ඔක්තෝබර් 23, 2025
Breast Cancer Awareness Article Parent Pulse Featured Image
වැඩිහිටියන්ගේ සුව දිවිය සුව දිවිය

පියයුරු පිළිකා හැදෙන්නේ කාටද?

පියයුරු පිළිකාව යනු ශ්‍රී ලංකාවේ මෙන්ම ලොව පුරා කාන්තාවන් අතර බහුලවම වාර්තා වන පිළිකා වර්ගයයි. පියයුරේ සෛල අසාමාන්‍ය ලෙස වර්ධනය වීමෙන් මෙම තත්ත්වය ඇති වේ. පියයුරු පිළිකා ඇතිවීමට නිශ්චිත හේතුවක් නොමැති වුවත්, ඇතැම් අවදානම් සාධක) මඟින් යම් පුද්ගලයෙකුට එය වැළඳීමේ සම්භාවිතාව ඉහළ යයි. මෙම සාධක මූලිකවම කොටස් දෙකකට බෙදිය හැකිය:

මෙම සාධක අපට වෙනස් කිරීමට හෝ පාලනය කිරීමට නොහැකි වන අතර, ඔබ ඒවා ගැන දැනුවත් වීම වැදගත්ය.

  • කාන්තාවක් වීම – පියයුරු පිළිකා ඇතිවීමේ අවදානම පිරිමින්ට වඩා කාන්තාවන්ට සිය ගුණයකින් පමණ වැඩිය.
  • වයස්ගත වීම – වයස අවුරුදු 50 ට වැඩි කාන්තාවන් අතර අවදානම ක්‍රමයෙන් වැඩිවේ. බොහෝ පියයුරු පිළිකා හඳුනාගනු ලබන්නේ වයස අවුරුදු 50 න් පසුවයි.
  • පවුල් ඉතිහාසය සහ ජානමය සාධක – මවට, සහෝදරියට හෝ දියණියට (ලේ ඥාතීන්ට) පියයුරු හෝ ඩිම්බකෝෂ පිළිකා වැළඳී ඇත්නම් අවදානම ඉහළ යයි. (මෙය සමස්ත රෝගීන්ගෙන් 5% – 10% අතර සුළු ප්‍රමාණයකට බලපායි.)
  • ආර්තව චක්‍රය – ළාබාල වයසින් වැඩිවියට පත්වීම එනම් වයස අවුරුදු 12 ට පෙර ඔසප් වීම ආරම්භ වීම මෙන්ම ප්‍රමාද වී ආර්තවහරණය සිදුවීම එනම් වයස අවුරුදු 55 න් පසු ආර්තවහරණය සිදුවීම. මෙමඟින් කාන්තාවකගේ ජීවිත කාලය පුරාම ඊස්ට්‍රජන් හෝමෝනයට නිරාවරණය වන කාලය වැඩි කරයි.
  • පියයුරේ ඝනත්වය – මේද පටකවලට වඩා ග්‍රන්ථි හා තන්තුමය පටක වැඩිවීම (ඝන පියයුරු) පිළිකා අවදානම වැඩි කරයි.
  • පියයුරුවල පෙර පැවති රෝගී තත්ත්ව – මීට පෙර එක් පියයුරකට පිළිකාවක් වැළඳී ඇත්නම් හෝ ඇතැම් පිළිකා නොවන පියයුරු රෝග වැලදී තිබීම

මෙම සාධක පාලනය කිරීම හෝ වෙනස් කිරීම මඟින් පිළිකා අවදානම අවම කරගත හැකියි.

  • දරුවන් ලැබීමේ රටාව – දරුවන් නොමැති වීම, වයස අවුරුදු 30 න් පසු පළමු දරුවා ලැබීම, දරුවන්ට මව්කිරි නොදීම (මව්කිරි දීමෙන් අවදානම අඩු වේ).
  • ශරීර බර සහ ව්‍යායාම – ස්ථුලතාවය (විශේෂයෙන් ආර්තවහරණයෙන් පසු) නිසා ශරීරයේ ඇති මේද සෛල අතිරේක ඊස්ට්‍රජන් නිපදවීම මගින් අවදානම වැඩි කළ හැකියි. ශාරීරික ක්‍රියාකාරකම් නොමැති වීමයි.
  • හෝමෝන ප්‍රතිකාර – ආර්තවහරණයෙන් පසු දීර්ඝ කාලයක් හෝමෝන ප්‍රතිකාර (Estrogen and Progesterone ඒකාබද්ධව) ලබා ගැනීම. උපත් පාලන පෙති දිගු කාලීනව භාවිත කිරීම (මෙම අවදානම ඉතා සුළු වන අතර, පෙති ගැනීම නැවැත්වීමෙන් පසු අවදානම සාමාන්‍ය තත්ත්වයට පත් වේ) දැක්විය හැකිය.
  • මත්පැන් භාවිතය, දුම් පානය – මත්පැන් අධික ලෙස පානය කිරීම (දිනකට වීදුරුවකට වඩා වැඩි ප්‍රමාණයක්) අවදානම ඉහළ නංවයි. එසේම සක්‍රීය දුම්පානය මෙන්ම අක්‍රීය දුම්පානය ද අවදානම් සාධකයකි.

මෙම සාධක මෙසේ වුවද කිසිදු අවදානම් සාධකයක් නොමැති අයට පවා පියයුරු පිළිකා වැළඳිය හැකි අතර, අවදානම් සාධක සහිත සියලු දෙනාටම එය වැළඳෙන්නේ ද නැත. එම නිසා, අවදානම් සාධක කුමක් වුවත්, මුල් අවධියේ හඳුනාගැනීම ජීවිතය බේරා ගැනීමට ඇති හොඳම මාර්ගයයි.

පියයුරු පිළිකාව මුල් අවධියේදී හඳුනා ගැනීම ප්‍රතිකාරවල සාර්ථකත්වයට සහ සුවය ලැබීමේ සම්භාවිතාවට අත්‍යවශ්‍ය වේ. මේ සඳහා ප්‍රධාන වශයෙන් පරීක්ෂණ ක්‍රම තුනක් භාවිත කෙරේ.

  • මාසිකව ස්වයං පියයුරු පරීක්ෂාව
  • සායනික පියයුරු පරීක්ෂාව
  • මැමෝග්‍රැෆි (Mammography) පරීක්ෂාව
  1. ස්වයං පියයුරු පරීක්ෂාව

මෙය වඩාත් මූලික සහ වැදගත්ම පරීක්ෂණය වන අතර, ඕනෑම කාන්තාවක් නිතිපතා තමා විසින්ම සිදු කළ යුත්තකි.

දැනුවත් බව වර්ධනය කිරීම – ඔබේ පියයුරුවල සාමාන්‍ය ස්වභාවය, හැඩය සහ දැනෙන ආකාරය පිළිබඳව ඔබම දැනුවත් වීම මෙහි ප්‍රධාන අරමුණයි.
වෙනස්වීම් හඳුනා ගැනීම – මාසිකව මෙම පරීක්ෂණය කිරීම මඟින්, සාමාන්‍ය ස්වභාවයෙන් බැහැරව සිදුවන සුළු වෙනස්කම් පවා මුල් අවධියේදී හඳුනා ගැනීමට හැකියාව ලැබේ.

වයස අවුරුදු 20 ට වැඩි සියලුම කාන්තාවන් මසකට වරක් ස්වයං පියයුරු පරීක්ෂාවට යොමු විය යුතු අතරම ඒ සඳහා සුදුසුම කාලය වන්නේ ඔසප් ආරම්භ වී සතියකට පසුව එනම් දින 7 – 10 අතර (මෙම කාලයේදී පියයුරු අඩුම සංවේදීතාවයකින් යුක්ත වන බැවින් ගැටිති හොඳින් හඳුනාගත හැක.) කාලයයි. ආර්තවහරණය වූ කාන්තාවන්ට සෑම මසකම පහසු එක් දිනයක් තෝරාගෙන පරීක්ෂා කළ හැකිය.

පළමු පියවර
නිරීක්ෂණය : කැඩපතක් ඉදිරිපිට සිටගෙන, අත් විවිධ ඉරියව්වල (දෙපස තබා, ඉඟ මත තබා, හිසට උඩින් තබා) තබා පියයුරුවල හැඩයේ, ප්‍රමාණයේ හෝ සමෙහි (රතු පැහැය, වල ගැසීම, තුවාල) සිදුවී ඇති වෙනස්කම් නිරීක්ෂණය කරන්න.

දෙවන පියවර
ස්පර්ශය : සිටගෙන හෝ වැතිරී සිටින විට, ඇඟිලි තුඩු භාවිත කර පියයුරේ සෑම කොටසක්ම (කිහිල්ල අවට ප්‍රදේශය ද ඇතුළුව) මෘදු, මධ්‍යම සහ තද පීඩනයන්ගෙන් අල්ලා ගැටිති, ඝන වීම් හෝ වේදනාකාරී බවක් තිබේදැයි පරීක්ෂා කරන්න.

මෙය පුහුණු සෞඛ්‍ය නිලධාරියෙකු (වෛද්‍යවරයෙකු, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණියක් හෝ හෙද නිලධාරිණියක්) විසින් සිදු කරනු ලබන ශාරීරික පරීක්ෂාවකි.
සායනික පියයුරු පරීක්ෂාවේදී, ස්වයං පරීක්ෂාවට වඩා නිවැරදිව හා ගැඹුරින් පියයුරු පටක පරීක්ෂා කළ හැකි වන අතරම හඳුනාගත් ඕනෑම වෙනසක් පිළිබඳව විශේෂඥ මතයක් ලබා ගැනීමට අවස්ථාව හිමි වේ.

සායනික පියයුරු පරීක්ෂාව සඳහා වයස අවුරුදු 20 – 40 අතර කාන්තාවන් වසර 3 කට වරක්වත් සිදු කළ යොමු විය යුතු අතරම අවුරුදු 40 ට වැඩි කාන්තාවන් වසරක් පාසාද යොමු විය යුතු අතරම තම පියයුරේ පියයුරුවල අසාමාන්‍ය වෙනසක් (ගැටිත්තක් වැනි) හඳුනා ගත් කාන්තාවක් වේ නම් වයස නොතකා හැකි ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබාගත යුතුය.

මැමෝග්‍රැෆි යනු පියයුරේ අභ්‍යන්තර ව්‍යුහය පරීක්ෂා කිරීම සඳහා භාවිත කරන අඩු මාත්‍රාවේ X-කිරණ පරීක්ෂාවකි.

මැමෝග්‍රැෆි පරීක්ෂාව මගින් ස්වයං පරීක්ෂාවේදී හෝ සායනික පරීක්ෂාවේදී අතට හසු නොවන, ඉතා කුඩා (සෙන්ටිමීටර 1ට වඩා කුඩා) ගැටිති හෝ පිළිකා සෛලවල පෙර අවස්ථා (Microcalcifications) පවා හඳුනාගත හැකිය. පිළිකා අවදානම ඉහළ කාන්තාවන් සඳහා මෙය අත්‍යවශ්‍ය වේ.

සාමාන්‍යයෙන් අවදානමක් නොමැති කාන්තාවන් සඳහා අවුරුදු 40 හෝ 45 න් පසු මැමෝග්‍රැෆි පරීක්ෂාව සදහා නිර්දේශ කරන අතරම වයස් කාණ්ඩය අනුව වෛද්‍ය නිර්දේශය මත අවුරුදු 1 සිට 3 දක්වා කාල පරතරයකින් සිදු කළ යුතුය. නමුත් පවුලේ පිළිකා ඉතිහාසය වැනි ඉහළ අවදානම් සාධක ඇති අය වෛද්‍ය උපදෙස් මත ඊට පෙර වයසකදී මෙම පරීක්ෂණය ආරම්භ කළ යුතුය.

පියයුරු පිළිකා හඳුනා ගැනීමේදී අවශ්‍ය වන අතිරේක පරීක්ෂණ ලෙස අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් (ගැටිත්තක ස්වභාවය (ඝන හෝ දියරමය) හඳුනා ගැනීමට මැමෝග්‍රැෆි සමඟ අතිරේකව හෝ තරුණ කාන්තාවන් සඳහා යොදා ගනී), ජෛව පරීක්ෂාව එහෙමත් නැතිනම් අපි අසා ඇති පරිදි Biopsy (පිළිකා සෛල තිබේදැයි තහවුරු කර ගැනීම සඳහා ගැටිත්තකින් පටක සාම්පලයක් ලබාගෙන පරීක්ෂා කිරීම), ත්‍රිත්ව තක්සේරුව එනම් Triple Assessment (පිළිකාවක් තහවුරු කිරීමට මෙම ක්‍රමවේද තුන සායනික පරීක්ෂාව, රූපමය පරීක්ෂණ සහ ජෛව පරීක්ෂාව) යන පරීක්ෂණ සිදු කරයි. මේ සියල්ල වෛද්‍යවරයා ඔබව පරීක්ෂා කිරීමෙන් අනතුරුව අවශ්‍යතාවය මත සදුකෙරෙන අතරම ඔබ ඔබේ පියයුරු නිරෝගී දැයි සැකහැර දැන ගැනීම වඩාත් වැදගත් වේ. ප්‍රතිකාර සාර්ථක වීමට වැදගත් වන්නේ තත්ත්වය කලින් හඳුනා ගැනීමයි.


දැනුවත් කිරීම

ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මිය
සූතිකා පුහුණු හෙද නිළධාරිනි
නවජ සූති දැඩි සත්කාර ඒකකය
පළාත් මහ රෝහල, කුරුණෑගල

Leave feedback about this

  • Quality