‘බබාගෙ තාත්තා මොකද කරන්නෙ.?’
‘තාත්තා නෑ !’
‘ඇයි මැරිලද?’
‘නෑ ! දාලා ගිහින්.’
‘ඇයි?’
‘ළමයා ලෙඩ වුනේ මගෙ වරදින් කියලා.’
‘බෝන් මැරෝ ට්‍රාන්ස්ප්ලාන්ට් වැඩේ කොහොමද?’
‘ඒක හරියන්නෑ.!’
‘ඇයි?’
‘සල්ලි නෑ !’
‘නේවි එකෙන් ඔක්කොම ගෙවනව කිව්වනෙ නේද?’
‘ඔව්. ඒත් මෙයාට දැන් තත්වෙත් එක්ක දෙන්න බෑලු !’
‘ඇයි?’
‘මහත්තයා දාලා ගියා.’
‘ඇයි?’
‘ලෙඩේ හින්දා.!’
‘එයාට කියන්න දාලා ගියාට කමක් නෑ. ඩිවෝර්ස් නැති හින්දා ළමයගෙ වැඩේ ඉවර වෙනකන් තත්තා කියලා පෙනී හිටින්න කියලා.’
‘එයා බෑ කිව්වා ඩොක්ටර්’
‘ළමයගෙ අම්මා මොකද කරන්නෙ.?’
‘ගෙවල් වල වැඩට යනවා .’
‘තාත්තා ?’
‘එයා දාලා ගිහින්!’
‘ඇයි?’
‘ළමයට ලෙඩේ හැදුනේ මගෙ දුව නිසා කියලා’
මේ වාට්ටුවෙ බහුතරයක් නියෝජනය කරන්නෙ අඩු ආදායම්ලාභී පවුල්.
ඒකෙත් බහුතරයකට තාත්තලා නෑ.
ඇයි තාත්තලා නැත්තෙ?
පාසල් ප්‍රේමයක් එහෙම නැත්නම් කපුවගෙ පොරොන්දම් හරි ගියපු කපු කමක් එක්ක දෑඟිලි බැඳලා ජීවිත කාලෙම බලා ගන්නම් කියලා එකතු වුණු ජීවිත.
දින ගැනලා මාසෙට ලේ පොම්ප කරන් යන්න එන්න වෙන අම්මලා.
මේ ඔක්කොම උනේ තමුන්ගේ ජානවල වැරැද්දෙන් කියලා බිරිඳට බැනලා ප්‍රශ්නෙන් පැනලා යන පිරිමි තාත්තලා. පැනලා ගියත් තමන්ගෙන් සුජාත වුණු දරුවටත් තමන්ගෙ කසාද බිරිදටත් උදව්වක් දෙන්න ඕන, මනුස්ස කමක් නැති පිරිමි කමක් නැති පිරිමි. මේක කියවන අතලොස්සක් හරි ඇති බිරිඳ නිසා තමා ඔක්කොම වුනේ කියලා හිතන. එයාලට මේ ටික කියලා දෙන්න.
ළමයෙක්ට තැලසීමියා රෝගය හැදෙන්න නම් තැලසීමියා වාහක දෙන්නෙක්ගෙන් ජාන කොටස් දෙකක් එකතු වෙන්න ඕනමයි. ඒ කොටස් දෙකේ අම්මගෙ කොටස, නිරෝගීම තාත්තෙක්ගේ නිරෝගීම ජාන කොටසක් එක්ක එකතු වුනොත් විතරයි නිරෝගී දරුවෙන් හැදෙන්නේ. ඒ වගේම තාත්තගෙ වාහක කොටස අම්මගෙ හොද කොටසක් සමහ එකතු වුනත් නිරෝගී දරුවෙක් හැදෙනවා. තනි අතෙන් අප්පුඩි ගහන්න බෑ වගේ තනි මනුස්සයෙක්ට තැලසීමියා රෝගී දරුවෙන් හදන්නම බෑ. කවුරු හරි හිතනව නම් දරුවා රෝගියෙන් වුනේ අම්මාගේ වරදින් පමණයි කියලා එවැනි පුද්ගලයන්ට මේ කතාව වටහා දිය යුතුයි. ඒ ගෑනු කෙනා තමුන්ට වගේ වාහක ජාන නැති පිරිමි කෙනෙක් සමග විවාහ වූවා නම් කිසිදු අවස්ථාවක ඔවුන්ට තැලසීමියා රෝගී දරුවන් බිහිවන්නේ නැහැ.
දික්කසාදෙකින් කෙලවර වෙන්න ඕන නෑ ජාන සැකැස්ම ඊලග පරම්පරාවට යන විදිහ ඉගෙන ගත්තා නම්. එහෙම වුනා නම්, අඩුම ගානෙ අම්මා බබාව ලේ දෙන්න එක්කගෙන යද්දි, තාත්තට බබා වෙනුවෙන් සල්ලි ටිකක් හොයන්න පුලුවන්. එහෙම එකකටයි පිරිමි තාත්තෙක් ඉන්න පවුලක් කියන්නෙ. නෑ නෑ කීවාට මේ ලෝකෙ පිරිමි තාත්තලා ඕන තරම් ඉන්නවා.
තැලසීමියාව මාරාන්තිකයි. එහෙත් පරීක්ෂා කිරීමකින් පසුව කරන විවාහයකින් තැලසීමියා දරුවෙක් බිහිවීම වලකවාගත හැක. ඔබත් අදම තැලසීමියා වාහකද යන්න ලගම ඇති රෝහලෙන් නොමිලේ පරික්ශා කර ගන්න. පරික්ෂණයේ නම HPLC. සියලුම ප්‍රධාන රෝහල්වල සිදු කෙරේ.
සටහන

වෛද්‍ය කිලෝශිනී හෙන්දවිතාරණ
තැලසීමියා ප්‍රතිකාර හා නිවාරණ මධ්‍යස්ථානය
අනුරාධපුරය
Leave feedback about this