පුංචි පැටියෙක් ඔබේ ජීවිතයට එද්දි මුළු ගෙදරම ලොකු සතුටකින් පිරෙනවා. මේ සතුට අතර, අලුත උපන් බිළිඳා වෙනුවෙන් සූදානම් කරන කාමරය ගැන වැඩි අවධානයක් යොමු වීම සාමාන්‍ය දෙයක්. ඔබේ බිළිඳාගේ ආරක්ෂාව, සුවපහසුව සහ මවගේ පහසුව තහවුරු කරන ආකාරයට මෙම කාමරය සූදානම් කිරීම ඉතා වැදගත්ය.
දරුවාගේ කාමරයේ ප්‍රමුඛතාව විය යුත්තේ ආරක්ෂිත සහ සුවපහසු නිදන පරිසරයකි.
- ළදරු තොටිල්ල සහ මෙට්ටය
තොටිල්ල ශක්තිමත් විය යුතු අතර, දරුවාගේ හිස අගුළු නොවැටෙන සේ බාර් අතර දුර ප්‍රමිතියකට (අඟල් 2 3/8ට වඩා වැඩි නොවන) තිබිය යුතුය. මෙට්ටය තොටිල්ලට හොඳින් ගැළපිය යුතු අතර, දරුවා එහි ගිලී නොයන සේ තද බවින් යුක්ත විය යුතුය. මෙට්ටයට යටින් ජලයට ඔරොත්තු දෙන ආවරණයක් දමා, උඩින් සුදුසු ළදරු ඇඳ ඇතිරිල්ලක් පමණක් එලිය යුතුය. කොට්ට, බ්ලැන්කට් හෝ මෘදු සෙල්ලම් බඩු තොටිල්ල තුළ තැබීම නොකළ යුතුයි.
- නිදන ඇඳුම්
දරුවාට සීතලෙන් ආරක්ෂා වීමට සහ සුව නින්දක් ලබා දීමට නිදන බෑග් (Sleeping Bags) හෝ නිවැරදිව එතීමට හැකි රෙදි අත්‍යවශ්‍ය වේ. බ්ලැන්කට් වෙනුවට මේවා භාවිත කිරීම වඩා ආරක්ෂිතය.
- උෂ්ණත්වය සහ වාතාශ්‍රය පාලනය
කාමරය හොඳින් වාතාශ්‍රය ලැබෙන, හිරු එළිය සෘජුව නොවැටෙන, තද සුළං නොවැටෙන ස්ථානයක් විය යුතුය. කාමරයේ උෂ්ණත්වය නිරන්තරයෙන් මැන බැලීමට උෂ්ණත්වමානයක් තිබීම වැදගත්ය. බිළිඳා කහ පැහැ ගැන්වී ඇත්දැයි නිවැරදිව හඳුනාගැනීමට, කාමරය තුළ කහ පැහැති විදුලි බුබුළු හෝ තිරරෙදි, කහ පැහැ තීන්ත භාවිතය නොකිරීමට පැටියාගේ කාමරය සකසන මුල් අවස්ථාවේදීම සැලකිලිමත් විය යුතුයි.
ළදරුවන් දිනකට කිහිප වතාවක් ඇඳුම් මාරු කරන අතර, ඔවුන්ගේ සම ඉතා සංවේදී බැවින් නිවැරදි උපකරණ තිබීම පහසුවකි.
- ඇඳුම් ආයිත්තම්
මෘදු කපු රෙදිවලින් නිපද වූ ළදරු ඇඳුම් සෑහෙන ප්‍රමාණයක් (දිනකට කිහිප වතාවක් මාරු කිරීමට අවශ්‍ය බැවින්) තිබිය යුතුය. මේවා සෝදා වේලා ගැනීමට පහසු විය යුතුය. මේ සමඟම තොප්පි, මේස් සහ අත් වැසුම් කිහිපයක්ද අවශ්‍ය වේ.
- නැපි රෙදි සහ අමතර ද්‍රව්‍ය
ඔබ තෝරා ගන්නා නැපි වර්ගය (භාවිතා කර ඉවත දමන හෝ රෙදි නැපි) අනුව අවශ්‍ය ප්‍රමාණයට සූදානම් කර ගන්න. නැපි වෙනස් කිරීමේදී පහසුව සඳහා නැපි මාරු කරන මේසයක් (Changing Table) හෝ තොටිල්ල මත තැබිය හැකි නැපි මාරු කරන පැදුරක් (Changing Pad) තිබීම පහසුය. තවද, ජීවානුහරණය කළ පිසදමන රෙදි (Wipes), ඩයපර් රැෂ් ක්‍රීම් (Diaper Rash Cream) අවශ්‍ය වනු ඇත.
- ඇඳුම් ගබඩා කිරීමේ පහසුකම්
දරුවාගේ ඇඳුම් සහ අනෙකුත් අයිතමයන් ක්‍රමානුකූලව තැබීමට ලාච්චු සහිත කබඩ් එකක් හෝ රාක්ක සහිත ආම්පන්නයක් කාමරයේ තිබිය යුතුය.
මවට දරුවාට කිරි දීම සහ රාත්‍රියේදී ඔහු ගැන විපරම් කිරීම පහසු කිරීම සඳහා මෙවැනි දෑ පිළිබඳව ද සැලකිලිමත් විය යුතුය.
- කිරි දීමේ පුටුව (Nursing Chair)
සුවපහසු, කොන්ද කෙළින් තබා වාඩිවිය හැකි, අත් තබා ගැනීමට පහසු පුටුවක් මවට කිරි දීමේදී ඉතා වැදගත් වේ. මව සුවපහසුව සිටීම දරුවාට නිවැරදිව කිරි දීමට අත්‍යවශ්‍ය වේ.
- රාත්‍රී ආලෝකය
රාත්‍රියේදී නැපි මාරු කිරීමට හෝ කිරි දීමට ප්‍රධාන විදුලි පහන දැමීම වෙනුවට, මෘදු ආලෝකයක් සහිත රාත්‍රී ලාම්පුවක් භාවිත කිරීමෙන් දරුවාගේ නින්දට බාධා වීම අවම වේ.
- ළදරු මොනිටරය
ඔබ කාමරයෙන් බැහැරව සිටින විට දරුවාගේ ශබ්ද හෝ චලනයන් නිරීක්ෂණය කිරීමට මොනිටරයක් උපකාරී වේ. එය ඔබට හැකි නම් පමණක් යෙදිය හැකිය.
- කිළිටි රෙදි සඳහා බඳුනක්
දරුවාගේ මුත්‍රා හෝ මළපහ තැවරුණු රෙදි වහාම ඉවත් කර වෙනම පියන සහිත බකට් එකක තැබීම කාමරය තුළ විෂබීජ පැතිරීම සහ දුගඳ ඇතිවීම වැළැක්වීමට අත්‍යවශ්‍ය වේ.
කාමරය නිරතුරුව පිරිසිදුව තබා ගැනීම මෙන්ම, දරුවාගේ පෞද්ගලික සෞඛ්‍යය සඳහා අවශ්‍ය දෑ ද වැදගත් වේ.
- ස්නානය සඳහා අවශ්‍ය ද්‍රව්‍ය
ළදරු සබන්/ෂැම්පූ, මෘදු තුවා කිහිපයක් මෙන්ම ළදරු බේසමක් අත්‍යවශ්‍ය වේ.
- ප්‍රථමාධාර කට්ටලය
නියපොතු කපන උපකරණ, උණ කටුව, කපු පුළුන් බෝල ආදිය මෙම කට්ටලයේ තිබිය යුතුය.
පුංචි පැටියාගේ කාමරය සූදානම් කිරීම යනු මිල අධික දේවලින් එය පිරවීම නොවේ. එය දරුවාට වඩාත් ආරක්ෂිත, උණුසුම් සහ සුවපහසු පරිසරයක් නිර්මාණය කිරීමයි. කාමරය අනවශ්‍ය දේවලින් තොරව, පිරිසිදුව හා විෂබීජවලින් තොරව පවත්වා ගැනීම, හොඳින් හිරු එළිය හා වාතාශ්‍රය ලැබෙන සේ තැබීම ඉතාම වැදගත්ය. මෙම අත්‍යවශ්‍ය දේවල් නිවැරදිව සූදානම් කිරීමෙන් ඔබට සතුටින්, සැහැල්ලුවෙන් ඔබේ බිළිඳා සමඟ ගත කරන කාලය භුක්ති විඳිය හැකිය.
දැනුවත් කිරීම
ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මිය
සූතිකා පුහුණු හෙද නිළධාරිනි
නවජ සූති දැඩි සත්කාර ඒකකය
පළාත් මහ රෝහල, කුරුණෑගල
