පියයුරු පිළිකාව සඳහා ප්‍රතිකාර තීරණය කරනු ලබන්නේ පිළිකාවේ අවධිය (මුල් අවධියේද නැතහොත් පැතිරී ඇත්ද), පිළිකා සෛලවල ජෛවීය ස්වභාවය (හෝමෝන ප්‍රතිග්‍රාහක තිබේද, HER2 තත්ත්වය) සහ රෝගියාගේ සාමාන්‍ය සෞඛ්‍ය තත්ත්වය වැනි සාධක ගණනාවක් සලකා බැලීමෙන් පසුව ය. පියයුරු පිළිකා සඳහා ප්‍රතිකාර ක්‍රම කිහිපයක් ඇති අතර, බොහෝ විට රෝගියෙකුට මෙම ක්‍රම කිහිපයක එකතුවක් (Multimodal Treatment) නිර්දේශ කරනු ලැබේ.
1. ශල්‍ය ප්‍රතිකාර (Surgery)
ශල්‍යකර්ම යනු පියයුරු පිළිකා ප්‍රතිකාරයේ ප්‍රධානතම කොටසකි.
- පියයුරු සංරක්ෂණ සැත්කම් (Breast Conserving Surgery – BCS)
මෙහිදී සිදු කරනු ලබන්නේ පිළිකා ගැටිත්ත සහ ඒ අවට ඇති සාමාන්‍ය පටක කුඩා ප්‍රමාණයක් පමණක් ඉවත් කිරීමයි. පියයුරේ වැඩි කොටසක් ඉතිරි කරනු ලැබේ. මුල් අවධියේ ඇති කුඩා පිළිකා සඳහා මෙම ක්‍රමය සුදුසු වේ. මෙම සැත්කමෙන් පසු ඉතිරි වූ පියයුරු පටකවල ඉතිරි විය හැකි පිළිකා සෛල විනාශ කිරීම සඳහා විකිරණ ප්‍රතිකාර (Radiotherapy) ලබා දීම අනිවාර්ය වේ.
- මුළු පියයුරම ඉවත් කිරීම (Mastectomy)
පිළිකාව විශාල නම්, පියයුරේ කොටසකට වඩා පැතිරී ඇත්නම් හෝ රෝගියාට විකිරණ ප්‍රතිකාර ලබා දිය නොහැකි නම්, මුළු පියයුරම ඉවත් කරනු ලැබේ. බොහෝ අවස්ථාවලදී, මුළු පියයුරම ඉවත් කිරීමෙන් පසු පියයුරු ප්‍රතිනිර්මාණය (ශල්‍යකර්මයක් මගින් නැවත පියයුරක් සෑදීම) සිදු කිරීමට අවස්ථාව ද තිබේ.
- වසා ගැටිති සැත්කම් (Lymph Node Surgery)
පියයුරු පිළිකාව වසා ගැටිති දක්වා පැතිරී ඇත්දැයි බැලීමට කිහිල්ලේ ඇති වසා ගැටිති පරීක්ෂා කරනු ලැබේ. පිළිකා සෛල පළමුවෙන්ම යා හැකි වසා ගැටිති පමණක් ඉවත් කර පරීක්ෂා කර පිළිකාව පැතිරී නොමැති නම් අනෙකුත් ගැටිති ඉවත් නොකරයි. පිළිකාව වසා ගැටිති වලට පැතිරී ඇත්නම්, එම ප්‍රදේශයේ වසා ගැටිති වැඩි ප්‍රමාණයක් ඉවත් කරනු ලැබේ.
2. පිළිකා නාශක ඖෂධ ප්‍රතිකාර (Systemic Therapy)
ශරීරය පුරා ගමන් කර පිළිකා සෛල විනාශ කිරීමට හෝ ඒවායේ වර්ධනය පාලනය කිරීමට මෙම ප්‍රතිකාර භාවිතා කරයි. ශල්‍යකර්මයට පෙර (පිළිකාව හැකිලීමට) හෝ ශල්‍යකර්මයෙන් පසු (ඉතිරි වූ සෛල විනාශ කිරීමට) මෙය ලබා දේ.
- රසායනික චිකිත්සාව (Chemotherapy)
පිළිකා සෛල වේගයෙන් බෙදීම නවත්වන ප්‍රබල ඖෂධ භාවිත කිරීම සිදුවන අතරම ශල්‍යකර්මයට පෙර (Neoadjuvant) විශාල පිළිකාවක් හැකිලීමට, එමඟින් පියයුරු සංරක්ෂණ සැත්කමක් කිරීමට අවස්ථාව සලසා දීමටත් ශල්‍යකර්මයෙන් පසු (Adjuvant)ශරීරයේ වෙනත් තැනක ඉතිරි වී ඇති සුළු පිළිකා සෛල විනාශ කිරීමටත් මෙම චිකිත්සාව උපයෝගී වේ.
- හෝමෝන ප්‍රතිකාරය (Hormone Therapy)
සමහර පියයුරු පිළිකා (HR+) වර්ධනය වීමට ඊස්ට්‍රජන් වැනි හෝමෝන අවශ්‍ය වේ. එනම් හෝමෝන මත රඳා පවතින පිළිකා සඳහා ටැමොක්සිෆෙන් (Tamoxifen), ඇරොමැටේස් නිෂේධක (Aromatase Inhibitors) වැනි ප්‍රතිකාර මගින් හෝමෝනවල බලපෑම නවත්වයි..
- ඉලක්කගත ප්‍රතිකාර (Targeted Therapy)
පිළිකා සෛලවල වර්ධනයට අදාළ නිශ්චිත අණු හෝ ප්‍රෝටීන ඉලක්ක කර ගනිමින් ප්‍රතිකාර කිරීම මෙහිදී සිදු වන අතරම HER2 ධනාත්මක පිළිකා සඳහා භාවිත කරන ට්‍රැස්ටුසුමාබ් (Trastuzumab – Herceptin) වැනි ඖෂධ යොදා ගනී.
- ප්‍රතිශක්තිකරණ චිකිත්සාව (Immunotherapy)
රෝගියාගේම ප්‍රතිශක්තිකරණ පද්ධතිය උත්තේජනය කිරීම මඟින් පිළිකා සෛල හඳුනාගෙන විනාශ කිරීමට සැලැස්වීම මේ ක්‍රමයේදී සිදු වේ.
3. විකිරණ ප්‍රතිකාරය (Radiation Therapy / Radiotherapy)
පිළිකා සෛල විනාශ කිරීම සඳහා අධි ශක්ති X-කිරණ හෝ වෙනත් ආකාරයේ විකිරණ භාවිත කෙරෙන අතරම ඒවා ලබා දෙන්නේ පියයුරු සංරක්ෂණ සැත්කමෙන් පසු පියයුරේ ඉතිරිව ඇති ප්‍රදේශයට හෝ මුළු පියයුරම ඉවත් කිරීමෙන් පසු පිළිකාව විශාල නම් හෝ කිහිල්ලේ වසා ගැටිති වලට පැතිරී ඇත්නම් පපුවේ බිත්තියට හෝ වසා ගැටිති ඉවත් කිරීමෙන් පසු කිහිල්ලේ ප්‍රදේශයේ ඉතිරි විය හැකි සෛල විනාශ කිරීමටයි.
පියයුරු පිළිකා ප්‍රතිකාර සැලැස්ම සෑම රෝගියෙකුටම අදාළ වන පරිදි වෛද්‍ය කණ්ඩායමක් (ශල්‍ය වෛද්‍ය, පිළිකා රෝග වෛද්‍ය, විකිරණවේදීන් ඇතුළු) විසින් සකස් කරනු ලබයි. මුල් අවධියේදී පිළිකාව හඳුනා ගන්නේ නම්, බොහෝ අවස්ථාවලදී පියයුර ආරක්ෂා කර ගනිමින් සාර්ථක ප්‍රතිකාර ලබා දීමට හැකියාව ඇත. ඔබට හෝ ඔබ දන්නා කෙනෙකුට මෙම තත්ත්වය ඇත්නම්, වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හෝ පිළිකා සායනයක් සම්බන්ධ කර ගැනීම ඉතා වැදගත් වේ.
දැනුවත් කිරීම
ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මිය
සූතිකා පුහුණු හෙද නිළධාරිනි
නවජ සූති දැඩි සත්කාර ඒකකය
පළාත් මහ රෝහල, කුරුණෑගල
Leave feedback about this