ඔක්තෝබර් 24, 2025
Cancer Patient Mental Health Parent Pulse Article Featured Image
මානසික සුව දිවිය සුව දිවිය

පියයුරු පිළිකාවට ප්‍රතිකාර ලබන්නාගේ ශාරීරික මානසික සුවතාවය රැකගන්නේ කෙසේද?

පිළිකාව යන වචනය ඇසූ පමණින්ම හිතට නැගෙන බිය, දුක ගැන අත්දැකීම් රෝගය ඇති නැති භේදයකින් තොරව අපි කවුරුත් හොඳින් දන්නවා. අපි දන්නා හෝ නොදන්නා හෝ කෙනෙකු පිළිකාවට ගොදුරු වී ඇති බව ඇසීමට පවා අපි කිසිවෙකුත් කැමති නැහැ. නමුත් පිළිකා තත්ත්වයකින් සුවය ලබා නැවත සාමාන්‍ය ජීවිතයට පිවිසීමට හැකියාව ලැබුණු අයෙකු එතනින් එහා තම ජීවිතය සාර්ථකව ගත කිරීමට යොමු කිරීමේ වගකීම ඔහු/ඇයගේ පවුල ඇතුළු වටපිටාව සතු කාර්යයක් ලෙස පැවසුවහොත් එය නිවැරදියි. මන්ද පියයුරු පිළිකාවක් වැළඳීම යනු ශාරීරික අභියෝගයක් පමණක් නොවේ. එය රෝගියාගේ මුළු ජීවිතයම උඩු යටිකුරු කරන මානසික කම්පනයක්. ප්‍රතිකාර ක්‍රමවල වේදනාව, ශරීරයේ ස්වභාවය වෙනස් වීම (හිසකෙස් හැලීම, පියයුර ඉවත් කිරීම), සහ අනාගතය පිළිබඳ ඇති බිය හේතුවෙන් රෝගීන්ගේ මානසික සුවතාවය පවත්වා ගැනීම මෙහිදී ඉතාම වැදගත් වෙනවා.

අපි සැමවිටම ප්‍රතිකාර ලබන රෝගීන්ගේ මානසික ශක්තිය වර්ධනය කර ගැනීමටත්, සුවය ලැබූ පසු ගුණාත්මක ජීවිතයක් ගත කිරීමටත් උපකාර විය යුතුය. ඒ සඳහා රෝගියාගේ සමීපතමයන් සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයකි.

පියයුරු පිළිකාවට ප්‍රතිකාර ලබන ඔබේ සමීපතමයාගේ හැඟීම් හඳුනා ගැනීම සහ පිළිගැනීම අවශ්‍ය වන අතරම පිළිකා රෝගය සහ ප්‍රතිකාර නිසා ඇතිවන මානසික පීඩනය සාමාන්‍ය දෙයකි. පහත සඳහන් හැඟීම් අත්විඳීම ස්වාභාවිකය.

  • භීතිය සහ කාංසාව – රෝගය නැවත පැමිණේවි යන බිය, ප්‍රතිකාරවල අතුරු ආබාධ පිළිබඳ බිය.
  • දුක සහ ශෝකය – පියයුරක් හෝ එහි කොටසක් අහිමි වීම, ශරීරයේ ස්වරූපය වෙනස් වීම සහ පෙර ජීවිතය ගැන දුක් වීම.
  • කෝපය සහ කළකිරීම – තමන්ට මෙවැනි දෙයක් සිදු වූයේ ඇයි දැයි සිතා කෝප වීම.
  • තනිකම – සමහර විට තමන්ගේ වේදනාව අන් අයට නොතේරේ යැයි සිතා තනි වීම.

පිළිකා රෝගයට මුහුණ දුන් ඔබ,

  • ඔබේ හැඟීම් පිටකරන්න

ඔබට දැනෙන දේ පිළිගන්න. “අඬන්න එපා” හෝ “ශක්තිමත්ව සිටින්න” වැනි උපදෙස්වලට යට නොවී, ඔබේ හැඟීම් මුදා හරින්න.

  • සටහන් තබන්න (Journaling)

ඔබේ සිතුවිලි සහ හැඟීම් ලිවීමෙන් මානසික පීඩනය අඩු කර ගත හැකිය.
මෙවැනි තත්ත්වයකදී සන්නිවේදනය සහ සමාජ සහයෝගය ඉතා වැදගත් වනු ඇත. පවුලේ අය, මිතුරන් සහ අනෙකුත් සහයෝගය දක්වන්නන් සමඟ සම්බන්ධතාවය ඉතා වැදගත් වේ.

  • ඔබට දැනෙන දේ පවුලේ අය සමඟ විවෘතව කතා කරන්න. උපකාර අවශ්‍ය විටදී ඔවුන්ගෙන් උදව් ඉල්ලන්න පසුබට නොවන්න.
  • පියයුරු පිළිකාවෙන් පෙළෙන වෙනත් රෝගීන් හමුවන්න. එකම අත්දැකීම් ඇති අය සමඟ කතා කිරීම තනිකම නැති කර ගැනීමටත්, නව ජීවිතයට මුහුණ දීමට ශක්තිය ලබා ගැනීමටත් උපකාරී වේ.
  • පිළිකා රෝගීන් සඳහා විශේෂඥ මනෝ වෛද්‍යවරයකුගේ හෝ උපදේශකවරයකුගේ සහාය ලබා ගැනීම ඉතා ප්‍රයෝජනවත්ය. ඔවුන් මානසික පීඩනය කළමනාකරණය කර ගැනීමට විද්‍යාත්මක ක්‍රමවේදයන් උගන්වනු ඇත.

එසේම ශරීරය සහ සෞඛ්‍යය කෙරෙහි අවධානය යොමු කිරීම ද ඉතාම වැදගත් කරුණකි. ප්‍රතිකාර අතරතුර සහ ඉන් පසු ශරීරයේ ස්වරූපය වෙනස් වුවද, සෞඛ්‍ය සම්පන්න පුරුදු මගින් මානසික සුවතාවය නංවාලිය හැකිය.

  • වෛද්‍ය උපදෙස් පරිදි සැහැල්ලු ව්‍යායාම (ඇවිදීම, යෝගා) කිරීම මානසික අවපීඩනය සහ විඩාව අඩු කරයි.
  • පෝෂ්‍යදායී ආහාර වේලක් පවත්වා ගැනීම ප්‍රතිකාරවලින් පසු සුවය ලැබීමටත්, ශක්තිමත්ව සිටීමටත් උපකාරී වේ.
  • දිනකට පැය 7-8ක ප්‍රමාණවත් නින්දක් ලබා ගැනීම මානසික පීඩනය පාලනයට අත්‍යවශ්‍යයි.
  • පියයුර ඉවත් කළේ නම්, පියයුරු ප්‍රතිනිර්මාණ සැත්කම් හෝ කෘත්‍රිම පියයුරු (Prosthesis) භාවිතා කිරීම මගින් ශරීරයේ ස්වරූපය පිළිබඳ විශ්වාසය නැවත ගොඩනගා ගත හැකිය. රසායනික ප්‍රතිකාරවලදී හිසකෙස් හැලී ඇත්නම්, විග් (wig) හෝ තොප්පි භාවිතය මානසික සුවතාවයට උපකාරී වේ.

පිළිකාව වැළඳීමත් සමඟ ජීවිතය පිළිබඳ පාලනයක් නොමැති බවක් දැනෙන්නට පුළුවන. නැවත පාලනය ලබා ගැනීමට පහත දේ කරන්න. ඒ සඳහා ඔබේ සමීපතමයා යොමු කරන්න.

  • ඔබේ රෝගය සහ ප්‍රතිකාර ගැන නිවැරදි තොරතුරු වෛද්‍යවරුන්ගෙන් විමසා දැන ගන්න. දැනුවත් වීමෙන් බිය අඩු කර ගත හැකිය.
  • ප්‍රතිකාර තීරණ ගැනීමට වෛද්‍ය කණ්ඩායම සමඟ සාකච්ඡා කර සහභාගී වන්න.
  • භාවනාව (Meditation), ගැඹුරු හුස්ම ගැනීම (Deep Breathing) සහ සන්සුන් සංගීතයට සවන් දීම මානසික ආතතිය අඩු කිරීමට උපකාරී වේ.

දැන් ඔබ අලුත් බලාපොරොත්තු සහ ඉලක්ක කරා යාමට සූදානම් වන්න. පිළිකාව යනු ජීවිතයේ අවසානය නොව, නව ආරම්භයකි.

  • ඔබ ප්‍රිය කරන විනෝදාංශ, චිත්‍ර ඇඳීම, ගෙවතු වගාව හෝ කියවීම වැනි දේ සඳහා කාලය වෙන් කරන්න.
  • සෑම දිනකම ඔබට කළ හැකි කුඩා ඉලක්ක තබා ඒවා ඉටු කරන්න. (උදා: විනාඩි 10ක් ඇවිදීම, නව ආහාර වට්ටෝරුවක් උත්සාහ කිරීම).
  • ඔබගේ ආගමික හෝ ආධ්‍යාත්මික විශ්වාසයන් ශක්තිමත් කිරීම මානසික සැනසීම ලබා දෙයි.
  • පියයුරු පිළිකා රෝගීන්ට මානසික සුවතාවය යනු ප්‍රතිකාරයෙන් පසු නැවත ගොඩනැඟිය යුතු ක්‍රියාවලියකි. මේ සඳහා රෝගියාගේ කැපවීම, පවුලේ සහයෝගය සහ වෘත්තීය උපදේශනය ඉතා වැදගත් වේ. ජීවිතය ඉදිරියට ගෙන යාමට ඇති ආශාව තුළින් මෙම අභියෝගය ජය ගත හැකිය.

දැනුවත් කිරීම

ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මිය
සූතිකා පුහුණු හෙද නිළධාරිනි
නවජ සූති දැඩි සත්කාර ඒකකය
පළාත් මහ රෝහල, කුරුණෑගල

Leave feedback about this

  • Quality