ඔක්තෝබර් 24, 2025
Chikenpox Parent Pulse Article Featured Image
වැඩිහිටියන්ගේ සුව දිවිය සුව දිවිය

පැපොළ ගැන මේ කරුණු ඔබ දැන සිටියාද?

වැරිසෙල්ලා නම් වූ විද්‍යාත්මක නාමයෙන් හැදින්වෙන පැපොල රෝගය හර්පීස් වෛරස පවුලට අයත් වෛරසයක් මගින් ඇති වේ. ස්වසන පද්ධතිය අශ්‍රිතව ඇති වන බෝවන රෝගයක් වන මෙය ඉතා ඉක්මනින් පැතරීමට හැකියාවක් ඇත. රෝගය ඇති වී සුව වුවත් වසර ගණනකට පසුව පෙරට වඩා අවම මට්ටමකින් හෝ යළිත් ඇති වූ අවස්ථා කලාතුරකින් දැකගත හැකිය. රෝගී පුද්ගලයෙකු හා ඇති වන සමීපතාවයන් මත ඉතා ඉක්මනින් බෝ විය හැකියි.

පැපොළ රෝගය ඇති කරනු ලබන වෛරසයේ බීජෞසන සමය දින 10 – 14 පමණ වේ. පැපොළ රෝගය වැළදී නැති පුද්ගලයෙකුහට දින 7කින් හෝ දින 21කින් රෝගය ඇති වීමේ අවදානමක් පවතී. පැපොල රෝගියෙකු ආසාන්නයේ සිටි අයෙකුට දින 21ක් ගතවන තුරුත් රෝගය බෝ වේද නැද්ද යන්න කිව නොහැකි අතරම දින 21කට පසු රෝගය ඇති වීමේ අවදානමක් නොපවතී. එසේ සිදු වන්නේ එන්නත් මගින් හෝ ස්වභාවිකව හෝ ඒ පුද්ගලයාගේ සිරුර තුළ ප්‍රතිශක්තියක් ගොඩ නැගුණු විටදීය.

  • උණ සහ හිසේ වේදනාව
  • ශරීරයේ ඇඟ කොටසේ නැතිනම් බාහුවල කුඩා රත් පැහැ බිබිලි (පසුව එම බිබිලි සුදු පැහැති දිය බිබිලි ලෙස දිස් වේ) ඇති වීම
  • දිනෙන් දින බිබිලි ප්‍රමාණය වැඩි වීම සහ කලින් ඇති වූ බිබිලි සැරව පිරුණු ස්වභාවයක් ඇති වීම

පැපොළ රෝගය ඇති කරන වෛරසය සිරුරට ඇතුළු වී බීජෞසන සමය ගත වූ පසු රෝග ලක්‍ෂණ පෙන්නුම් කෙරේ. මෙසේ ඇති වන දිය බිබිලි සැරව බිබිලි බවට පත්වී ඒ මත කබොල්ලක් හට ගනී. ඒ අතරතෙුරේ තව තවත් අලුත් බිබිලි ඇති වේ. මේ ආකාරයෙන් රෝගය උත්සන්න වූ අවස්ථාවේදී අධික උණ සහ හිසේ වේදනාවක් හට ගනී. කුඩා දරුවන්ට බිබිලි එකක් හෝ දෙකක් ඇති විය හැකි අතරම පළමුව උණ ඇතිවී පසුව බිබිලි ඇතිවීම හෝ පළමුව බිබිලි ඇතිවී පසුව උණ ඇතිවීම යන දෙයාකාරයෙන්ම දැක ගත හැකිය. එසේම පළමු අවස්ථාවෙදි මූහුණේ බිබිලි ඇති වෙන්නේ කලාතුරකිනි.

  • වයස මාසෙට අඩු බිළිදු දරුවන්
  • ගර්භණී මව්වරුන්
  • වයස අවුරුදු පනහට වැඩි වැඩිහිටියන්
  • හෘද රෝගීන්, දියවැඩියා රෝගීන්
  • පිළිකා රෝගීන්
  • ප්‍රතිශක්ති ඌනතා ඇති පුද්ගලයින්
  • ඒඩ්ස් රෝගීන්
  • වකුගඩු බද්ධ කිරීමට ලක් වූ රෝගීන්

වයස අවුරුදු පනහට වැඩි පුද්ගලයෙකුහට පැපොළ රෝගය වැළදුණහොත් සමට අමතරව හෘදය, පෙණහලු, මොළය වැනි අවයව වෙතද බලපෑම් එල්ල කළ හැකි බැවින් ජීවිත අවදානමකට පවා ලක් විය හැකිය. අතීතයේදී පැපොළ රෝගය මෙතරම්ම දරුණු තත්ත්වයක නොපැවතුණත් යම් යම් පාරිසරික සාධක හා වෛරස වෙනස් වීම ඇතුළු බොහොමයක් හේතු මත, අද වන විට රෝගයේ තත්ත්වය දරුණු අතට හැරී ඇත. පැපොළ රෝගය සුව වුවත් ස්නායුවල සැගවී සිට නැවත සක්‍රිය වීමේ හැකියාව, හර්පීස් වෛරසවලට පවතී. එසේ සිරුර තුළ සැගවී තිබී ප්‍රතිශක්තිය අඩුවූ අවස්ථාවක වෙනත් ආකාරයකින් රෝග ලක්‍ෂණ ඇති වනු දැකිය හැකිය.

එම තත්ත්වය හර්පීස් සොස්ටර් හෙවත් ෂින්ගල්ස් ලෙස හැදින්වේ. මෙය ස්නායු තන්තු මගින් සපයනු ලබන සමේ යම් කොටසක බිබිලි ඇති වීමේ තත්ත්වයකි. එය ඉතා භායනක වන්නේ ඇසට සම්බන්ධ ස්නායු තන්තුවල මේ තත්ත්වය ඇති වුව හොත් ඇසේ බිබිලි ඒමත් සමගම ඇස් නොපෙනීයාමටද ඉඩ ඇත. එසේම මෙම තත්ත්වය ඇති වී තුවාල සුව වුවද කාලයක් තිස්සේ ඒ බිබිලි ඇති වූ ස්ථාන වෙතින් වේදනාවක් ඇති වේ. නිවැරදි වෛද්‍ය උපදෙස් මත ඖෂධ වර්ග ලබා ගැනීම මෙහිදී අත්‍යවශ්‍ය වනු ඇත.

අද වන විට සමාජයේ සෑම නිවෙසකම පාහේ පියා මෙන්ම මවද ආර්ථික අරගලයට මැදිහත්ව මුදල් ඉපයීම සඳහා වෙහෙස වන නිසාම මව්වරුන්ද ඉතා කාර්ය බහුලව සිටී. ඔවුන්ට කාර්යාලයීය වැඩ රාජකාරී සමග නිවාඩු ලබා ගනිමින් දරුවන් සමග නිවසේ ගතකිරීමට ලැබෙන අවස්ථා අල්පය. ඒ හේතු නිසා ද රෝගයේ දරුණු බව නිසාද මෙවැනි රෝගී තත්ත්වයන්ගෙන් දරුවන් ආරක්‍ෂා කරගැනීමට ඔවුන් ක්‍රියා කරනු ඇත. සාමන්‍යයෙන් ඇමරිකාව වැනි බටහිර රටවල්වල දරුවන්ට ලබාදෙන සාමාන්‍ය ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ වයස අවුරුද්ද සම්පූර්ණ වූ දරුවන්හට මෙම පැපොළ එන්නත ලබා දීමට නිර්දේෂ කර තිබේ. අපේ රට තුළ මෙතෙක් එවැන්නක් ක්‍රියාත්මකව නැත. නමුත් පෞද්ගලික අංශයේ රෝහල් වෙතින් පැපොළ එන්නත ලබා ගැනීමට අවස්ථාව තිබේ.

පැපොළ රෝගය සඳහා අද වන විට ඖෂධලබා දීම සිදු කෙරෙන අතරම කුඩා දරුවන්ට එවැනි ඖෂධ වර්ග ලබා දීම සැමවිටම අවශ්‍ය නොවේ. මන්ද කුඩා දරුවන්ට රෝගය ඉතා දරුණු තත්ත්වයෙන් ඇති නොවන බැවිනි. නමුත් විශේෂ අවශ්‍යතා මත, එනම් සිරුරේ ප්‍රතිශක්තතිකරණය අඩු වන පරිදි රෝගී තත්ත්වයකට මුහුණ දී සිටින අයෙකුට ඖෂධ ලබා දීම අත්‍යවශ්‍ය වේ. සාමාන්‍යයෙන් වෛරස රෝගයක් දින පහක් ඇතුළත සුව අතට හැරෙන අතරම අලුත හටගත් බිබිලි නොමැති නම් සම මත හට ගත් බිබිලි වියලී උණ ගතිය පහව ගොස් ඇත්නම් දින හතක් ඇතුළත ස්නානය කිරීමේ වරදක් නොමැත. ඒ සඳහා දින විසි එකක් බලා සිටීම හෝ දින හතක් එක් දිගට ස්නානය කිරීම අවශ්‍ය යැයි සිතීම මිත්‍යාවකි. එක් දිනක් ස්නානය කිරීමෙන් තමන්ගේ එදිනෙදා දිවිපෙවෙතට අවතීර්ණ විය හැකිය.

විවේකය අත්‍යවශ්‍යයි – වෛරස රෝග මගින් සිරුරේ අවයවවලට බලපෑම් ඇති කරන නිසාම විවේකය ඉතාමත් අත්‍යවශ්‍යයි. එසේ නොමැති නම් වෛරසය හෘදය, පෙණහලු හා මොළය වැනි ඉන්ද්‍රියයන් කෙරේ බලපෑම් ඇති කළ හැකිය.

දියර වර්ග වැඩිපුර ලබා දෙන අතරම පහසුවෙන් දිරවන ආහාර ලබා දෙන්න – පැපොළ රෝගය වැළදුණු විට මස් මාංශ ආහාරය නුසුදුසු යැයි මතයක් ඇතෙමෙකු තුළ පවතී. එයට විද්‍යත්මක හේතුව වන්නේ ප්‍රෝටීන අධික ආහාර ලබා ගත් විට වෛරසය හොඳින් වර්ධනය වන නිසා එවැනි ආහාර වැඩිපුර ලබා ගැනීම නුසුදුසුය යන්නයි. නමුත් අනිවාර්යයෙන් නිර්මාංශ විය යුතු යැයි නියමයක් නැත.

රුබෙල්ලා මගින් ඇතිවන තත්ත්වයන් තරම්ම බරපතල නොවුනත් පැපොළ රෝගය මගින්ද කළලයට යම් යම් බලපෑම් ඇති කළ හැකිය. ගර්භණී මවකට දරුවා බිහිකරන්නට දින දෙකකට පෙර හෝ දින පහකට පසු පැපොල රෝගය ඇති වුවහොත් බිළිඳාගේ පෙණහලු, මොළය මෙන්ම හෘද වස්තුවේ පේශීවල ආසාධන තත්ත්වයන් ඇති විය හැකිය. එවැනි අවස්ථාවලදී රෝගය ඉතා භයානක වේ. දරුවාගේ සමේ මෙන්ම ඇඟිලිවලද යම් යම් විකෘතිතා ඇති විය හැකිය.

පැපොළ එන්නත ජීවී එන්නතකි. එම නිසා ගර්භණී තත්ත්වයේ සිටින කාන්තාවක් එන්නත ලබා ගැනීම කිසිසේත්ම නොකළ යුතුය. එමෙන්ම විවාහ වීමට බලාපොරොත්තු වන කාන්තාවක් පැපොළ එන්නත ලබාගෙන නොමැති නම් එය ලබා ගත යුත්තේ විවාහ වීමට ප්‍රථම හෝ ගර්භණී වීමට මාස තුනකට ප්‍රථම බව සිහි තබා ගත යුතුය. ඒ පැපොල එන්නත ලබා ගත් කෙනෙකු මාස තුනක් යන තුරු දරුවෙකු පිළිසිඳ ගැනීම, කළලයට අහිකතරය.

අලුත් බිබිලි මතුව තියෙද්දී දරුවන් පාසැල් යැවීම නිසා නීරෝගීව සිටින අනෙකුත් දරුවන්ටද රෝගය බෝවන බැවින් මව්වරුන් ඒ පිළිබඳවද සාධාරණව සිතා බැලීම අනිවාර්ය වේ. තම දරුවාට පාසැල් වඩකටයුතු අතපසු වේ යැයි බියෙන් අනෙක් දරුවන් ගැන නොසිතා තම රෝගී දරුවා ඉක්මනින්ම පාසැලට යැවීම කිසිසේත්ම සුදුසු නොවේ.

එසේම රෝගය හටගත් පසු එන්නත ලබා දීම සුදුසු නොවේ. රෝගය ඇති වීමට ප්‍රථම දරුවාට එන්නත් ලබා දීමට මව්වරුන් කටයුතු කළ යුතුය.
සෑම පුද්ගලයෙකුම පැපොළ රෝගය පිළිබඳව සැලකිලිමත් වෙමින් නියමිත එන්නත් මාත්‍රා නියමිත කාලයට අනුව ලබා ගැනීමට කටයුතු කිරීමෙන් මෙම රෝගය නිසා ඇති වන ශාරීරික අපහසුතා මෙන්ම අනෙකුත් දුෂ්කරතා මගහරවා ගත හැකිය.


Leave feedback about this

  • Quality