දරුවෙකුගේ ජීවිතයේ ක්‍රීඩාවට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. එය හුදෙක් ශාරීරික සුවතාවයට පමණක් සීමා නොවී, මානසික, සමාජීය හා චිත්තවේගීය වර්ධනයට අත්‍යවශ්‍ය කරුණකි. කෙසේ වෙතත්, දරුවෙකු ක්‍රීඩාවකට යොමු කිරීමේදී දෙමාපියන් ලෙස අප ඉතාමත් කල්පනාකාරී විය යුතුය. දරුවාගේ අනාගත සාර්ථකත්වය සහ ක්‍රීඩාව කෙරෙහි ඇති ආදරය රැඳී ඇත්තේ අප ගන්නා නිවැරදි තීරණ මතය. ක්‍රීඩාවේ යෙදෙන දරුවෙකු සම්බන්ධව මව්පියන් ලෙස ඔබ සලකා බැලිය යුතු වැදගත්ම කරුණු 10ක් ගැන අපි කතා කරමු.
දරුවෙකු ක්‍රීඩාවකට යොමු කිරීමේදී සැලකිලිමත් විය යුතු පළමු හා වැදගත්ම කරුණ වන්නේ දරුවාගේ කැමැත්තයි. බොහෝ දෙමාපියන් තම ඉටු නොවූ සිහින හෝ සමාජයේ ජනප්‍රියතාව මත දරුවන් ක්‍රීඩා තෝරාගැනීමට පොළඹවයි. එය එසේ නොකොට දරුවාට ක්‍රීඩා කිහිපයක් අත්හදා බැලීමට ඉඩ දී, ඔවුන් වඩාත් ප්‍රිය කරන සහ සතුටින් නිරත වන ක්‍රීඩාව තෝරා ගැනීමට ඉඩ දීම වැදගත් වේ. මන්ද දරුවෙකු ක්‍රීඩාව දිගටම කරගෙන යන්නේ එයින් සතුටක් ලබන්නේ නම් පමණි.
විවිධ ක්‍රීඩා සඳහා දරුවන්ට අවශ්‍ය ශාරීරික හා මානසික පරිණතභාවය වෙනස් වේ. කුඩා දරුවන්ට එනම්
- වයස අවුරුදු 3 – 6 දරුවන්ට මූලික චලන කුසලතා වර්ධනය වන දුවීම, පැනීම, විසි කිරීම ක්‍රීඩා වඩාත් සුදුසුය
- අවුරුදු 6 – 10 වයස් කාණ්ඩවල දරුවන්ට ක්‍රීඩාවලට හුරු වීම, නීති රීති තේරුම් ගැනීම ආරම්භ කළ හැකියි
- අවුරුදු 10ට පසු විශේෂිත, තරඟකාරී ක්‍රීඩාවකට යොමු වීමට ශාරීරිකව හා මානසිකව සූදානම් වේ.
පුහුණුකරුවා යනු දරුවාට ක්‍රීඩාව පිළිබඳ දැනුම පමණක් නොව, ජීවිතය පිළිබඳ ආකල්ප ද කියා දෙන දෙවන ගුරුවරයායි.
- පුහුණුකරු අදාළ ක්‍රීඩාව පිළිබඳ නිසි අධ්‍යාපනයක් සහ පුහුණුවක් ලබා තිබිය යුතු අතර, ළමා මනෝවිද්‍යාව පිළිබඳ අවබෝධයක් තිබිය යුතුය.
- පුහුණුකරු දරුවන් සමඟ කටයුතු කරන ආකාරය, ධනාත්මකව ඔවුන් දිරිමත් කරන ආකාරය සහ විනය පවත්වා ගෙන යන ආකාරය පිළිබඳව මව්පියන් ලෙස ඔබ විමසිලිමත් විය යුතුය. දරුවාට ගරු කරන සහ ආරක්ෂිත පරිසරයක් සපයන පුහුණුකරුවෙකු තෝරන්න.
- ක්‍රීඩාවක නිරත වීමේදී තුවාල වීම සාමාන්‍ය දෙයක් වුවද, අනතුරු අවම කිරීම දෙමාපියන්ගේ වගකීමකි. දරුවාට අවශ්‍ය ආරක්ෂිත ආම්පන්න එනම් හෙල්මට්, ගාඩ්, නිවැරදි සපත්තු ආදිය අනිවාර්යයෙන්ම ලබා දෙන්න.
- ක්‍රීඩා කරන ස්ථානය ආරක්ෂිතද, නිසි ආලෝකකරණය, පිරිසිදු බව සහ අවශ්‍ය ප්‍රථමාධාර පහසුකම් තිබේද යන්න පරීක්ෂා කරන්න.
- පුහුණුකරු මඟින් සෑම සැසියකටම පෙර නිසි පරිදි වෝම් අප් සහ වොම් ඩවුන් (Warm-up and Cool-down) ව්‍යායාම සිදු කරන්නේද යන්න විමසා බලන්න.
දරුවෙකුගේ අධ්‍යාපනයට බාධාවක් වන තරමට ක්‍රීඩාවට යොමු කිරීම නුසුදුසුය. දරුවාට විවේක ගැනීමට, පාසල් වැඩ කිරීමට සහ සමාජගත වීමට ප්‍රමාණවත් කාලයක් තිබිය යුතුය. පුහුණුවීම් කාලසටහන දරුවාගේ පාසල් කටයුතුවලට සහ පවුලේ අවශ්‍යතාවලට බාධාවක් නොවන ලෙස සකස් කිරීමත් ක්‍රීඩාව කොතරම් වැදගත් වුවත්, අධ්‍යාපනයට මුල් තැන දිය යුතු බව දරුවාට අවබෝධ කිරීමත් ක්‍රීඩාව යනු අධ්‍යාපනයට අනුපූරකයක් මිස ආදේශකයක් නොවන බවත් දරුවන්ට අවබෝධ කරවිය යුතුය.
ක්‍රියාශීලී දරුවෙකුට සාමාන්‍ය දරුවෙකුට වඩා වැඩි කැලරි සහ පෝෂණ අවශ්‍යතා ඇත.
- ප්‍රෝටීන්, සංකීර්ණ කාබෝහයිඩ්‍රේට සහ විටමින් ඇතුළත් සමබර ආහාර වේලක් දරුවාට ලබා දෙන්න. පුහුණුවීම්වලට පෙර සහ පසු සුදුසු ආහාර මොනවාදැයි පුහුණුකරුගෙන් විමසන්න.
- ජලය ප්‍රමාණවත් ලෙස පානය කිරීම අත්‍යවශ්‍යයි. පුහුණුවීම් අතරතුර ජලය හෝ සුදුසු පාන වර්ග නිරන්තරයෙන් ලබා දීමට වග බලා ගන්න.
- නිසි විවේකය සහ වයසට අනුව ප්‍රමාණවත් නින්ද නොලැබීමෙන් කාර්ය සාධනය අඩු වන නිසා ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්න.
ක්‍රීඩාවලට විශාල මුදලක් වැය විය හැකිය. පුහුණු ගාස්තු, උපකරණ, ප්‍රවාහනය සහ තරඟ ගාස්තු යනාදිය පිළිබඳව සැලසුමක් තිබිය යුතුය. තෝරා ගන්නා ක්‍රීඩාවේ සමස්ත පිරිවැය කල්තියා තක්සේරු කර අයවැයක් සකස් කරන්න. වෙළඳ නාම සහ විලාසිතා පසුපස යාම වෙනුවට, ගුණාත්මක සහ ආරක්ෂිත උපකරණ පමණක් මිලදී ගැනීමට ප්‍රමුඛත්වය දෙන්න.
තරඟකාරී ක්‍රීඩා දරුවාට විශාල මානසික පීඩනයක් ඇති කළ හැකිය. එම නිසා සැමවිටම ජයග්‍රහණ හෝ පරාජයන් මත නොව, දරුවාගේ උත්සාහය, කැපවීම සහ මනා ක්‍රීඩා කෞෂල්‍යය අගය කරන්න. පරාජය යනු ඉගෙනීමේ අවස්ථාවක් බවත්, වැරදි සිදු කිරීම සාමාන්‍ය දෙයක් බවත් දරුවාට කියා දෙන්න. ඔවුන්ගේ ආත්ම විශ්වාසය රැක ගැනීමට උදව් කරන්න.
ඔබේ දරුවා ක්‍රීඩාවේ නිරත වන විට ඔබ හැසිරෙන ආකාරය ඔවුන්ට බලපායි. පුහුණුවීම් සහ තරඟ වලදී ධනාත්මකව දරුවා දිරිමත් කරන්න. පුහුණුකරුගේ තීරණ ප්‍රසිද්ධියේ විවේචනය කිරීම වගේම දරුවාට තරඟයේදී අනවශ්‍ය උපදෙස් ලබා දීමෙන්ද වැළකී සිටින්න. ඔවුන්ට තීරණ ගැනීමට පුහුණුකරුට සහ කණ්ඩායමට ඉඩ දෙන්න.
වසර පුරාම එකම ක්‍රීඩාවේ දිගින් දිගටම නිරත වීම නිසා දරුවන් ඉක්මනින් වෙහෙසට පත් විය හැකි අතර ක්‍රීඩාව කෙරෙහි ඇති උනන්දුව නැති වී යා හැකිය. ප්‍රධාන ක්‍රීඩාවෙන් මාස 2 – 3 ක විවේක කාලයක් ලබා දී වෙනත් ක්‍රීඩා හෝ විනෝදාංශවල නිරත වීමට ඉඩ දෙන්න.
දරුවෙකු ක්‍රීඩාවකට යොමු කිරීම යනු ඔවුන්ට ජීවිතයේ වටිනාම පාඩම් වන කණ්ඩායම් හැඟීම, විනය, අභියෝග ජය ගැනීම, නායකත්වය වැනි දේ කියා දීමයි. මව්පියන් ලෙස ඔබ තීරණ ගත යුත්තේ ඔබේ දරුවාගේ සතුට, ආරක්ෂාව සහ ශාරීරික මානසික සමබරතාටෙ ප්‍රමුඛත්වය දෙමිනි. සාර්ථකත්වය යනු ලකුණු පුවරුවේ ඇති අංකය නොව. දරුවන්ගේ මුහුණේ ඇති සිනහව බව මතක තබා ගන්න.
