පවුලක අත්තිවාරම ශක්තිමත් කරන, දරුවෙකුගේ ජීවිතයේ ලැබෙන පළමු සහ අතිශය වැදගත් සබඳතාව වන්නේ සහෝදර බැඳීමයි. මෙම සබඳතාව ඔවුන්ගේ චිත්තවේගීය යහපැවැත්ම, සමාජ කුසලතා සහ පෞරුෂ වර්ධනයට සෘජුවම බලපායි. ඇතැම් විට සහයෝගයෙන්, තවත් විටෙක ගැටුම්වලින් පිරි මෙම බැඳීම පෝෂණය කර, ශක්තිමත් මිත්‍රත්වයක් බවට පත් කිරීමේ ප්‍රධාන වගකීම ඇත්තේ දෙමාපියන්ට ය.
සහෝදර සහෝදරියන් අතර ස්ථිරසාර, සෙනෙහසින් පිරි බැඳීමක් ගොඩනැඟීම සඳහා දෙමාපියන් ලෙස ඔබට ගත හැකි ප්‍රායෝගික ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් වීම වඩාත් වැදගත් වන්නේ ඒ නිසයි.
දරුවන් එකිනෙකාට සලකන ආකාරය ඔවුන් ඉගෙන ගන්නේ දෙමාපියන්ගෙනි. ඔබ, ඔබේ සහකරුට/සහකාරියට සහ දරුවන්ට සෙනෙහසින් සහ ගෞරවයෙන් සලකන්නේ නම්, දරුවන් ද එම ආදර්ශය අනුගමනය කරයි.
- විවෘත සන්නිවේදනය
දරුවන් ඉදිරියේ ඔබ සහකරු සමඟ සහ එකිනෙකා සමඟ කාරුණිකව අදහස් හුවමාරු කර ගන්න. දරුවන්ට නිතිපතා වැළඳ ගැනීම් සහ ආදරණීය වචන හරහා ඔබේ සෙනෙහස පෙන්වන්න.
- එකට සිනාසීම
සිනාසීම සහ විනෝද වීම ඔක්සිටෝසින් (බැඳීම ඇති කරන හෝමෝනය) මුදා හරින බව පර්යේෂණවලින් පෙන්වා දී ඇත. එදිනෙදා චර්යාවන්ට, සෙල්ලම් කිරීමට හෝ ගෙදර දොරේ වැඩවලට සිනහව මුසු කිරීමෙන් ඔවුන් අතර බැඳීම ශක්තිමත් කළ හැකිය.
සහෝදර ගැටුම් සම්පූර්ණයෙන්ම වැළැක්විය නොහැක. එහෙත්, මෙම ගැටුම් අත්‍යවශ්‍ය සමාජ කුසලතා ඉගෙන ගැනීමට අවස්ථාවන් බවට පත් කළ හැකිය.
- පැති ගැනීමෙන් වළකින්න
දරුවන් රණ්ඩු වන විට, එක් දරුවෙකුට පමණක් චෝදනා කිරීමෙන් වළකින්න. ඔයා වැඩිමලා, ඔයා තේරුම් ගන්න ඕනේ හෝ නංගිට/මල්ලිට සෙල්ලම් කරන්න දෙන්න වැනි ප්‍රකාශවලින් වැඩිමහල් දරුවා තුළ අප්‍රසාදයක් ඇති විය හැකි අතර, ඔවුන්ට පිටස්තරයෙකු සේ හැඟී යාමට පුළුවන.
- ගැටුම විසඳා ගැනීමට ඔවුන්ට ඉඩ දෙන්න
නිරන්තර මැදිහත් වීමෙන් දරුවන්ට ගැටළු විසඳීමේ හැකියාව අහිමි වේ. ඔවුන්ට සාධාරණව සටන් කරන ආකාරය (කෑ නොගසා, අපහාස නොකර කතා කිරීම) උගන්වා, ඔවුන්ගේ ගැටුම් තනිවම විසඳා ගැනීමට දිරිමත් කරන්න. අවශ්‍ය නම් පමණක් මඟ පෙන්වන්නෙකු ලෙස කටයුතු කරන්න.
- සමාව ගැනීමට හා අලුත් කිරීමට උගන්වන්න
ගැටුමකින් පසු සමාව ගෙන සබඳතාව යළි අලුත් කර ගන්නේ කෙසේදැයි උගන්වන්න.
සහෝදර සබඳතාවල ඇති වන විශාලතම බාධකයක් වන්නේ දෙමාපියන් එක් දරුවෙකුට වඩා වැඩිපුර ප්‍රිය කරන බවට දරුවන්ට හැඟී යාමයි.
- සෑම දරුවෙකුගේම සුවිශේෂත්වය අගය කරන්න
සෑම දරුවෙකුගේම සුවිශේෂී ගුණාංග සහ දක්ෂතා වෙන වෙනම අගය කරන්න. ඔයා අයියා/අක්කා වගේ දක්ෂ නැහැ වැනි සංසන්දනාත්මක ප්‍රකාශ කිසිවිටෙකත් භාවිතා නොකරන්න.
- අවධානය සමසේ ලබා දෙන්න
එක් එක් දරුවා සමඟ දිනපතාම තනිව කාලය ගත කිරීමට වෙන් කරන්න. මෙය විනාඩි දහයක කෙටි කාලයක් වුවද, එම කාලය තුළ ඔබේ පූර්ණ අවධානය එම දරුවාට පමණක් ලබා දෙන්න. මෙයින් ඔවුන්ට ලැබෙන සෙනෙහස සමබර බවට හැඟීමක් ඇති වේ.
- ප්‍රශංසා කිරීමේදී සමබර වන්න
එක් දරුවෙකුට ප්‍රශංසා කරන විට, එය තරඟයක් බවට පත් නොකර, අනෙක් දරුවාගේ යහපත් ගුණාංගයක් ද එකවර අගය කරන්න. දුව, ඔයාගේ කාමරේ හරිම පිළිවෙලයි. පුතා ඔයා ඉස්කෝලේ වැඩ ඉක්මනට ඉවර කළ එක හරිම හොඳයි ලෙස දරුවන් දෙදෙනාම අගයන්න.
දරුවන්ව තනි තනිව තරඟකාරීත්වයට යොමු කරනවාට වඩා, එකට වැඩ කිරීම සහ පොදු අරමුණු වෙනුවෙන් කටයුතු කිරීම දිරිමත් කරන්න.
- පොදු ක්‍රියාකාරකම්
දෙදෙනාම එකට විනෝද විය හැකි ක්‍රියාකාරකම් සොයා දෙන්න. කේක් හැදීම, පවුලේ සෙල්ලම් බඩු එකතු කිරීම, පොදු ක්‍රීඩාවක් කිරීම වැනි දේ එක්ව කරන්න අවස්ථාව සකසා දෙන්න.
- කණ්ඩායම් ව්‍යාපෘති
ගෙදර දොරේ වැඩ කණ්ඩායම් ව්‍යාපෘති ලෙස පවරන්න. මිදුල පිරිසිදු කිරීම, මේසය සැකසීම වැනි කාර්යයන් වෙත යොමු කරන්න. ඉන්පසු සාර්ථකත්වයට දෙදෙනාටම ප්‍රශංසා කරන්න.
- සහෝදරයෙකු වෙනුවෙන් පෙනී සිටීම
එක් දරුවෙකු ක්‍රීඩාවකදී හෝ වෙනත් අවස්ථාවක සාර්ථක වන විට අනෙක් දරුවාට සුබ පතන්නට අනෙක් දරුවන්ට දිරිගැන්වීමට පුරුදු කරන්න. මෙය ඔවුන්ට එකිනෙකාගේ ජයග්‍රහණ අගය කිරීමට උගන්වයි.
පවුලේ පොදු මතකයන් සහ චාරිත්‍ර වාරිත්‍ර ඔවුන්ගේ බැඳීම ශක්තිමත් කරන කේන්ද්‍රය වේ.
- පවුලේ කතන්දර
ඔවුන්ගේ ළමා කාලයේ එකට කළ විහිළු, සිදුවීම් හෝ ජයග්‍රහණ ගැන කතන්දර නිතර කියන්න. මෙය ඔවුන්ගේ අතීත මතක නැවත නැවත මතක් කිරීමට හය වනු ඇත.
- එකට කෑම වේල
හැකි සෑම විටම පවුලේ අය එකට වාඩි වී කෑම ගැනීම අත්‍යවශ්‍ය චාරිත්‍රයකි. මෙහිදී සෑම දරුවෙකුටම කතා කිරීමට අවස්ථාව ලැබෙන පරිදි පරිසරය සකසන්න.
- සුබ රාත්‍රියක් චාරිත්‍රය
නින්දට යාමට පෙර එකිනෙකාට සුබ රාත්‍රියක් පවසා ආදරය ප්‍රකාශ කිරීමට දිරිමත් කිරීම වැනි කුඩා චාරිත්‍රයක් වුවද සෙනෙහස වර්ධනය කරයි.
අවසාන වශයෙන්, දෙමාපියන් ලෙස ඔබගේ කාර්යය වන්නේ සහෝදර බැඳීම නිර්මාණය කිරීම නොව, එම බැඳීම වර්ධනය වීමට අවශ්‍ය ආරක්ෂිත, ආදරණීය පරිසරය නිර්මාණය කිරීමයි. ඔබේ දරුවන්ට ඔවුන්ගේ සබඳතාවට අවශ්‍ය අන්තර් පුද්ගල කුසලතා සහ අවස්ථාවන් ලබා දෙන්න. එවිට ඔවුන්ට ජීවිත කාලය පුරාම එකිනෙකාට ශක්තිමත්ව සිටීමට හැකි වනු ඇත.
