නොවැම්බර් 5, 2025
Housing Parent Pulse Article Featured Image
සොදුරු නිවස

හරිම විදියට ඉඩම ගත්තම, කිසිම විදියක ප්‍රශ්න නෑ… එහෙනම් මේ කරුණු දැනගන්න

තමන්ගේම නිවසක් කියන්නේ අපි කාගේත් ලස්සන සිහිනයක්. කිසිම ගැටලුවකින් තොර නිදහස් බිම්කඩක තමන්ගේම නිවසක් ඉදිවෙයි කියන සිතුවිල්ලම විශාල සතුටක්. නිවසක් කියන්නේ ගඩොල් හිසට වහලක් විතරක්ම නෙවෙයි. සිතට සැනසුමකුත් කිව්වොත් වඩාත් නිවැරදියි. තමන්ගේම ආදරණීයයන් සමග සතුටෙන් සිනහවෙන් ආදරය පිරුණු ජීවිතයක් ගත කරන්නට ගැටලුවලින් තොර නිවසක් අත්‍යවශ්‍යයි.

ඒ වගේම ගොඩනැගිල්ලක් ඉදිකරීම කියන්නෙත් සරල කාර්තව්‍යයක් නොවෙයි. ඊට වඩා වැඩි දෙයක්. ඇතැම් විට එය අනාගත ආයෝජන වෙනුවෙන් ගොඩනගන සැලැස්මක් විය හැකියි. ඒ වගේම ජීවිතයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරන අවස්ථාවක් විය හැකියි.

මේ කුමන ආකාරයේ ඉදිකිරීමක් වුවත් ඉදිකිරීමේ විලාසිතාව සහ තාක්ෂණයට පමණක් සීමා වන දෙයක් නොවේ. ඒ තුළ කැපවීම සහ ආදරය වගේම බලාපොරොත්තු මුුසු වී පවතිනවා. තමන්ගේම බිම මත ගොඩනැගෙන නිවස හෝ ගොඩනැගිල්ල ජීවිතයට ආලෝකයක් විදියට හඳුන්වන්න පුළුවන්. අන්න ඒ නිසාම තමන්ටම අයිති බිමක වුණත් තමන්ගේ සිහින නිවස/ගොඩනැගිල්ල ගොඩ නංවන්න ඔබ සිතනවා නම් ඉඩම මිලට ගන්නා අවස්ථාවේ සිටම සැලකිලිමත් විය යුතු කරුණු රාශියක් ඇති අතරම මේ ලිපිය මගින් ඒ අතරින් ඉතා වැදගත් වන කරුණක් පිළිබඳව සාකච්ඡා කිරීමටයි මේ සූදානම.

ඉඩමක, ප්‍රවේශ මාර්ගය සඳහා පවතින රක්ෂිතය කොපමණද ?

ඔබ නිවසක් හෝ ගොඩනැගිල්ලක් ඉදි කිරිම සදහා ඉඩමක් මිල දී ගන්න බලපොරොත්තු වන්නේ නම් ඊට පෙර සැලකිලිමත් විය යුතු කරුණු රාශියක් ඇති අතරම ඒ අතුරින් ඉතා වැදගත් කරුණක් වන්නේ අදාල ඉඩමෙහි ප්‍රවේශ මාර්ගය සඳහා පවතින රක්ෂිතය කොපමණද යන්න පිළිබඳවයි.

සාමාන්‍යයෙන් මාර්ගයේ මැද සිට වීති රේඛා (street line)සහ ගොඩනැගිලි සීමා (Building line)ලෙස රක්ෂිතයන් දෙකක් ඇති අතරම ඉඩම සදහා බලපැවැත්වෙන මාර්ග රක්ෂිතය ඉහතින් කුමක්ද යන්නත් ඔබ මිලදී ගැනීමට බලපොරොත්තු වන ඉඩමෙන් කොපමණ ප්‍රමාණයක් රක්ෂිතය සඳහා වෙන් කළ යුතද යන්නත් පිළිබඳව ඔබ දැනුවත් විය යුතුයි. එය වීති රේඛා රක්ශිතය හෝ ගොඩනැගිලි සීමා රක්ශිතය වේ. පාර මැද සිට එම දුර ප්‍රමාණයන් වෙන් කිරීමේදී ඔබගේ ඉඩමෙන්ද කොටසක් ඒ සදහා වෙන් වේ. එමෙන්ම එම මාර්ගය ඉඩමෙහි මුහුණත් දෙකක් ඔස්සේ වැටී ඇත්නම් හෝ ඉඩම මාර්ග දෙකකට මුහුණ ලා ඇත්නම් එම මාර්ග සඳහා වන රක්ෂිත කොපමණක් ද යන්නත් එම රක්ෂිත වෙන් කිරීමෙන් පසු ඔබට ගොඩනැගිල්ල ඉදි කිරිම සඳහා ඉතුරු වන බිම් ප්‍රමාණය කොපමණක්ද යන්න පිළිබඳවද අවබෝධයක් තිබීම මෙහිදී ඉතාම වැදගත් වේ.

මාර්ගයන් අයත් වන කාණ්ඩ අනුව, මාර්ගයේ පළල අනුව වෙන් කළ යුතු රක්ෂිත වන, වීති රේඛා, ගොඩනැඟිලි සීමාවන් වෙනස් වන අතරම මාර්ග සංවර්ධන අධිකාරියෙන් පාලනය වන මාර්ග, ප්‍රාදේශීය සභා, නගර සභා මගින් පාලනය වන මාර්ග මෙන්ම පෞද්ගලික මාර්ග සහ අනෙකුත් මාර්ග ද මේ අතර වේ. ඒවා අතුරින් කුමන රක්ෂිතය ඔබ ගැනීමට බලපොරොත්තු වන ඉඩම සඳහා බලපවත්වන්නේද යන්න දැනුවත් විය යුතුය. ඒ සඳහා ඔබට ඉඩම අයත් වන රජයේ ආයතනය මගින් දැනුවත් විය හැකි අතර, ඔබ ඉඩම මිලදී ගන්නා පුද්ගයාගෙන් හෝ ආයතනය මගින් අසා ද දැනුවත් විය යුතුයි. ඔවුන් සතුව ඉඩමේ අනුමත කරන ලද පිඹුරක් ඇත්නම් එයට අදාල සියලුම රක්ෂිතයන් පිළිබඳව සටහන් කරන ලද ලිඛිත ලේඛනයක් හෝ පිඹුරේම සටහනක් යොදා අනුමත කොට ඇත.

එමෙන්ම පිටුපස අවකාශය (Rear space) කොපමණක් තැබිය යුතුද යන්න පිළිබඳව දළ අදහසක් ද තිබිය යුතුයි. මෙම පිටුපස අවකාශය ගොඩනැගිල්ලේ උස අනුව වෙනස් වේ.

මෙම රක්ෂිත සියල්ල වෙන් කළ පසු, නිසි පරිදි ආලෝකය, වාතාශ්‍රය සහ අවශ්‍ය ඉඩ පහසුකම් සහිතව ඔබගේ නිවස හෝ ගොඩනැගිල්ල ඉදි කිරීමට ඉතිරි වන බිම් ප්‍රමාණය ප්‍රමාණවත් ද යන්න අවබෝධ කර ගැනීමෙන් පසුව පමණක් ඉඩම මිල දී ගැනීම සඳහා යොමු වීමෙන් ඔබට මුහුණ පාන්නට සිදුවිය හැකි ගැටලුවලින් බොහොමයක් අවම කර ගැනීමට හැකි වනු ඇත.


දැනුවත් කිරීම

හර්ෂණී රන්පටබැඳි
වරලත් ගෘහ නිර්මාණ ශිල්පී
H E R Architects

Leave feedback about this

  • Quality