නොවැම්බර් 2, 2025
Clean with Kids Parent Pulse Article Featured Image
සොදුරු නිවස

නිවස පිරිසිදුව තබා ගන්නත් එය දරුවන්ට හුරු කරවන්නේත් කොහොමද?

කාර්යබහුල ජීවිතයක් ගත කරන ඕනෑම කෙනෙකුට නිවස පිරිසිදුව හා පිළිවෙළට තබා ගැනීම විශාල අභියෝගයක් විය හැකියි. රැකියාව, පාසල් කටයුතු සහ දෛනික වගකීම් අතරතුර අපිරිසිදු සහ අවුල් සහගත නිවසක් දැකීම මානසික ආතතියටත් හේතුවක්. එ්ත්, නිවැරදි සැලසුම් සහ පහසු පුරුදු කිහිපයක් අනුගමනය කිරීමෙන්, වැඩි වෙහෙසක් නොමැතිව පිරිසිදු නිවසක සතුට භුක්ති විඳිය හැකියි. විශේෂයෙන්ම, පවුලේ පුංචිම සාමාජිකයන් වන දරුවන්ගේ සහයෝගය ලබා ගැනීමටත් ඔබට පුළුවන්.

සම්පූර්ණ නිවසම එකවර පිරිසිදු කිරීමට උත්සාහ නොකර, දිනපතාම සුළු කාලයක් වෙන්කර ගනිමින් කළ හැකි ක්ෂණික පිරිසිදු කිරීමේ ක්‍රම පිළිබඳව අදහසක් ලබා ගැනීම ඉතාම වැදගත් වේ.

  1. දිනපතා විනාඩි 15 වෙන්කරන්න

දිනපතා උදේ හෝ සවස විනාඩි 15ක කාලයක් වෙන් කර නිවසේ වඩාත්ම අවුල් වූ කොටස් ඉක්මනින් පිරිසිදු කරන්න. උදාහරණයක් ලෙස මුළුතැන්ගෙයි කවුන්ටර පිස දැමීම, මේස මත ඇති අනවශ්‍ය දෑ ඉවත් කිරීම, පොළව අතුගෑම හෝ වැකුම් කිරීම. මෙය විශාල කාර්යයක් බවට පත් නොවන අතරම දිනපතාම කුඩා කොටසක් පිරිසිදු කර ගැනීමට උපකාරී වේ.

  1. අදාල දේට අදාල එක් තැනක් වෙන්කරන්න

නිවසේ ඇති සෑම වස්තුවකටම නිශ්චිත ස්ථානයක් වෙන් කරන්න. යතුරුවලට, තැපැල්පත්වලට, දුරකථන චාජර්වලට සහ සෙල්ලම් බඩු වලට වෙන් වූ ස්ථානයක් තිබීමෙන් ඒවා තැන තැන දමා යාම වැළකී යයි. භාවිතයෙන් පසු, එය නැවත එහි තබන්න යන පුරුද්ද පවුලේ සියලු දෙනාටම හුරු කරන්න. මෙය අලුතින් අවුල් වීම වළක්වයි.

  1. යම් කාර්යයක නියැලෙන අතරතුරම පිරිසිදු කිරීම

කාර්යයක් කරන අතරතුරම අවුල් වූ දේ පිළිවෙළ කරන්න ඔබට පුළුවන්. උදාහරණයක් විදියට මුළුතැන්ගෙය ගත්තොත් ආහාර පිසින අතරතුරම අපිරිසිදු වූ භාජන සේදීම හෝ සින්ක් එකට දැමීම. රාත්‍රී ආහාරයෙන් පසු පිඟන් පසුවට කල් නොදමා වහාම පිරිසිදු කිරීම වනි දේ කිරීම මගින් කාර්යයන් අතරතුරදීම පිරිසිදු කිරීමටත් ඔබට හැකියි. ඒ වගේම නාන කාමරය ගත්තොත් සින්ක් එක වටේ ඇති පැල්ලම් ඉක්මනින් පිස දැමීම, වතුර වයිප් කර ඉවත් කිරීම වැනි කාර්යයන්ද උදෑසන ඇඳෙන් නැගිටි වහාම ඇඳ පිළිවෙළ කිරීම වැනි දේට පුරුදු වීමෙන් නිවස අවුල් වීම අපවිත්‍ර වීම වළක්වා ගත හැකියි.

  1. සතිපතා නිවසේ එක් එක් කොටස් පිරිසිදු කිරීම

සතියේ දින කිහිපයක් නිවසේ එක් එක් කොටස සඳහා වෙන් කරන්න. සඳුදා, රෙදි සේදීම සහ නිදන කාමර පිරිසිදු කිරීම/අඟහරුවාදා, මුළුතැන්ගෙය ගැඹුරින් පිරිසිදු කිරීම/බදාදා, නාන කාමර පිරිසිදු කිරීම ආදි ලෙස සිදු කිරීමෙන් දිනපතාම විශාල කාර්යයක් එකතු වීම වළක්වා ගත හැකිය.

  1. අනවශ්‍ය දෑ ඉවත් කිරීම

පිරිසිදුකම පටන් ගන්නේ අනවශ්‍ය දේ ඉවත් කිරීමෙනි. මාස කිහිපයක් භාවිත නොකළ ඇඳුම්, සෙල්ලම් බඩු සහ වෙනත් භාණ්ඩ පරිත්‍යාග කිරීමට හෝ බැහැර කිරීමට පුරුදු කරන්න. එයින් අනවශ්‍ය දේ අඩු වන තරමට, පිරිසිදු කිරීමට සහ පිළිවෙළ කිරීමට ඇති ඉඩකඩ වැඩි වේ.

දරුවන්ව නිවසේ පිරිසිදු කිරීමේ කටයුතුවලට සම්බන්ධ කර ගැනීම, දෙමාපියන්ට ඇති බර අඩු කිරීමට අමතරව, ඔවුන්ට වගකීම, ආත්ම විශ්වාසය සහ ජීවන කුසලතා වර්ධනය කර ගැනීමට අත්‍යාවශ්‍ය වේ.

  1. වයසට ගැළපෙන කාර්යයන් පැවරීම
  • දරුවාගේ වයස සහ හැකියාව අනුව කාර්යයන් පැවරීමෙන් ඔවුන්ට සාර්ථකත්වය අත්විඳීමට අවස්ථාව ලැබේ.
  • වයස අවුරුදු 2- 3 දරුවන් – සෙල්ලම් බඩු නැවත පෙට්ටියට දැමීම, කුණු කූඩයට දැමීමට උදව් කිරීම
  • අවුරුදු 4 – 5 දරුවන් – තමන්ගේ ඇඳ පිළිවෙළට සකස් කිරීම, ඇඳුම් රෙදි සෝදන කූඩයට දැමීම, කෑම මේසය පිස දැමීම
  • අවුරුදු 6 – 8 බිම අතුගා දැමීම, සුරතල් සතුන්ට කෑම දැමීම, තමන්ගේ කාමරය වැකුම් කිරීම,
  • අවුරුදු 9-12 රෙදි සෝදන යන්ත්‍රයට රෙදි දැමීම සහ වියළීම, මුළුතැන්ගෙයි කවුන්ටර පිරිසිදු කිරීම.
  1. ආදර්ශමත් වීම සහ ක්‍රීඩාවක් බවට පත් කිරීම
  • ආදර්ශමත් වීම
    දරුවන් වැඩිහිටියන්ව අනුකරණය කරයි. දෙමාපියන් ලෙස ඔබ ඔබේ දේවල් පිළිවෙළ කරන ආකාරය සහ නිවස පිරිසිදුව තබා ගැනීමට උත්සාහ කරන ආකාරය දරුවන්ට හොඳම ආදර්ශය සපයයි.
  • විනෝදය එකතු කිරීම
    පිරිසිදු කිරීම ක්‍රීඩාවක් හෝ තරඟයක් බවට පත් කරන්න. මිනිත්තු 5ක් ඇතුළත කාටද වැඩිපුරම සෙල්ලම් බඩු පෙට්ටියට දමන්න පුළුවන්? වැනි ප්‍රශ්න අසමින් තරඟයක් තබා දරුවන් දිරිමත් කරන්න.
  • සංගීතය භාවිතය
    පිරිසිදු කිරීමේදී වේගවත් හා ප්‍රියජනක සංගීතයක් වාදනය කිරීමෙන් ඔවුන්ව උනන්දු කරවිය හැකිය.
  1. වගකීම් ප්‍රස්ථාරයක් භාවිතය
  • සෑම දරුවෙකුටම ඔවුන්ගේ නම සඳහන් කළ වගකීම් ප්‍රස්ථාරයක් සකස් කර නිවසේ පෙනෙන ස්ථානයක තබන්න.
  • කාර්යයක් අවසන් කළ විට ලකුණක් දැමීමට හෝ ස්ටිකරයක් ඇලවීමට ඔවුන්ට අවස්ථාව ලබා දෙන්න. මෙම දෘශ්‍යමය දිරිගැන්වීම දරුවන්ට ඉතා වැදගත් වේ.
  1. ත්‍යාග සහ දිරිගැන්වීම් පිරිනැමීම
  • මූලික ත්‍යාගය – නිවස පිළිවෙළට තබා ගැනීම සාමාන්‍ය වගකීමක් බව පැහැදිලි කරන්න. එහෙත්, ඔවුන් තම කාර්යයන් සාර්ථකව නිම කළ විට ප්‍රශංසා කිරීම සහ අවධානය යොමු කිරීම විශාල දිරිගැන්වීමකි.
  • කුඩා දිරිදීමනා – සතියේ සියලුම කාර්යයන් සාර්ථකව කළහොත්, චිත්‍රපටයක් නැරඹීමට අමතර කාලයක්, ඔවුන් කැමති සංග්‍රහයක් හෝ සෙල්ලම් බඩුවක් වෙනුවට විශේෂ ක්‍රියාකාරකමක් (සෙල්ලම් කිරීමට වැඩි වෙලාවක්) ලබා දීම ඵලදායී වේ.

නිවස පිරිසිදුව තබා ගැනීම සඳහා වෙහෙස වී දහදිය දැමීම අවශ්‍ය නැත. නිරන්තරයෙන්ම, සුළු වෙලාවක් වෙන් කරමින්, පුරුද්දක් ලෙස පිරිසිදු කිරීම සිදු කිරීමෙන් විශාල වෙනසක් ඇති කළ හැකිය. එමෙන්ම, නිවසේ පිළිවෙළේ වගකීම පවුලේ සියලු සාමාජිකයන් අතර බෙදා හැරීම තුළින්, කාර්යභාරය සැහැල්ලු වන අතර, දරුවන්ට වටිනා ජීවන කුසලතා ද හිමිවේ.


Leave feedback about this

  • Quality