Parent Pulse Blog සුව දිවිය දරුවන්ගේ සුව දිවිය දරුවාගේ ආසාර්ථකත්වය හමුවේ කල යුතු මොනවාද?
දරුවන්ගේ සුව දිවිය සුව දිවිය

දරුවාගේ ආසාර්ථකත්වය හමුවේ කල යුතු මොනවාද?

 “මට මේක බැහැ…මම මේක කරන්න දන්නේ නැහැ…මට ආයෙත් කරන්න ඕනේ නැහැ…”

මොන යම් හෝ කාර්යයක් වෙනුවෙන් වෙහෙසෙන දරුවෙක්ගේ අසාර්තක අවසානයක් ඇති වුවහොත් මේ වගේ වචන අහන්න ලැබීම දෙමාපියන්ට අලුත් දෙයක් නොවෙයි. විභාගයක බලාපොරොත්තු වූ ලකුණු නොලැබීමක් ක්‍රීඩාවකදී පරාජයක් මිතුරන් සමඟ ඇති වූ ගැටලුවක් හෝ තමන්ට වැදගත් වූ යම් දෙයක් සාර්ථක කරගන්න බැරි වීමක් වෙන්න පුළුවන්. මේ හැම අවස්ථාවකම දරුවාට අවශ්‍ය වන්නේ “අසාර්ථක වෙන්න එපා” කියන පණිවිඩය නොව අසාර්ථක වුණත්, එතැනින් ඉගෙනගෙන නැවත උත්සාහ කරන්න පුළුවන්” කියන විශ්වාසයයි.

අසාර්ථකත්වය දරුවෙකුට අවසානයක් නොවිය යුතු ඇයි?

කුඩා දරුවෙකුට අසාර්ථකත්වය බොහෝ විට ඉතා විශාල ලෙස දැනිය හැකියි. වැරදි පිළිතුරක් ලැබුණොත්, මම මෝඩයි ක්‍රීඩාවකින් පැරදුණොත්, මට මේක කරන්න බැහැ චිත්‍රයක් හෝ නිර්මාණයක් හිතූ ආකාරයට නොවුණොත්, මම මේකට දක්ෂ නැහැ…. යනුවෙන් තමන් ගැනම තීරණ ගන්න දරුවා පෙළඹෙන්න පුළුවන්.

නමුත් දෙමාපියන්ට මෙහිදී දරුවාට ඉගැන්විය හැකි වැදගත්ම දෙය වන්නේ වැරදීමක් අසාර්තකත්වයක් කියන්නේ තවත් වරක් උත්සාහ කිරිමට ඇවැසි බව පෙන්වන අවස්ථාවක් බවයි.

  • දරුවාගේ අසාර්ථකත්වය සාමාන්‍ය දෙයක් බව පෙන්වන්න

දරුවා අසාර්තක වු සෑම අවස්ථාවකම ඉක්මනින් විසඳුමක් දීමට හෝ ඔහුගේ/ඇයගේ වැරැද්ද වසා දැමීමට උත්සාහ කරන්න එපා.

වැරදුණාට කමක් නැහැ… හැමෝටම එහෙම වෙන්න පුලුවන්… අපි බලමු මේකෙන් මොනවාද ඉගෙන ගන්න පුළුවන් වැනි අදහස් දරුවාට ලබා දෙන්න. ඒ ආකාරට දරුවාට වැරදීම ගැන ලැජ්ජා වීමට වඩා, එය ඉගෙනීමේ කොටසක් ලෙස දකින්නට සහය විය හැකියි.

  • ප්‍රතිඵලයට වඩා උත්සාහය අගය කරන්න

දරුවාට ඉහල ලකුණක් ලැබුණු විට පමණක් ප්‍රශංසා කිරීමෙන් ඔහුගේ/ඇයගේ අවධානය මම කොච්චර හොඳ ප්‍රතිඵලයක් ලබාගත්තාද? යන්න මත පමණක් යොමු විය හැකියි. ඒ වෙනුවට ඔහු දැරූ උත්සාහයත් හඳුනාගන්න.

ඔයාට 90ක් ලැබුණා, ඔයා හරිම දක්ෂයි.. වෙනුවට, මේ පාර ඔයා කලින්ට වඩා වැඩිපුර වෙහෙසුණා. ඒ උත්සාහය ප්‍රතිපලයෙන් පේනවා ලෙස පැවසු විට එයින් දරුවා දක්ෂකම පමණක් නොව උත්සාහය, පුහුණුව සහ ඉවසීමත් වැදගත් බව ඉගෙන ගනියි.

  • මට බැහැ කියන විට තවම බැහැ ලෙස වෙනස් කරන්න

දරුවෙක්, මට මේක කරන්න බැහැ.. කියන විට, එහෙනම් අපි තව පුහුණු වෙමු…කියන දේ පවසන්න.

මෙය දරුවාගේ සිතුවිලි සංවර්ධනය කිරිමට උපකාරී විය හැකියි.

උදාහරණ ලෙස

මට ගණිතය බැහැ – මේ පාඩම තවම අමාරුයි. අපි වෙන ක්‍රමයකින් බලමු.

මට බයිසිකල් පදින්න බැහැ – තවම හරියට පුරුදු වෙලා නැහැ. පුහුණු වෙද්දී හරියයි..

  • මොකක්ද වැරදුණේ?වෙනුවට අපි ඊළඟට කරන්නේ කොහොමද? කියලා අහන්න

අසාර්ථක වූ පසු දරුවාට දොස් පැවරීමට වඩා, සිදුවීම ගැන සිතා බැලීමට උදව් කිරීම වැදගත්.

උදාහරණයක් ලෙස ඔයාට මේක කරන්න බැරි වුණේ ඇයි? කියනවා වෙනුවට, මේ පාර මොන කොටසද අමාරු වුණේ? ඊළඟ පාර වෙනස් විදිහකට උත්සාහ කරමුද? ඔයාට මගෙන් වෙන්න ඕනෙ මොනවද? යනුවෙන් අසන්න. එවිට අසාර්ථකත්වය දොස් පැවරීමේ අවස්ථාවක් නොවී ගැටලුව විසඳීමට ඉගෙන ගන්නා අවස්ථාවක් බවට පත්වෙයි.

  • දරුවාගේ හැම ප්‍රශ්නයක්ම දෙමාපියන් විසඳන්න එපා

දරුවාට අමාරු දෙයක් වූ විට, එන්න, මම කරලා දෙන්නම් කියන එක පහසුයි. නමුත් සෑම අවස්ථාවකම එසේ කිරීමෙන් දරුවාට තනිවම ගැටලු විසඳීමට අවස්ථාව අඩු වෙනවා. ඒ වෙනුවට, ඔයාට හිතන්නේ මොනවා කරොත් හරි කියලද? කියලා අහන්න. අවශ්‍ය නම් සුළු ඉඟියක් දෙන්න. නමුත් හැකි තරම් දරුවාටම විසඳුම සොයාගැනීමට ඉඩ දෙන්න.

  • දරුවාගේ හැඟීම් මුලින් පිළිගන්න

දරුවා අසාර්ථක වූ විට ඔහුට දුක, කලකිරීම, කෝපය හෝ ලැජ්ජාව දැනෙන්න පුළුවන්. එවැනි අවස්ථාවක, ඕක ගැන ඔච්චර දුක් වෙන්න දෙයක් නෑ.. කියලා ඔහුගේ හැඟීම නොසලකා හැරීම වෙනුවට ඔයා මේකට ගොඩක් මහන්සි වුණ නිසා දුක දැනෙනවා වැඩියි කියලා අපිට තේරෙනවා … අපි ටිකක් ඉඳලා බලමු ඊළඟට මොනවා කරන්නේ කියා ඉදිරියට යාමට උදව් කරන්න.

  • ඔබේ ආසාර්තක අවස්තා ගැනත් කතා කරන්න

දරුවන් දෙමාපියන්ගෙන් බොහෝ දේ ඉගෙන ගන්නේ ඔවුන් කියන දේවලින් පමණක් නොව, ඔවුන් හැසිරෙන ආකාරය නිරීක්ෂණය කිරීමෙන්. ඔබට යම් දෙයක් වැරදුණු විට, අනේ, මට වැරදුණා. කමක් නැහැ. මම ආයෙත් බලන්නම්… වැනි සරල වචන භාවිත කරන්න. එවිට දරුවාට පෙනෙන්නේ වැරදීම යනු ලැජ්ජා විය යුතු දෙයක් නොවන බවත්, වැරදුණු පසු නැවත උත්සාහ කිරීම සාමාන්‍ය බවත්ය.

  • දරුවාගේ ජයග්‍රහණය පමණක් නොව ඔහුගේ උත්සාහයත් සමරන්න

සමහර දරුවන්ට පළමු උත්සාහයෙන් සාර්ථක වෙන්න පුළුවන්. තවත් දරුවන්ට එකම දෙය ඉගෙන ගැනීමට වැඩි කාලයක් ගත විය හැකියි. ඒ නිසා, කවුද දිනුවේ? කියන ප්‍රශ්නයට පමණක් අවධානය නොදී වෙනදාට වඩා අද දවසේ ඔයාගේ අලුත් අත්දැකිම් මොනවද? කියලා අහන්න. පුංචි දියුණුවක් වුණත් හඳුනාගන්න. ඊයේ බැරි වූ දෙයක් අද ටිකක් හොඳින් කිරීමත් ප්‍රගතියක් බව මතක තබා ගන්න.

  • අනිත් දරුවන් සමඟ සංසන්දනය නොකරන්න

ඔයාගේ යාළුවා නං කරලත් ඉවරයි.. ඔයාට බැරි ඇයි? වැනි වචන දරුවාට උත්සාහ කිරීමට ශක්තියක් දෙනවාට වඩා, තමන් ගැන අවතක්සේරුවක් ඇති කිරීමට හේතු විය හැකියි. සෑම දරුවෙකුගේම ඉගෙනීමේ වේගය, රුචිකත්වය සහ ශක්තීන් වෙනස්. ඒ නිසා දරුවාගේ ඊයේ සිට අද දක්වා වූ දියුණුව සමඟ ඔහු/ඇයව සංසන්දනය කිරීම වඩා ප්‍රයෝජනවත්.

  • දිරිගන්වන දෙමාපියෙකු වන්න

දරුවා අසාර්ථක වූ අවස්ථාවක ඔහුට අවශ්‍ය වන්නේ විනිශ්චයකරුවෙකු නොව, ආරක්ෂිතව නැවත ත්සාහ කිරීමට ධෛර්යය දෙන වැඩිහිටියෙකු බව මතක තබා ගන්න. ඒ වෙනුවෙන් දරුවා දිරිමත් කිරිමට පැවසිමට හැකි බොහෝ ක්‍රම ඔබට ඇත.

ඔයා උත්සාහ කළ එක ගැන මම ආඩම්බරයි… වැරදුණාට කමක් නැහැ. අපි ආයෙත් බලමු… මේක අමාරුයි කියලා මට තේරෙනවා… ඔයාට පුළුවන් විදිහක් අපි එ්කට හොයා ගමු… පළමු වතාවෙම සාර්ථක වෙන්නම ඕනෙ කියලා දෙයක් නැහැ…. අද බැරි වුණා කියන්නේ හැමදාම බැහැ කියන එක නෙවෙයි…

දරුවෙකුට අපි ලබා දිය යුතු වැදගත්ම පාඩම වන්නේ ජය පරාජය දෙකම අපේ දිවියට උරුම බවත් ජීවිතයේ හැම පරාජයක්ම වලක්වා ගැනිමට හැකි පරිසරයක් නිර්මාණය කිරීම සැමවිටම නොහැකි බවත්ය. ප්‍රතික්ෂේප වීම්, වැරදීම්, කලකිරීම් දිවියේ එක් එක් අවස්තාවලදි අපට හමුවන බවත් එක්වරක් අසාර්ථක වුණා කියන්නේ තමා අසාර්ථක පුද්ගලයෙක් කියන එක නොවන බවත් අසාර්ථකත්වය ඔහුගේ හෝ ඇයගේ වටිනාකම තීරණය නොකරන බවත් දරුවාට පැහැදිලි කල යුතුයි. තවද අසාර්තකත්වය යනු ඉගෙනීමට, වෙනස් ආකාරයකින් උත්සාහ කිරීමට සහ තව ටිකක් ක්තිමත් වීමට ලැබෙන අවස්ථාවක් බවත්ය.

දරුවා වැටෙන සෑම අවස්ථාවකම ඔහුව වහාම උස්සා තැබීම වෙනුවට, නැවත නැගිටීමට අවශ්‍ය ශක්තිය ලබා දෙන්න. අද ඔබ කියන පුංචි වචනයක් හෙට දරුවෙකුගේ ඉවසීම, ආත්ම විශ්වාසය සහ අභියෝග හමුවේ නොසැලී සිටීමේ හැකියාව ගොඩනඟන්නට විශාල ශක්තියක් වනු නොඅනුමානය.

Exit mobile version