ඔව්, ඔවුන්ටත් පියයුරු පිළිකාව වැළඳිය හැකිය. කාන්තාවන්ට සාපේක්ෂව පිරිමින් අතර මෙම තත්ත්වය ඉතා දුර්ලභ වුවත්, එය කිසිසේත් නොසලකා හැරිය යුතු රෝගී තත්ත්වයක් නොවේ.
පිරිමින්ට ද තන පුඩු හා ඒ අවට පියයුරු පටක (Ducts සහ Lobules) ඇත. මෙම පටක කාන්තාවන්ට මෙන් වර්ධනය වී නොතිබුණත්, පිළිකා සෛල ඇතිවීම සඳහා අවශ්‍ය පටක ඔවුන්ගේ ශරීරයේ ද පවතී. ලෝක සෞඛ්‍ය සංවිධාන දත්ත වලට අනුව, සමස්ත පියයුරු පිළිකා රෝගීන්ගෙන් 1% කටත් වඩා අඩු ප්‍රමාණයක් පිරිමි අය වුවත් මෙම අඩු අනුපාතය නිසා ඇතිවන නොසැලකිල්ල රෝගය කල් පසුවීමට හේතු විය හැකිය. කාන්තාවන්ට මෙන්ම, පිරිමි පියයුරු පිළිකා බොහෝ විට වැඩිහිටි වියේදී, එනම් වයස අවුරුදු 60 හෝ 70 පමණ වන විට හඳුනා ගනී.
පිරිමින්ගේ පියයුරු පටක අඩු බැවින්, පිළිකා ගැටිති කාන්තාවන්ට වඩා පහසුවෙන් හඳුනාගත හැකිය. පහත දැක්වෙන රෝග ලක්ෂණ ඇත්නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වැදගත්ය.
- පියයුරේ හෝ තන පුඩුව අවට ගැටිත්තක් හෝ ඉදිමීමක් – මෙය සාමාන්‍යයෙන් වේදනාවකින් තොරව තිබිය හැකිය.
- සමේ වෙනස්වීම් – පියයුරේ සම රතු වීම, ගිලී යාම (dimpling), හෝ දොඩම් ලෙල්ලක ස්වභාවය ගැනීම.
- තන පුඩුවේ වෙනස්වීම් – තන පුඩුව ඇතුළට ගිලී යාම (inversion), කැසීම හෝ තුවාල වීම.
- තන පුඩුවෙන් ශ්‍රාවයක් පිටවීම – පැහැදිලි හෝ ලේ මිශ්‍ර තරලයක් පිටවීම.
- කිහිල්ලේ ගැටිති – කිහිල්ලේ වසා ගැටිති (Lymph nodes) ඉදිමීම.
පිරිමින්ට පියයුරු පිළිකා ඇතිවීමේ අවදානම වැඩි කරන සාධක කාන්තාවන්ගේ සාධකවලට සමාන වන නමුත්, ඔවුන්ට විශේෂිත වූ සාධක ද පවතී:
- වයස්ගත වීම.
- පියයුරු පිළිකා ඇති පවුල් ඉතිහාසයක් තිබීම.
- පියයුරු පිළිකා අවදානම (විශේෂයෙන් BRCA2 පිරිමින්ට වැඩි අවදානමක් ගෙනදේ) වැඩි කරන ජානමය විකෘතිතා උරුම වීම.
- අක්මා රෝග (සිරෝසිස්), අධික තරබාරුව හෝ හෝමෝන ප්‍රතිකාර ලබා ගැනීම නිසා ඊස්ට්‍රජන් (Estrogen) හෝමෝන මට්ටම ඉහළ යාම
- පිරිමින් X වර්ණදේහයකට වඩා තිබීම නිසා හෝමෝන අසමතුලිතතාවයක් ඇතිවන දුර්ලභ ජානමය (ක්ලයින්ෆෙල්ටර් සහලක්ෂණය – Klinefelter Syndrome) තත්ත්වයක
- පපුව පෙදෙස විකිරණවලට නිරාවරණය වන ආකාරයේ ප්‍රතිකාර වෙත යොමු වීම
පියයුරු පිළිකාව යනු බහුල වශයෙන් කාන්තාවන්ට වැළඳෙන රෝගයක් වුවද, එය ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව ඕනෑම අයෙකුට වැළඳිය හැකි තත්ත්වයකි.
පිරිමින්ට ද පියයුරු පටක ඇති බැවින්, තමන්ගේ ශරීරයේ ඇතිවන ඕනෑම අසාමාන්‍ය වෙනසක් පිළිබඳව සැලකිලිමත් වීම ඉතා වැදගත්ය. මට පියයුරු පිළිකාවක් හැදෙන්නේ නැහැ යන වැරදි ආකල්පය නිසා රෝගය හඳුනා ගැනීම ප්‍රමාද වීමෙන් ප්‍රතිකාර කිරීම අපහසු විය හැකිය.අන්න ඒ නිසාම පිරිමි පියයුරු පිළිකා දුර්ලභ වුවත්, ප්‍රතිකාර සහ සත්කාර කිරීමේදී සැලකිල්ලට ගත යුතු විශේෂිත අංශ ඇත.
පිරිමින්ගේ පියයුරු පිළිකා බොහෝ විට ප්‍රමාද වී හඳුනා ගැනීමේ අවදානමක් ඇත. පිරිමින්ගේ පියයුරු පටක අඩු බැවින් පිළිකාව උරස් බිත්තියට (chest wall) සහ අවට පටක වලට ඉක්මනින් පැතිර යා හැක. එබැවින්, රෝග විනිශ්චය වූ පසු, පිළිකාවේ අවධිය (Stage) සහ පැතිරීම නිවැරදිව තීරණය කිරීම (CT, PET, අස්ථි ස්කෑන් වැනි පරීක්ෂණ මගින්) ඉතා වැදගත් වේ.
පිරිමි පියයුරු පිළිකා සඳහා බහුලවම සිදු කරන්නේ සම්පූර්ණ පියයුර ඉවත් කිරීමේ සැත්කම (Mastectomy) ය. කාන්තාවන් සඳහා වන පියයුරු සංරක්ෂණ සැත්කම් (Lumpectomy) පිරිමින්ට එතරම් සුදුසු නොවිය හැකිය.
පිරිමි පියයුරු පිළිකා සඳහා ජානමය හේතු බලපාන සම්භාවිතාව සාමාන්‍යයෙන් වැඩිය. BRCA2 ජානයේ විකෘතිතාවය පිරිමි පියයුරු පිළිකා සඳහා ඇති ප්‍රධානතම ජානමය අවදානම් සාධකය වේ. BRCA1 විකෘතිතා ද අවදානම ඉහළ නංවයි. පිළිකාව වැළඳුණු පිරිමියෙකු ජාන පරීක්ෂණයක් (Genetic Testing) සිදු කළ යුතුම වේ. එය ඔහුගේ ප්‍රතිකාර සැලැස්මට (උදා: PARP inhibitor වැනි ඉලක්කගත ප්‍රතිකාර) උපකාරී විය හැක. එමෙන්ම තම දරුවන්ට සහ පවුලේ සෙසු සාමාජිකයින්ට එම ජානමය අවදානම තිබේදැයි දැනුවත් කිරීමට සහ ඔවුන්ට අවශ්‍ය පරීක්ෂණ (Screening) සහ වළක්වා ගැනීමේ ක්‍රම (Prevention) අනුගමනය කිරීමට හැකි වේ.
තවද පිරිමින්ගේ පියයුරු පිළිකා බොහෝ විට හෝමෝන-සංවේදී වේ. පිරිමින්ගේ පියයුරු පිළිකා වලින් 90% ක් පමණ ඊස්ට්‍රජන් ප්‍රතිග්‍රාහක ධනාත්මක (Estrogen Receptor-Positive) වේ. එබැවින්, හෝමෝන චිකිත්සාව (Hormonal Therapy) ප්‍රතිකාර සැලැස්මේ ඉතා වැදගත් කොටසක් බවට පත් වේ. මෙම ප්‍රතිකාරය වසර ගණනාවක් ගත කිරීමට සිදුවන බැවින්, අතුරු ආබාධ කළමනාකරණය කිරීම වැදගත් වේ.
පිරිමින්ට පියයුරු පිළිකා වැළඳීම නිසා ඇතිවන මානසික බලපෑම ඉහළය. පියයුරු පිළිකා කාන්තා රෝගයක් ලෙස පොදුවේ සලකන බැවින්, පිරිමින්ට රෝගය හඳුනාගැනීම ප්‍රමාද විය හැකි අතර, නිවැරදි තොරතුරු සහ සහාය සොයා ගැනීම අපහසු විය හැකිය. තමාගේ අත්දැකීම් තේරුම් ගන්නා වෙනත් පිරිමි රෝගීන් සමඟ සම්බන්ධ වීමට ඇති අවස්ථා සීමිත විය හැකිය. එබැවින් අත්දැකීඹ් සහිත පිරිස් සමග හෝ අන්තර්ජාලය හරහා සහාය ලබා ගැනීම වැදගත් වේ.
පියයුර ඉවත් කිරීමේ සැත්කමකින් (Mastectomy) පසු ශරීරයේ රූපය වෙනස් වීම සහ සමහර හෝමෝන ප්‍රතිකාර මගින් ඇතිවන අතුරු ආබාධ (ශක්තිය අඩුවීම වැනි) පිළිබඳව වෛද්‍යවරයා සමඟ විවෘතව සාකච්ඡා කිරීම වැදගත් වේ.
නිතිපතා ස්වයං පරීක්ෂාව සහ ශරීරයේ වෙනස්කම් පිළිබඳව දැනුවත් වීම කාන්තාවන්ට මෙන්ම පිරිමින්ටත් මෙම රෝගය මුල් අවධියේදී හඳුනා ගැනීමට ඇති හොඳම මාර්ගයයි. කිසියම් සැකයක් ඇති වුවහොත් වහාම වෛද්‍යවරයකු හමුවී පරීක්ෂා කර ගැනීමෙන් ජීවිතය ආරක්ෂා කර ගත හැකිය.
දැනුවත් කිරීම
ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මිය
සූතිකා පුහුණු හෙද නිළධාරිනි
නවජ සූති දැඩි සත්කාර ඒකකය
පළාත් මහ රෝහල, කුරුණෑගල
Leave feedback about this