ඔක්තෝබර් 23, 2025
Family Parent Pulse Article Featured Image
දරුවන්ගේ සුව දිවිය සුව දිවිය

දරුවන් පෝෂණය කළ යුත්තේ ශාරීරිකව පමණද?

පුංචි දරුවන්ට කෑම කවන එක තරම් බැරූරුම් කාර්යභාරයක් අම්මලාට නැති තරම්. සමහර දවස්වලදි පැය දෙක තුන පිඟානත් අරගෙන දරුවන්ගේ පස්සෙන් දුවන්න වෙනවා. අන්තිමේදී දරුවාට වගේම අම්මටත් හොඳටම තෙහෙට්ටුයි.

පුංචි දරුවෝ ඉන්න හැම ගෙදරකම මේ ගැටලුව තියෙනවා. අම්මලා දරුවන්ට කෑම කවන්න බල කරන්නේ එයාලා ශාරීරිකව දුර්වල වෙයි කියන බයට. සමහර වෙලාවට දරුවන්ට සැර වැර වෙලා, බය කරලා, අම්මට අවශ්‍ය කෑම ප්‍රමාණය අම්මාගේම කාලසටහනකට අනුව කොහොම හරි දරුවට ඇතුළු කරන්න උත්සාහ කරනවා. ඒ දරුවා ගැන තියෙන ආදරය නිසාම තමයි. ඒත් ඒ ඉතාම වැරදි ක්‍රමයක්. ඒ අපේ කාල සටහනේ විදියට බඩගින්න කියන අත්දැකීම දරුවට දැනෙන්න නෑ.
අපේ රටේ ඇතැම් පවුල්වල දරුවන්ට පෝෂ්‍යදායී ආහාර වේලක් උපරිමයෙන් ලැබෙනවා වගේම ආර්ථික අපහසුතා මත ජීවත් වන පවුල් වල දරුවන්ට කුස පුරවා ගැනීමට හෝ කෑමට කිසිවක්ම නොමැති අවස්ථාත් අපි ඕනෑ තරම් දැක තිබෙනවා. ඒ කෙසේ වෙතත් දරුවෙකුට පෝෂණීය ආහාර වේලක් ලබා දීමට විශාල මුදලක් අවශ්‍ය වන්නේ නැහැ. කුඩා මාළු වර්ග, පලා වර්ගයක්, එදිනෙදා කෑම වේලට එක් කිරීම මගින් දරුවාගේ පෝෂණයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ලබාදෙන්නට මව්පියන්ට හැකියාව ලැබෙනවා. චීස්, බටර්, හැම් බේකන් වැනි දේ ආහාර වේලක අනිවාර්යයෙන් අඩංගු විය යුතු දේවල් නොවන බව දෙමාව්පියන් වටහා ගත යුතුයි. ඊට අමතරව දරුවන්ගේ ආහාරයට පළතුරු එක් කිරීමද ඉතා වැදගත්. නැවුම් පළතුරු වර්ග ආහාරයට එක්කර ගැනීම මගින් දරුවාගේ පෝෂණ අවශ්‍යතා සම්පූණ කිරීමට හොඳ හැකියාවක් ලැබෙනවා.

මේ තත්ත්වයන් මෙසේ පවතිද්දී සකාච්ඡාවට බඳුන් විය යුත්තේ නිරෝගී දරුවකු ලොවට දායාද කිරීමට නම් ශාරීරික වශයෙන් සිදුවන පෝෂණය පමණක් ප්‍රමාණවත්ද යන්නයි.

දරුවකුගේ ශාරීරික පෝෂණය හරහා පමණක් හොඳ දරුවකු බිහි කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. දරුවෙකු යහපත් එමෙන්ම නිරවුල් මනසකින් යුතු පරිපූර්ණ පුරවැසියකු ලෙස සමාජගත වීමට නම් දරුවා ශාරීරිකව මෙන්ම මානසිකවත් උපරිම වශයෙන් පෝෂණය විය යුතුය.

බිළඳෙකු කුස පිළිසිඳ ගත්දා සිට මෙලොවට බිහිවනතුරු මවගෙන් පෝෂණය ලබාගන්නවා. දරුවා කුස තුළ සිටියදී වුවත් කුස ආදරයෙන් පිරිමදින්නටත් කතා කරන්නට වගේම නැලවිලි ගී ගයන්නටත් වෛද්‍යවරුන් උපදෙස් ලබාදෙන්නේ දරුවාගේ මානසික පෝෂණයට අවශ්‍ය අඩිතාලම කුස තුළ සිටියදීම ආරම්භ කළ යුතු නිසයි. ඒ වගේම සියුම් රිද්මයානුකූල සංගීතයකට සවන් දීමද දරුවාගේ මානසික සංවර්ධනයට බෙහෙවින් ප්‍රයෝජනවත් වන බව අද වන විට හෙළි වී තිබෙන කරුණක්. ඒ ආකාරයෙන් මව් කුස තුළ සිට මොලොවට බිහිවන කිරිකැටියෙකුට පවා ආදරය කරුණාව සෙනෙහස යන හැඟීම් හොඳින් වැටහෙනවා. බිළිඳා අඩන විට මවගේ තුරුලට ගෙන සිප ගැනීමම බිළිඳාට මහත් අස්වැසිල්ලක් වන බව ඕනෑම මවකගේ අත්දැකීමක්. මවට තුරුළු වී ඇයගේ උණුසුමේ රැදෙමින් නැලවිලී ගීයකට හෝ හුරතල් බහකට සවන් දෙමින් මවගේ දෑස් දෙස බලාගෙන කිරි උරා බොන්නට බිළිඳෙකු දක්වන්නේ විශාල කැමැත්තක්. ශරීරයේ පෝෂණය සඳහා ගුණදායී ආහාර සේම මනස පෝෂණය සඳහා යහපත් සිතිවිලි ආදරය කරුණාව දයාව දරුවා වෙත ලබා දිය යුතු වන්නේ අන්න ඒ නිසයි. ශාරීරික පෝෂණය සඳහා යම් මුදලක් වියදම් වුවත් මානසිකව දරුවෙකු පෝෂණය කිරීමට කිස විටකත් මුදල් අවශ්‍ය නැහැ. දායාව කරුණාව රැකවරණය හරහා දරුවාගේ මානසික සංවර්ධනය සිදු කිරිම ඉතා පහසු කාර්යයක්. දරුවා මානසිකව පෝෂණය වන විට ශාරීරික වර්ධනයට අවශ්‍ය හෝමෝන ශ්‍රාවය වීම හොඳින් සිදුවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් තහවුරු කර තිබෙනවා. එය බුද්ධි වර්ධනයටද ලබා දෙන්නේ විශාල රුකුලක්.

වයස අවුරුදු තුනක් පමණ වන දරුවෙකු දෙමව්පියන් සමග ඔවුන්ගේ ජීවිතවල අත්දැකීම් බෙදා හදා ගන්න වැඩි කැමැත්තක් දක්වනවා. ගැහැණු දරුවකු තම මව අනුකරණය කිරීමට පෙළඹෙන අවස්ථා ඔබ බෙහෝ සෙයින් දැක ඇති. ඒ වගේම පිරිමි දරුවන් තම පියා අනුකරණය කිරීමට පෙළඹෙනවා. ඔවුන් ඒ ඒ චරිතය තමාට ආරෝපණය කරගනිමින් විශාල සතුටක් ලබා ගන්නවා. මේ අවස්ථාවේදී දරුවන්ට දෙමව්පියන් හා එක්ව සිටීමට කාලයක් අත්‍යවශ්‍ය වෙනවා. ඒ හරහා දරුවා ජීවිතයට අත්දැකීම් රැසක් එක්කරගන්නවා පමණක් නෙවෙයි, ඔවුන් ජීවිතයට මුහුණ දෙන්නට අවශ්‍ය ශක්තියත් ලබා ගන්නවා. නමුත් අද දරුවන්ට එවැනි කාල පරාසයක් හිමි වීමේ අවස්ථා ඉතාමත් අඩුයි. බොහොමයක් නිවෙස්වල පියා වගේම මවත් ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීමේ අරමුණෙන් රැකියාවක නිරත වෙනවා. දරුවන් තම දිවා කාලය ගත කරන්නේ දිවාසුරැකුම් මධ්‍යස්ථානයක. හවස් කාලයේ නිවසට ආවත් නිවසේ වැඩකටයුතු නිසා මවට දරුවන් සමග ගතකිරීමට ලැබෙන ඉඩ ප්‍රස්ථාව අල්පයි. එහිදී දරුවන්ට සැරවැර වෙන මව්වරුන්ද සිටිනවා. මවට ඇති තෙහෙට්ටුව වගේම හිස මත පැටවෙන වැඩකන්දරාව නිසා ඒ තත්ත්වය ඇතිවීම ස්වභාවික වුවත් දරුවාගේ මනසට එයින් ලැබෙන්නේ විශාල වශයෙන් තමා පීඩනයට ලක්වනවා වැනි හැඟීමක්. දරුවාට දෙමාපියන් සමග සෙල්ලම් කිරීමට ඇති කාලය, විනෝදවන්නට ඇති අවස්ථාව මෙමගින් ගිලිහී යනවා.

දරුවකුගේ මොළය වර්ධනය හොඳින්ම සිදුවන්නේ පළමු වසර තුන ඇතුළතදීයි. DNA අලුතින් නිෂ්පාදනය වන්නේත් ඒ කාලය තුළයි. මේ කාලය තුළ දරුවා සතුටු කිරිම, උත්තේජනය කිරීම මානසික වර්ධනයට ඉතාම වැදගත් වෙනවා. අනෙක් සත්වයන් මෙන් නොව මින්සුන් තම දරුවන්ට ඉතා දිගු කාලයක් පුරා පෝෂණය මෙන්ම රැකවරණය සලසනවා. දරුවන් වයසින් වැඩෙද්දී ඔවුන්ට යම් විනයක්, හික්මීමක් ලබා දීම බොහොම වැදගත්. ඒ දරුවා තුළ ඇතිවෙන වෙනස්කම් වටහා ගැනීමත් බොහොම වැදගත්. කුඩා දරුවන් මව පියා කියනදේ වෙත අවධානය යොමු කළත් පාසැල් යන දරුවන්ගේ හොඳම උපදේශකයා වන්නේ ගුරුවරයායි. වැඩිවියට පත් වන දරුවකු හැමවිටම විශ්වාස කරන්නේ තම යහලු යෙහෙළයන්ගේ අදහස් සහ ආකල්පයි. මෙහිදී මව්පියන් දරුවාට සමීපව සිටීම බොහෝ සෙයින් වැදගත් වෙනවා. දෙමාව්පියන් රැකියාවල නිරත වන්නේ අද පවතින ආර්ථික ප්‍රශ්න නිරවුල් කර ගනිමින් දරුවන්ට හොඳ පෝෂණයක් සහ උසස් අධ්‍යාපනයක් ලබා දීමට වුවත් මෙහිදී දරුවන්ට ඔවුන්ගේ ළමා කාලය අහිමි වී යනවා. එහිදී දරුවාට තම අත්දැකීම් දුක සතුට බෙදා හදා ගන්නට සමීපතමයෙක් නැතිව යනවා. එය දරුවාගේ මානසික තත්ත්වය අඩාල වන්නට බලපාන විශාල හේතුවක්. ඒ හේතු මත දරුවා වැරදි අත්දැකීම් බෙදාගනිමින් නිවසින් දුරස් වීමට වගේම මානසික වශයෙන් ගැටලු සහගත තත්වයකට පත්වීමේ හැකියාව වැඩියි. අන්න ඒ නිසාම ඔබ, ඔබේ දරුවාගේ ශාරීරික පෝෂණය උදෙසා සිදු කරන කැපවීම වගේම වෙහෙස, මානසික පෝෂණය උදෙසා ද සිදු කළ යුතු වේ. මන්ද අද වන විට ගතින් වගේම මනසින් පිරිපුන් දරු පරපුරක් අපගේ කාලීන අවශ්‍යතාවයක් බවට පත්ව ඇති නිසාය.


Leave feedback about this

  • Quality