ඔක්තෝබර් 24, 2025
Varicose Parent Pulse Article Featured Image
වැඩිහිටියන්ගේ සුව දිවිය සුව දිවිය

පාදවල නහර ගැටගැසීම නිසා ඔබත් වේදනාවෙන්ද?

පාදවල නහර ගැට ගැසීම (Varicose Veins) අද බොහෝ දෙනෙකුට ඇති ගැටලුවකි. ‘වෙරිකොස් වෙයින්ස්’ ලෙස හඳුන්වන මේ තත්ත්වය නිසා දෙපා අවලස්සන වෙනවා පමණක් නොව ඒවා පුපුරා ලේ ගැලීමත්, කැසීමත්, සමේ පාට වෙනස් වී දද වැනි දේත් ඇතිවිය හැක.

හෘදය වස්තුවේ සිට ධමනි දිගේ රුධිරය සිරුර පුරා පොම්ප කරනු ලැබේ. එම රුධිරය නැවත හෘදය දෙසට පැමිණීමට අවශ්‍ය තෙරපුම හෙවත් බලය ලබා දෙන්නේ මස් පිඬු සංකෝචනය වීමෙනි. අප ඇවිදින විට අතපය සොලවන විට මස් පිඬු සංකෝචනය වන නිසා ශිරා රුධිරය හෘදය දෙසට ගමන් කරයි.

  • වැඩි වේලාවක් එක තැන සිටගෙන රැකියාවල නියැලෙන්නන් – චලනයක් සිදු නොවන විට ශිරාවල පවතින ලේ ඉහළට ගමන් කිරීමට බලයක් නොලැබෙන නිසාය. බොහෝ විට මහන්සි වී වැඩ කරන අයටත් ඇවිදින අයටත් මේ රෝගයෙන් පීඩාවක් ඇති නොවේ.
  • ශිරාවල ඇති කපාට නිසි ලෙස ක්‍රියාත්මක නොවීම
  • ගර්භණී අවස්ථාව (මේ තත්ත්වය මතු වී පසුව යථා තත්ත්වයට පත් වේ)

නහර ගැට ගැසුණු තැන්වල,

  • අධික වේදනාව
  • කැසීම
  • ලේ ගැලීම
  • පැහැය වෙනස්වීම
  • දද ඇතිවීම
  • වළලුකර ප්‍රදේශයේ ඉදිමුම

මේ සඳහා වෛද්‍ය ප්‍රතිකාරවලට අමතරව භෞත චිකිත්සක ප්‍රතිකාර ද ඇත. මෙවැනි රෝගීන්,

  • නිදාගන්නා විට දෙපා ඉහළට සිටින සේ කොට්ට මත තබා ගෙන පතුල ඉහළට පහළට චලනය කළ යුතුය. එවිට දෙපා තුළ එක් රැස් වී ඇති රුධිරය හෘදය දෙසට ගැලීම පහසු වේ.
  • උදෑසන අවදි වූ පසු දෙපා ඇඳෙන් බිම තැබීමට පෙර ක්‍රේප් බැන්ඩේජයක් මගින් පාදයේ ඇඟිලි ප්‍රදේශයේ සිට ආරම්භ කර දණහිස දක්වා හෝ ඉකිලි ප්‍රදේශය දක්වා වෙලීම කළ යුතුය. එමෙන්ම පතුල ප්‍රදේශයේදී ක්‍රේප් බැන්ඩේජය තදින් වෙලා ඉහළට යත්ම ක්‍රම ක්‍රමයෙන් බුරුල් වන සේ බැඳීම කළ යුතුය. එවිට ගුරුත්වාකර්ශනයට එරෙහිව යන ශිරා රුධිරයට ගමන් කිරීමට බලයක් ඇති වී ගමනාගමනය පහසු වේ.
  • එක දිගට සිටගෙන සිටින රැකියා කරන අය මොහොතින් මොහොත දෙපාවල මාංශ පේශී සංකෝචනය කිරීම වැදගත්ය.
  • භෞත චිකිත්සක ක්‍රමයක් වන විද්‍යුත් ක්‍රමවලින් මෙහිදී මතුවන ඉදිමුම අඩු කර ගත හැක.

දැනුවත් කිරීම සහ සටහන

ආචාර්ය ජාලිය උඩුවැල්ල
ප්‍රධාන භෞත චිකිත්සක
රිජ්වේ ආර්යා ළමා රෝහල

Leave feedback about this

  • Quality