ඔක්තෝබර් 23, 2025
Kids Accident Parent Pulse Article Featured Image
දරුවන්ගේ සුව දිවිය සුව දිවිය

දරුවන්ට සිදු විය හැකි අපි නොහිතන අනතුරු

දරුවෙකුගේ ලෝකය විස්මිත සොයාගැනීම්වලින් පිරුණු ගමනකි. එහෙත්, මේ ගමන් මගේ අනතුරුදායක අවස්ථා බොහොමයක් සැඟවී තිබිය හැකියි. නිවසේදී සහ එළිමහනේදී දරුවන්ට සිදුවිය හැකි අනතුරු පිළිබඳව මවක් ලෙස ඔබ දැනුවත් වීමෙන්, එම අනතුරු බොහොමයක් වළක්වා ගැනීමට ඔබට හැකියි. එසේම දරුවන්ට සිදුවන අනතුරු අතරින් බහුතරයක් වැළැක්විය හැකි ඒවා වන අතර, එය ඔබගේ සුපරීක්ෂාකාරී අවධානය මත රඳා පවතී.

වැටීම් යනු දරුවන්ට සිදුවන අනතුරු අතර ප්‍රමුඛතම අනතුර ලෙස හැදින්වීම නිවැරදියි. විශේෂයෙන්ම බඩගාන සහ ඇවිදීමට ඉගෙන ගන්නා කුඩා දරුවන්ට වැටීම් නිසා අනතුරට පත්වීම බහුලය. දරුවන් වැටීම නිසා අනතුරට ලක්විය හැකි අවස්ථා සහ ස්ථාන ආරක්ෂිත කිරීම දෙමාපියන් ලෙස අපේ වගකීමකි.

  • පඩිපෙළෙහි ඉහළ සහ පහළ කොටස්වල ආරක්ෂිත ගේට්ටු (Safety Gates) සවි කරන්න.
  • දරුවෙකුට රිංගා යා හැකි ආකාරයේ හිඩැස් ඇතිනම් ඒවාට යම් විසදුමක් යොදන තුරුවත් ජනෙල් විවෘත කිරීම සීමා කරන්න. ජනෙල් සහ බැල්කනි අසල පුටු, පෙට්ටි වැනි නැඟිය හැකි ගෘහ භාණ්ඩ නොතබන්න.
  • බිම ඇතිරූ ලිස්සන සුළු රෙදි (Rugs) ඉවත් කරන්න. ජලය හෝ ආහාර වැටී ඇත්නම් වහාම පිරිසිදු කරන්න. සෙල්ලම් බඩු සහ වෙනත් බාධා ඉවත් කර තබන්න.
  • පහසුවෙන් පෙරළිය හැකි රාක්ක, ඇඳුම් අල්මාරි සහ රූපවාහිනී ස්ථීර ලෙස බිත්තියට සවි කරන්න.
  • ළදරුවා ඇඳේ සිටින විට ඇඳෙහි වැටවල් (Bed-rails) ඉහළට ඔසවා තබන්න. කිසිවිටෙක දරුවා උස් මතුපිටක තනි නොකරන්න.

උණුසුම් දියර, ගිනි හෝ උණුසුම් උපකරණ නිසා සිදුවන අනතුරු බරපතල විය හැකියි.

  • මුළුතැන්ගෙය – දරුවන් කුස්සියට ඇතුළු වීම වැළැක්වීමට ආරක්ෂිත ගේට්ටුවක් යොදන්න. ලිප මත ඇති භාජනවල මිටවල් හැමවිටම අනෙක් පසට හරවා තබන්න.
  • උණුසුම් දියර – උණු තේ, කෝපි හෝ සුප් දරුවා ළඟ තබා නොගන්න. දරුවා තුරුළු කරගෙන සිටින විට උණුසුම් දියර වර්ග පානය කිරීමෙන් වළකින්න. එසේම මේසයට රෙදි දමා ඇත්නම් එය ඇදීමට දරුවා පෙළඹීමෙන් ඒ මත ඇති උණු දියර දරුවාගේ ඇඟට වැටීමට ඉඩ ඇති නිසා ඒ සඳහා වෙනත් විසදුමක් යොදන්න.
  • ජලය – නෑමට ජලය පිළියෙල කිරීමේදී ජලයේ උෂ්ණත්වය වැලමිටෙන් පරීක්ෂා කරන්න. උණුසුම් ජල ටැප් පද්ධතියේ උෂ්ණත්වය අඩු මට්ටමක තබා ගන්න. බේසමට දමනවා නම් උණු ජලයට පෙර ඇල් ජලය දමා එයට උණු ජලය දැමීමට මතක තබා ගන්න. මේ සියල්ල දරුවා ඔබෙන් ඈත් කර සිදුකරන්න.
  • විදුලි උපකරණ – අයන්, හෙයාර් ඩ්‍රයර්, ටෝස්ටර වැනි උපකරණ භාවිතයෙන් පසු වහාම විසන්ධි කර, දරුවන්ට ළඟා විය නොහැකි ලෙස ගබඩා කරන්න.
  • ගින්දර – ගිනිපෙට්ටි, ලයිටර් සහ ඉටිපන්දම් දරුවන්ට නොපෙනෙන ලෙස අගුළු දමා තබන්න. නිවසේ දුම් අනාවරක (Smoke Detectors) සවි කරන්න.
  • ඖෂධ – සියලුම ඖෂධ (විටමින් ඇතුළුව) අගුළු දැමූ කැබිනට්වල හෝ දරුවන්ට ළඟා විය නොහැකි ඉහළ ස්ථානවල තබන්න.
  • ගෘහස්ථ රසායනික – පිරිසිදු කිරීමේ ද්‍රව්‍ය (බ්ලීච්, සබන් දියර), කෘමිනාශක, තීන්ත වැනි දේ මුල් ඇසුරුම්වලම තබා අගුළු දමන්න.
  • බැටරි – ඔරලෝසු, සෙල්ලම් බඩු සහ වෙනත් ඉලෙක්ට්‍රොනික උපකරණවල ඇති බොත්තම් බැටරි (Button Batteries) දරුවාට ගැනීමට නොහැකි ලෙස සුරක්ෂිත කරන්න.

යම් විෂ වීමක් සිදු වුවහොත් වමනය කරවීමට උත්සාහ නොකරන්න. වහාම වෛද්‍ය උපදෙස් ලබා ගන්න.

කුඩා දරුවන් වයස අවුරුදු 3 වන තෙක් ඕනෑම දෙයක් මුඛයට දමාගැනීමට නැඹුරු වන නිසා හුස්ම හිරවීමේ අවදානම වැඩියි.

  • සෙල්ලම් බඩුවල කුඩා කොටස්, කාසි, බොත්තම්, ඇට වර්ග, කජු, මිදි වැනි දේ දරුවා ළඟට නොදෙන්න.
  • සෙල්ලම් කරන අතරතුර කෑම දීමෙන් වළකින්න. ආහාර කුඩා කැබලිවලට කපා දෙන්න.
  • ප්ලාස්ටික් බෑග්, දිගු ලණු, තිර රෙදි වල ලණු දරුවාගේ බෙල්ලට පැටලීමට ඉඩ නොතබන්න.
  • ළදරුවන් නිදි කරවීමේදී ඇඳේ කොට්ට, බර ඇතිරිලි හෝ මෘදු සෙල්ලම් බඩු නොතබන්න. ළදරුවා සැමවිටම පිටුපසට හරවා නිදි කරවන්න.

දරුවෙකුට දියේ ගිලීමට අවශ්‍ය වන්නේ ඉතා සුළු ජල ප්‍රමාණයකි.

  • නාන තටාකයේ හෝ බේසමේ දරුවා තනි නොකරන්න. නෑමෙන් පසු වහාම ටබ් එකේ ජලය ඉවත් කරන්න.
  • වතුර බාල්දි, විශාල භාජන වැනි ජලය පිර වූ බහාලුම් දරුවන්ට ළඟා විය නොහැකි ලෙස තබන්න.
  • නිවසේ පිහිනුම් තටාකයක් ඇත්නම් එය වටා ආරක්ෂිත වැටක් හෝ ආවරණයක් තිබිය යුතු අතර, දරුවන් තනි නොකළ යුතුය.
  • දරුවන් විවෘත ජල ප්‍රදේශ (ළිං, ඇළ දොළ, වැව්) අසල සිටින විට වැඩිහිටි අධීක්ෂණය අනිවාර්ය කරන්න.

දරුවන් සමඟ පාරේ ගමන් කිරීමේදී ඔබගේ අවධානය අත්‍යවශ්‍යයි.

  • පාරේදී දරුවාගේ අතින් අල්ලාගෙන සිටින්න. ඔවුන්ට තනියම දුවන්නට ඉඩ නොදෙන්න. මාර්ග නීති ගැන කියා දෙන්න.
  • සෑම විටම වයසට සහ බරට සුදුසු ළමා ආරක්ෂිත ආසන (Car Seats) භාවිත කරන්න.
  • පාර අසල හෝ වාහන ගමන් කරන ස්ථානවල සෙල්ලම් කිරීමට ඉඩ නොදෙන්න.

අනතුරු වළක්වා ගැනීමට ඇති ප්‍රධානතම ක්‍රමය නම් සැමවිටම දරුවන් කෙරෙහි සමීප අවධානයක් තබා ගැනීමයි. විශේෂයෙන්ම ආහාර ගන්නා විට, නාන විට සහ සෙල්ලම් කරන විට ඔබේ අවධානය යොමු විය යුතුමය. ඔබේ නිවස දරුවන්ට සුරක්ෂිත තෝතැන්නක් බවට පත් කරන්න. දරුවාගේ වර්ධනයත් සමඟ වෙනස් වන අවදානම් ගැන නිරන්තරයෙන් දැනුවත් වන්න. ඔබ මවක් ලෙස ඔබට මූලික ප්‍රථමාධාර දැනුම තිබීම අත්‍යවශ්‍යයි. හුස්ම හිරවීමකදී, පිළිස්සීමකදී හෝ වැටීමකදී කළ යුතු දේ දැන සිටීමෙන් දරුවෙකුගේ ජීවිතය බේරා ගත හැකියි. හදිසි අනතුරු බොහෝ විට සිදුවන්නේ වැඩිහිටියන්ගේ සුළු නොසැලකිලිමත්කම නිසාය. දුරකථනයෙන් කතා කිරීම හෝ වෙනත් වැඩක යෙදීම නිසා දරුවා කෙරෙහි අවධානය අඩාල වීමට ඉඩ නොදෙන්න. ඔබේ ආදරය සහ සුපරීක්ෂාකාරීත්වය දරුවාගේ හොඳම ආරක්ෂාවයි.


දැනුවත් කිරීම

ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මිය
සූතිකා පුහුණු හෙද නිළධාරිනි
නවජ සූති දැඩි සත්කාර ඒකකය
පළාත් මහ රෝහල, කුරුණෑගල

Leave feedback about this

  • Quality