විශේෂ අවශ්‍යතා සහිත දරුවෙකු පවුලකට එක්වීම යනු මුළු පවුල් ඒකකයේම ජීවන රටාව, ප්‍රමුඛතා සහ චිත්තවේගීය වටපිටාව සම්පූර්ණයෙන්ම වෙනස් වීමකි. මවගේ කැපවීම අතිමහත් වුවද, පියා, සහෝදර සහෝදරියන් සහ සමස්ත පවුල් ඒකකයම මෙම ගමනේදී විවිධ අභියෝග හා පීඩාවන්ට මුහුණ දෙති. සමබර, ශක්තිමත් සහ සෞඛ්‍ය සම්පන්න පවුලක් පවත්වාගෙන යාම සඳහා, සියලුම සාමාජිකයන්ට අවධානය යොමු කිරීම, ඔවුන්ගේ හැඟීම් පිළිගැනීම සහ ඔවුන්ට අවශ්‍ය සහයෝගය ලබා දීම අත්‍යවශ්‍ය වේ.
විශේෂ අවශ්‍යතා සහිත දරුවෙකු ඇති දැඩි කරන විවාහක යුවළක් දැඩි ආතතියට ලක්වන අතර, ඔවුන්ගේ සම්බන්ධතාවය බිඳී යාමේ අවදානම සාමාන්‍ය අනුපාතයට වඩා වැඩිය. දරුවාගේ අවශ්‍යතා වෙනුවෙන් අඹුසැමියන් දෙදෙනා අතර ඇති සමීප සබඳතා බොහෝ විට නොසලකා හැරේ.
- දිනකට විනාඩි 10ක් වුවද, දරුවා ගැන කතා නොකරන යුවළක් ලෙස පමණක් කාලය ගත කිරීමට වග බලා ගන්න.
- ආතතිය ඉහළ මට්ටමක පවතින විට, සුළු කරුණු පවා විශාල ගැටුම් බවට පත් විය හැකිය. ඔබගේ ගැටලු දරුවාගේ අවශ්‍යතාවලින් වෙන වෙනම විසඳා ගැනීමට ඉගෙන ගන්න.
- මවට/පියාට දැනෙන විඩාව සහ ආතතිය පිළිගැනීම සහ අන්‍යෝන්‍ය වශයෙන් සහයෝගය දැක්වීම ඉතා වැදගත්ය. මම දන්නවා ඔයා අද දවස පුරාම කොච්චර මහන්සි වුණාද කියලා වැනි සරල වාක්‍යයක් විශාල වෙනසක් ඇති කරයි.
- ජීවිතය වෙනස් වුවද, ඔබේ පවුල එක්සත් කරන්නේ කුමක්ද යන්න මතක තබා ගන්න. එකට ප්‍රශංසා කිරීම, එකට විනෝද වීම වැනි දේ කෙරෙහි අවධානය යොමු කරන්න.
බොහෝ විට පියාට පැවරෙන්නේ පවුලේ ආර්ථික බර දැරීම සහ බාහිර අභියෝග සමඟ කටයුතු කිරීමේ භූමිකාවයි. විශේෂ අවශ්‍යතා සහිත ඔබේ දරුවා නිහඬව දුක් විඳින්නෙකු විය හැකි අතර, ඔහුගේ චිත්තවේගීය අවශ්‍යතා බොහෝ විට නොසලකා හැරේ. එවැනි දරුවෙකුගේ මව/පියා ලෙස ඔබට පැවරෙන වගකීම් රාශියක් ඇති බව අමතක නොකරන්න.
- මව සහ පියා යන දෙදෙනාම තම බිය, බලාපොරොත්තු සහ කලකිරීම් විවෘතව සාකච්ඡා කළ යුතුය. රාත්‍රියේ හෝ නිස්කලංක මොහොතක කතාබහට කාලය වෙන් කරන්න.
- මුදල් කළමනාකරණය, චිකිත්සක සැසිවලට යාම, ගෙදර දොරේ වැඩ සහ අනෙකුත් දරුවන්ගේ කටයුතු වැනි වගකීම් සමතුලිතව බෙදා ගන්න. දරුවා සමඟ විනෝදජනක කාලයක් ගත කිරීමට අවස්ථාව ලබා දෙන්න.
- මව/පියාට තම විනෝදාංශ, මිතුරන් හෝ ව්‍යායාම සඳහා වෙන් කළ කාලයක් අවශ්‍ය බව තේරුම් ගන්න. මෙම වෙන් වූ කාලය ඔබට ශක්තිය යළි පුරවා ගැනීමට උපකාරී වේ.
- ඔබගේ කැපවීම සහ පවුල වෙනුවෙන් ඔබ දරන වෑයම ඔබ විසින්ම අගය කරන්න. එය ඔබේ මුළු පවුලේම මානසික සෞඛ්‍යයට සෘජුවම බලපායි.
විශේෂ අවශ්‍යතා සහිත දරුවෙකුගේ සහෝදර සහෝදරියන් යනු නිහඬ වීරයන් ය. ඔවුන්ට බොහෝ විට දෙමාපියන්ගේ අවධානය අහිමි වන අතර, වයසට නොගැලපෙන වගකීම් දැරීමට ද සිදුවේ.
ඇයි මට එයා වගේ සහෝදරයෙක් ලැබුණේ?, ඇයි අම්මා හැම තිස්සෙම එයත් එක්කම ඉන්නේ? වැනි හැඟීම් මේ දරුවන්ට ඇති විය හැකියි. සහෝදරයා/සහෝදරිය වෙනුවෙන් වෙහෙසට පත්වීම හෝ කේන්ති යාම නිසා ද ඔවුන්ට වරදකාරී හැඟීම් ඇති විය හැකිය. සමාජ සිදුවීම්වලදී සහෝදරයා/සහෝදරියගේ හැසිරීම ගැන ලැජ්ජාශීලී හැඟීමක් ද ඇති විය හැකිය. මෙවැනි තත්ත්වයකදී පවුලේ අනෙක් දරුවන් වෙත මව/පියාගේ අවධානය යොමු විය යුතුය.
- දිනපතා හෝ සතියකට වරක් එක් දරුවෙකුට පමණක් අවධානය යොමු කරන විශේෂ කාලයක් වෙන් කරන්න. එය විනාඩි 15ක කතාවක් හෝ සරල ඇවිදීමක් විය හැකිය.
- විශේෂ අවශ්‍යතා සහිත සහෝදරයා හෝ සහෝදරියගේ තත්ත්වය පිළිබඳව ඔවුන්ගේ වයස් මට්ටමට ගැලපෙන ලෙස අවංකව කතා කරන්න. ඔවුන්ගේ හැඟීම්වලට ගරු කරන්න. ඔයාට කේන්ති ගියාද? ඒක සාමාන්‍ය දෙයක් ලෙස සරලව ඔවුන්ගේ එවැනි හැඟීම් පිළිබඳව කතා කරන්න.
- ඔවුන්ට සහෝදරයා/සහෝදරිය රැකබලා ගැනීමේ වගකීම් පැවරීමෙන් වළකින්න. ඔවුන් රැකබලා ගන්නන් නොව, සහෝදර සහෝදරියන් විය යුතුය. ඔවුන්ගේ කැමැත්තෙන් උපකාර කළ හැකි අවස්ථා පමණක් ලබා දෙන්න.
- ඔවුන්ගේ පාසල් කටයුතු, මිතුරන් හෝ ක්‍රීඩා ජයග්‍රහණ සැමරීමට ප්‍රමාණවත් කාලයක් හා ශක්තියක් දෙමාපියන් විසින් වෙන් කළ යුතුය.
ඔබට පවුල තුළ පමණක් තනිව මෙම අභියෝගවලට මුහුණ දිය නොහැක. විශ්වාසදායී මිතුරෙකු, ඥාතියෙකු හෝ වෘත්තීය සේවාවක් හරහා කෙටි කාලීන රැකවරණයක් ලබා ගන්න. මෙය මුළු පවුලටම හුස්ම ගැනීමට අවස්ථාව ලබා දෙයි. තවද පවුලේ මිතුරන් හා ඥාතීන් දැනුවත් කරන්න. ඔවුන්ට අවශ්‍ය වන්නේ උදව් කිරීමටයි, නමුත් කුමක් කළ යුතු දැයි ඔවුන් නොදැන සිටිය හැකිය. කෑම වේලක් ගෙනත් දෙන්න පුලුවන්ද? දරුවා ටික වෙලාවක් බලාගන්න පුලුවන්ද? ලෙස අවශ්‍යතා පැහැදිලිව දන්වන්න.
විශේෂ අවශ්‍යතා සහිත දරුවෙකු ඇති දැඩි කිරීමේදී, පවුලක ශක්තිය මනින්නේ ඔවුන් මුහුණ දෙන ගැටලු ප්‍රමාණයෙන් නොව, එකිනෙකාට සහයෝගය දක්වමින් ඔවුන් එම ගැටලු ජය ගන්නා ආකාරයෙනි.
සෑම පවුල් සාමාජිකයෙකුගේම අවශ්‍යතාවලට අවධානය යොමු කිරීමෙන්, ඔවුන්ට අභියෝගාත්මක තත්ත්වයන්ට මුහුණ දීමට ශක්තිය, ඉවසීම සහ ආදරය ලැබේ. ඔබ ශක්තිමත් පදනමක් ගොඩනඟන විට, ඔබට මුහුණ දිය නොහැකි අභියෝගයක් නොමැති බව මතක තබා ගන්න.
