ඔක්තෝබර් 28, 2025
Child Physiotherapy Parent Pulse Article Featured Image
දරුවන්ගේ සුව දිවිය සුව දිවිය

දරුවාගේ චාලක සංවර්ධනයට භෞත චිකිත්සාව වැදගත් වන්නේ ඇයි?

භෞත චිකිත්සාව යනු චලන හැකියාවන් ප්‍රවර්ධනය කිරීමට, ආබාධ කළමනාකරණය කිරීමට සහ සමස්ත ශාරීරික ක්‍රියාකාරිත්වය සහ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීමට සැලසුම් කරන ලද විශේෂිත සෞඛ්‍ය සේවාවකි. ළමා භෞත චිකිත්සාවේදී සිදුවන්නේ දරුවන්ගේ චලනයන්, ක්‍රියාකාරිත්වයන් සහ ආබාධ සම්බන්ධ ගැටළු කෙරෙහි අවධානය යොමු කිරීමයි. භෞත චිකිත්සකවරුන් දරුවාගේ වර්ධන අවශ්‍යතා සහ සුවිශේෂී තත්ත්වයන් සලකා බලා ඒ අනුව ප්‍රතිකාර සැලසුම් කරයි. මෙම ප්‍රතිකාර බොහෝ විට දරුවාට සෙල්ලමක් ලෙස හැඟෙන පරිදි නිර්මාණය කර ඇති විනෝදජනක සහ අන්තර්ක්‍රියාකාරී ක්‍රියාකාරකම් වලින් සමන්විත වේ.

දරුවෙකුගේ වර්ධනය යනු සංකීර්ණ, බහුවිධ ක්‍රියාවලියකි. කායික, මානසික, චිත්තවේගීය මෙන්ම චාලක සංවර්ධනයද මෙහිදී ඉතා වැදගත් වේ. චාලක සංවර්ධනය යනු දරුවෙකුට තම ශරීරය චලනය කිරීමට සහ ක්‍රියාකාරකම් කිරීමට ඉඩ සලසන මාංශ පේශි පාලනය සහ සම්බන්ධීකරණය වැඩිදියුණු කිරීමයි.

මෙම චාලක කුසලතා කොටස් දෙකකට බෙදිය හැකිය. එනම්,

  • දළ චාලක කුසලතා (Gross Motor Skills) – ඇවිදීම, දිවීම, පැනීම වැනි විශාල මාංශ පේශි චලනයන්
  • සියුම් චාලක කුසලතා (Fine Motor Skills) – ලිවීම, ඇඳීම, කුඩා වස්තූන් අල්ලා ගැනීම වැනි කුඩා මාංශ පේශි චලනයන්

මෙම චාලක සංවර්ධන ක්‍රියාවලියට කිසියම් බාධාවක් හෝ ප්‍රමාදයක් ඇති වූ විට, ළමා භෞත චිකිත්සාව (Pediatric Physiotherapy) තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි.

ළදරුවෙකු හිස එසවීමෙන් පටන්ගෙන, පෙරළීම, බඩගා යාම, වාඩි වීම, සිට ගැනීම සහ අවසානයේ ඇවිදීම දක්වා වූ අදියර යනු දළ චාලක සංවර්ධනයේ වැදගත් සන්ධිස්ථානයන්ය. මෙම සෑම සන්ධිස්ථානයක්ම දරුවාට තම පරිසරය සමඟ අන්තර් ක්‍රියා කිරීමට, ගවේෂණය කිරීමට සහ ඉගෙනීමට මග පාදයි.

  • දළ චාලක කුසලතා – සමබරතාවය, ඉරියව් පාලනය, ශක්තිය සහ විඳදරාගැනීම වැනි මූලික කුසලතා තහවුරු කරයි. මෙම කුසලතා පාසල් ක්‍රියාකාරකම්, ක්‍රීඩා සහ දෛනික ජීවිතයේ ස්වාධීනත්වයට අත්‍යවශ්‍ය වේ.
  • සියුම් චාලක කුසලතා – ඇඳුම් ඇඳීම, ආහාර ගැනීම, සෙල්ලම් බඩු හැසිරවීම සහ පසුව ලිවීමට හා චිත්‍ර ඇඳීමට අවශ්‍ය කුඩා මාංශ පේශි පාලනය සහ අත්-ඇස් සම්බන්ධීකරණය (Hand-Eye Coordination) සඳහා උපකාරී වේ.

මෙම කුසලතා නිසි වේලාවට සහ නිසි ආකාරයෙන් වර්ධනය නොවන්නේ නම්, එය දරුවාගේ අධ්‍යාපනයට, සමාජ අන්තර්ක්‍රියාකාරිත්වයට සහ ස්වයං වටිනාකම පිළිබඳ හැඟීමට පවා අහිතකර ලෙස බලපෑ හැකිය.

ළමා භෞත චිකිත්සාව දරුවෙකුගේ චාලක සංවර්ධනයට සහ සමස්ත යහපැවැත්මට අත්‍යවශ්‍ය වීමට ප්‍රධාන හේතු කිහිපයක් පහත දැක්වේ:

  1. වර්ධන ප්‍රමාදයන් හඳුනා ගැනීම සහ පිළියම් යෙදීම
    දරුවෙකු යම් වර්ධන සන්ධිස්ථානයක් කරා ළඟා වීමට ප්‍රමාද වන විට (මාස 9 දී වාඩි නොවී සිටීම, මාස 18 දී ඇවිදීමට නොහැකි වීම) භෞත චිකිත්සකවරයෙකුට ගැටලුව හඳුනාගෙන නිවැරදි මැදිහත් වීමක් ලබා දිය හැකිය. මුල් මැදිහත්වීම (Early Intervention) යනු සංවර්ධනයේ ප්‍රමාදයන් අවම කිරීමට සහ නිවැරදි චලන රටා කල් ඇතිව ස්ථාපිත කිරීමට ඇති හොඳම ක්‍රමයයි.
  2. දළ චාලක කුසලතා වැඩිදියුණු කිරීම
    භෞත චිකිත්සාව තුළින් දරුවාගේ ශක්තිය, විඳ දරාගැනීම සහ සමබරතාවය වැඩි දියුණු කරන ව්‍යායාම සහ ක්‍රියාකාරකම් ලබා දේ. මෙහිදී ඇවිදීම, පැනීම, ඉනිමං නැගීම, පන්දුවකට පයින් ගැසීම වැනි ක්‍රියාකාරකම් නිවැරදි තාක්‍ෂණයෙන් පුහුණු කරනු ලැබේ. නිදසුනක් වශයෙන්, Cerebral Palsy වැනි තත්ත්වයන් ඇති දරුවන්ට නිවැරදි ඇවිදීමේ රටාවන් සහ ඉරියව් පාලනය පුහුණු කිරීම ඉතා වැදගත් වේ.
  3. ඉරියව් පාලනය සහ ශරීරයේ පෙළගැස්ම
    නිසි ඉරියව්වක් පවත්වා ගැනීම දරුවාගේ මුළු ශරීරයේම ක්‍රියාකාරිත්වයට බලපායි. වැරදි ඉරියව්ව වේදනාවට හෝ වෙනත් ගැටලුවලට හේතු විය හැක. භෞත චිකිත්සකවරුන් දරුවාට නිවැරදිව වාඩි වීමට, සිට ගැනීමට සහ චලනය වීමට පුරුදු කිරීම සඳහා අවශ්‍ය මාංශ පේශි ශක්තිමත් කිරීමට උපකාරී වේ.
  4. සියුම් චාලක කුසලතා සඳහා වක්‍ර සහයෝගය
    සියුම් චාලක කුසලතා සාර්ථකව සිදු කිරීමට නම්, දරුවාට ස්ථාවර කඳක් (Stable Core) සහ උරහිස් පාලනයක් තිබිය යුතුය. භෞත චිකිත්සාව කඳෙහි ශක්තිය (Core Strength) වැඩි දියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කරයි, එමඟින් අතේ සහ ඇඟිලිවල වඩා හොඳ පාලනයක් සඳහා ස්ථාවර පදනමක් සැපයේ.
  5. වේදනාව කළමනාකරණය සහ ආබාධිත තත්ත්වයන්ට ප්‍රතිකාර කිරීම
    Juvenile Idiopathic Arthritis (JIA) වැනි රෝග හෝ ක්‍රීඩා ආබාධ හේතුවෙන් ඇතිවන වේදනාව අවම කිරීම සඳහා භෞත චිකිත්සාව වැදගත් වේ. Down Syndrome, Autism Spectrum Disorder (ASD), Torticollis (ගෙල ඇදවීම) හෝ Muscular Dystrophy වැනි සංජානනීය හෝ අත්පත් කරගත් ආබාධ සහිත දරුවන්ට, ඔවුන්ගේ උපරිම චලන විභවය කරා ළඟා වීමට භෞත චිකිත්සාව අත්‍යවශ්‍ය වේ. එය විකලාංග උපකරණ (Orthotic Devices) භාවිතය සඳහා උපදෙස් ලබා දීමට ද උපකාරී වේ.
  6. ස්වාධීනත්වය සහ ජීවන තත්ත්වය ඉහළ නැංවීම
    භෞත චිකිත්සාවේ අවසාන ඉලක්කය වන්නේ දරුවාට හැකි උපරිමයෙන් දෛනික කටයුතු (Activities of Daily Living – ADL) ස්වාධීනව සිදු කිරීමට හැකියාව ඇති කිරීමයි. හොඳ චාලක කුසලතා මගින් දරුවාට පන්ති කාමරයේ සාර්ථක වීමට, මිතුරන් සමඟ ක්‍රීඩා කිරීමට සහ සාමාන්‍ය සමාජ ක්‍රියාකාරකම්වලට සහභාගී වීමට විශ්වාසය ලබා දේ. මෙය ඔවුන්ගේ මානසික හා සමාජ සංවර්ධනයටද ධනාත්මකව බලපායි.
  7. දෙමාපියන්ට සහ පවුලට අධ්‍යාපනය ලබා දීම
    භෞත චිකිත්සකයින් දෙමාපියන්ට නිවසේදී කළ යුතු නිවැරදි ව්‍යායාම සහ ක්‍රියාකාරකම් පිළිබඳව උපදෙස් ලබා දෙයි. දරුවාගේ සංවර්ධනයට සහාය වීම සඳහා ආරක්ෂිත සහ උත්තේජනය කරන පරිසරයක් නිර්මාණය කරන ආකාරය පිළිබඳ මග පෙන්වීම ලබා දේ.

ළමා භෞත චිකිත්සාව යනු දරුවෙකුගේ චාලක සංවර්ධනයේ ප්‍රමාදයන් හෝ දුර්වලතා හඳුනාගැනීම සඳහා වූ සාක්ෂි මත පදනම් වූ සක්‍රීය ප්‍රවේශයකි. එය දරුවෙකුගේ ශාරීරික හැකියාවන්, ඉරියව් පාලනය, ශක්තිය සහ සමබරතාවය වැඩිදියුණු කිරීමට පමණක් සීමා නොවී, ඔවුන්ගේ ආත්ම විශ්වාසය, සමාජ අන්තර්ක්‍රියා සහ සමස්ත ජීවන තත්ත්වය ඉහළ නැංවීමට දායක වේ.
එමනිසා, දරුවෙකුගේ චලන රටාවන්, ඉරියව්ව හෝ සංවර්ධන සන්ධිස්ථාන කරා ළඟා වීමේ වේගය පිළිබඳව ඔබට කිසියම් ගැටලුවක් ඇත්නම්, සුදුසුකම්ලත් ළමා භෞත චිකිත්සකවරයෙකුගෙන් උපදෙස් ලබා ගැනීම ඉතා වැදගත් වේ. භෞත චිකිත්සාව තුළින් ලබා දෙන සහයෝගය, ඔබේ දරුවාට ඔවුන්ගේ සම්පූර්ණ විභවය කරා ළඟා වීමට සහ ලෝකය සාර්ථකව ගවේෂණය කිරීමට ශක්තිමත් පදනමක් ලබා දෙනු ඇත.


දැනුවත් කිරීම

රුවනි විජේවර්ධන
භෞතචිකිත්සක, නවලෝක රෝහල

Leave feedback about this

  • Quality