන්න. නැතිනම් ඒ අතරින් දරුවා බිමට ඇඳ වැටිය හැකියි.

තරප්පු පේළියේ අත්වැට අතරින් වුවද දරුවා ඇද වැටිය හැකි බැවින් එවැනි ස්ථානවල තනිව රැඳී සිටීමට ඉඩ නොදෙන්න. සැමවිටම තරප්පු පෙළ අසල හෝ ජනෙල් අසල හෝ පුටු මේස අසළ කුඩා දරුවා තනිව දමා යෑම නුසුදුසුයි.

පිළිස්සුම් හේතුවෙන් ඇති විය හැකි අනතුරු ද බහුල වන අතරම එය ද අවධානය යොම කළ යුතු තත්ත්වයකි. පිළිස්සුම් අනතරුවලින් දරුවා බේරා ගැනීමට පහත කරුණු තරයේ සිහි තබාගන්න.

  • දැල්වූ පහන්, උඳුන්, ඉටිපන්දම් අසල දරුවාට රැදීමට අවස්ථාව ලබා නොදෙන්න
  • ගිනි පෙට්ටි ලයිටර් වැනි උපකරණ දරුවාගෙන් ඇත් කර තබන්න
  • කඩදාසී රෙදි වැනි ගිනි ඇවිලෙන සුලු දෑ උඳුන් සහ ඉටිපන්දම් අසලින් ඉවත් කරන්න
  • දරුවන් වෙත උණුසුම් කෑම බීම එකවර ගෙන යෑමෙන් වලකින්න
  • කෑම පිසින භාජනවල හැඩලය දරුවන්ට ඇදිය නොහැකි වන සේ තබන්න
  • උණු වතුරෙන් දරුවන් නෑවීමේදී මුලින්ම බේසමට ඇල් ජලය දමා එයට උණු ජලය දමන්න. ඇතැම් විට බේසමට උණු ජලය දමා තිබියදී දරුවා එයට අත දැමිම හෝ බැසීමට උත්සාහ කිරීමේදී පිළිස්සීමට ඉඩ ඇත
  • උණු වතුරෙන් දරුවන් නෑවීමේදී දරුවා නෑවීමට පෙර උෂ්ණත්වය පරීක්‍ෂා කරන්න.
  • හැකි සෑම විටම දරුවන්ට කපු ඇඳුම් ඇන්දවීමට පුරුදු වන්න
  • හදිසි ගින්නක් ඇතිවුවහොත් ඉන් ඉවත්වන ආකාරය පිළිබඳව දරුවා දැනුවත් නර තබන්න

දරුවන් අනතුරුවලින් ආරක්‍ෂා කර ගැනීමේ වගකිම බෝහෝවිට පැවරෙන්නේ දරුවා සමග වැඩි වේලාවක් ගත කරන පුද්ගලයාටයි. ඒ මව/පියා වන ඔබ, ආච්චී/සියා හෝ දරුවන් රැක බලාගන්නා වෙනත් අයෙක් විය හැකියි. ඒ සැවොම මෙවැනි අවස්ථා පිළිබඳව දැනුවත් කරන්න. අවධානය දිනා ගැනිමට දරුවා සිදුකරන ඇතැම් දේ අවදානම් සහගත විය හැකි නිසාම දරුවා සමග කාලය ගත කරන සෑම අයෙක්ම දරුවා වෙත උපරිම අවධානය ලබා දිය යුතුයි. අප නොසිතන අවස්ථාවන්වලදී නොසිතන ආකාරයේ අනතුරු දරුවන් වෙත ළඟා විය හැකි නිසාම දරුවා සමග සිටින ඕනෑම අයෙක් පළමු ස්ථානය ලබා දිය යුත්තේ දරුවා අනතුරුවලින් මුදවා ගැනීම සම්බන්ධවයි. අපි නොසිතන ආකාරයේ ඉතා කුඩා දෙයකින් ජීවිතය අවදානම් තත්ත්වයකට වුවත් පත් විය හැකි බැවින් ඔබේ දරුවා ඔබේ දෑස මෙන් රැක ගැනීමට සැමවිටම පියවර ගන්න.


Leave feedback about this

  • Quality