කුස තුළ දඟ කරන පුංචි පැටියා පිළිගන්න සූදානම් වීම මවකගේ ජීවිතයේ මිහිරිම අත්දැකීමක්. මේ අතර, කිරි කැටියා වෙනුවෙන් ඇඳුම් තෝරා ගැනීම තරම් සතුටක් ගෙන දෙන තවත් දෙයක් නැහැ. කෙසේ වෙතත්, අලුත උපන් බිළිඳාගේ සම ඉතාමත් මෘදු හා සංවේදී බැවින්, ලස්සනට වඩා ආරක්ෂාව, සුවපහසුව සහ ප්‍රායෝගිකත්වය ගැන සැලකිලිමත් වීම අතිශයින් වැදගත්.
- 100% කපු (Cotton) රෙදි
දරුවෙකුගේ ඇඳුම් තෝරා ගැනීමේදී ප්‍රමුඛතාවය හිමිවිය යුත්තේ රෙදි වර්ගයටයි. 100% කපු (Cotton) රෙදි අලුත උපන් බිළිඳුන් සඳහා හොඳම තේරීමයි. කපු ස්වභාවික වන අතර, දරුවාගේ සියුමැලි සමට වඩාත් සුදුසුය. මෙය දහඩිය දැමීම, අධික උණුසුම සහ රෑෂ් (Diaper Rash) ඇතිවීම අවම කිරීමට උපකාරී වේ. සින්තටික් (Synthetic) හෝ රළු රෙදිවලින් සම්පූර්ණයෙන්ම වළකින්න. ශ්‍රී ලංකාව වැනි උණුසුම් දේශගුණයක් ඇති රටවල ඝනකම් වූල් ඇඳුම් අවශ්‍ය නැත. සීතලක් දැනේ නම්, ඝන ඇඳුමක් වෙනුවට කපු ස්ථර දෙකක් හෝ තුනක් (වෙස්ට් එකක් සහ උඩින් සිහින් දිගු අත් ඇති ඇඳුමක්) ඇන්දවීමෙන් අවශ්‍ය උණුසුම ලබා දීමටත්, උෂ්ණත්වය වැඩි වූ විට පහසුවෙන් ස්ථරයක් ඉවත් කිරීමටත් හැකියාව ලැබේ.
2. අවශ්‍ය ඇඳුම් ප්‍රමාණය
ළදරුවන් වේගයෙන් වර්ධනය වන නිසා, ඇඳුම් ප්‍රමාණය තෝරාගැනීම ප්‍රායෝගික විය යුතුයි. ඇඳුම් තෝරා ගැනීමේදී මාස 0 – 3 හෝ මාස 3 – 6 වැනි වයස් කාණ්ඩවලට වඩා ඇඳුමේ ලේබලයේ බර ප්‍රමාණය සඳහන් නම් ඒ අනුව තෝරා ගැනීම වඩාත් නිවැරදිය. සාමාන්‍යයෙන් අලුත උපන් ප්‍රමාණයේ ඇඳුම් අවශ්‍ය වන්නේ කිලෝග්‍රෑම් 2.5 – 4.0 අතර බරැති දරුවන්ටය. දරුවා විශාලව ඉපදීමට ඉඩ ඇති නිසා, මෙම ප්‍රමාණය වැඩිපුර මිලදී ගැනීමෙන් වළකින්න. 0-3 Months ප්‍රමාණයෙන් වැඩිපුර මිලදී ගැනීම ප්‍රායෝගික වේ. ඇඳුම් දරුවාට ඕනෑවට වඩා තද නොවිය යුතුය. මන්ද එය දරුවාගේ චලනයට සහ හුස්ම ගැනීමට බාධා ඇති කළ හැකි බැවිනි.
3. ප්‍රායෝගික බව සහ භාවිතයේ පහසුව
දරුවෙකුට දිනකට නැපි දහවරක් පමණ ඇතැම් විට ඊටත් වැඩි ප්‍රමාණයක් මාරු කිරීමට සහ ඇඳුම් කිහිප වතාවක් වෙනස් කිරීමට සිදුවන නිසා, ඇඳුම් ඇන්දවීමේ පහසුව ඉතා වැදගත්ය.
- ඉදිරියෙන් විවෘත වන ඇඳුම්
දරුවාගේ හිසට උඩින් අදින ඇඳුම්වලට වඩා, ඉදිරිපසින් (මුළු දිගටම) හෝ කර ප්‍රදේශයෙන් පහසුවෙන් විවෘත කළ හැකි ඇඳුම් වඩාත් සුදුසුය.
- නැපි වෙනස් කිරීමේ පහසුව
නැපි නිතර මාරු කිරීමට පහසු වන පරිදි යටිපතුල් හෝ පාද ප්‍රදේශය විවෘත කළ හැකි ඇඳුම් තෝරාගන්න.
- අවදානම් සහිත කොටස්
ගෙල වටා එතීමට හෝ පැටලීමට ඉඩ ඇති දිගු පටි, රිබන් හෝ ගෙල ප්‍රදේශයේ තද වන බොත්තම්/රිබන් සහිත ඇඳුම් ගැනීමෙන් සම්පූර්ණයෙන්ම වළකින්න.
4. පුංචි පැටියාට තේරන ඇඳුම්වල වර්ණය සහ අලංකරණය
දරුවාගේ ඇඳුමේ වර්ණය තෝරාගැනීමේදී ඉතා වැදගත් කරුණු කිහිපයකි.
- කහ පැහැයෙන් වළකින්න
අලුත උපන් බිළිඳාගේ මුල් මාස කිහිපය තුළදී කහ පැහැති ඇඳුම් ඇන්දවීමෙන් වළකින්න. ඊට හේතුව, කිරි අඩු වීම හෝ වෙනත් හේතු මත දරුවා කහ පැහැ ගැන්වෙන්නේ නම් (Jaundice), කහ ඇඳුම් නිසා මවට එම රෝග තත්ත්වය හඳුනා ගැනීමට අපහසු විය හැකි බැවිනි. සුදු පැහැය සහ ලා පැහැයන් වඩාත් සුදුසුය.
- අලංකරණයේදී සැලකිලිමත් වන්න
ඇඳුම්වල පිටත ඇති ලේබල්, බොත්තම් හෝ විශාල එම්බ්‍රොයිඩර් මෝස්තර දරුවාගේ සමට තද වී අපහසුතා ඇති කළ හැකිය. විශාල එම්බ්‍රොයිඩර් මෝස්තර ඇති ඇඳුම් තේරීමෙන් වළකින්න. ලේබල් ප්‍රවේශමෙන් කපා ඉවත් කරන්න.
5. මිලදී ගත යුතු ඇඳුම් වර්ග සහ ප්‍රමාණ
සාමාන්‍යයෙන් මුල් මාස 3 සඳහා අත්‍යවශ්‍ය ඇඳුම් වර්ග කිහිපයක් සහ ඒවායේ ප්‍රමාණ (දරුවාගේ දින චර්යාව අනුව මෙහි වෙනස්කම් සිදුවිය හැක) මෙසේය.
බොඩි සූට් 6 – 10 අතර, නිදන ඇඳුම්, 5 – 8 අතර, කපු මේස් සහ අත් වැසුම් යුගල 4 – 6 ශරීර, තොප්පි 2-3 පමණ, ඔතන රෙදි 3 – 4ක් වැනි ප්‍රමාණවලින් සූදානම් කරගැනීම සුදුසු වේ.
ඔබ මිලදී ගන්නා හෝ තෑගි ලැබෙන සියලුම ළදරු ඇඳුම් දරුවාට ඇන්දවීමට පෙර හොඳින් සෝදා පිරිසිදු කිරීම අනිවාර්යයෙන්ම කළ යුතුය. මේ සඳහා සුවඳ රහිත, මෘදු, දරුවන්ට සුදුසු රෙදි සෝදන සබන් වර්ගයක් භාවිත කිරීමෙන් ඇඳුම්වල ඇති රසායනික ද්‍රව්‍ය, අපද්‍රව්‍ය සහ අසාත්මිකතා ඇති කළ හැකි දෑ ඉවත් කර ගත හැකි අතර, ඔබේ පුංචි පැටියාගේ සංවේදී සම ආරක්ෂා කර ගත හැකිය.
දැනුවත් කිරීම
ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මිය
සූතිකා පුහුණු හෙද නිළධාරිනි
නවජ සූති දැඩි සත්කාර ඒකකය
පළාත් මහ රෝහල, කුරුණෑගල


Leave feedback about this