නොවැම්බර් 2, 2025
Lunch Box Parent Pulse Article Featured Image
පෝෂණීය සුව දිවිය සුව දිවිය

පෙර පාසල් වියේ ඔබේ දරුවාගේ කෑම අරගලය ජය ගන්න ක්‍රමයක් ඔබත් සොයනවාද?

පෙර පාසල් වයසේ ඔබේ දරුවා එනම් වයස අවුරුදු 2 – 5 දරුවා නව ආහාර වර්ග ප්‍රතික්ෂේප කරන්නේ නම්, එසේත් නැතිනම් යම් ආහාර වර්ග කිහිපයක් පමණක් තෝරාගෙන සිටී නම් එය ලොව පුරා සිටින බොහෝ මාපියන් මුහුණ දෙන සාමාන්‍ය අභියෝගයකි. මෙය සාමාන්‍යයෙන් සිදුවන්නේ කුඩා දරුවන් ස්වාධීන වීමට උත්සාහ කරන විට සහ ඔවුන්ගේ කැමැත්ත දැනුම් දීමට පටන් ගන්නා විටය. එය එසේ වුවද මෙම අභියෝගය කනස්සල්ලක් බවට පත් කර නොගෙන, ධනාත්මක උපාය මාර්ග මගින් ජය ගැනීමට මව්පියන් සමත් විය යුතුමය.

කෑම වේලක් ආරම්භ කිරීමට පෙර සිටම ඔබගේ ආකල්පය මේ සඳහා බලපායි. මව්පියන් වන ඔබගේ කාර්යභාරය වන්නේ දරුවාට සෞඛ්‍ය සම්පන්න ආහාර ලබා දීම පමණි. දරුවාගේ කාර්යභාරය වන්නේ කෑමට ගන්නා ප්‍රමාණය තීරණය කිරීමයි. මෙහිදී මාපියන්ගේ වගකීම මෙන්ම දරුවාගේ තේරීම පිළිබඳවත් සැලකිලිමත් විය යුතුය. එම නිසා කිසිදු විටෙක දරුවාට බලපෑම් කිරීම හෝ තර්ජනය කිරීමෙන් වළකින්න.

දරුවෙක් ලබා ගන්නා ආහාර ප්‍රමාණය අඩු වන විට ඒ වෙනුවෙන් වෙහෙසෙන මව්පියන් කනස්සල්ලට පත්වීම හෝ කෝප වීම ස්වාභාවික වුවත් ඔබගේ කනස්සල්ල දරුවාට දැනුණ විට, ඔවුන් ආහාර ගැනීම තවත් බල අරගලයක් බවට පත් කර ගනී. සන්සුන් වන්න. අවශ්‍ය නැතිනම්, කමක් නැහැ, තව ටිකකින් කමු යැයි පැවසීමට ඔබට හැකියි.

කෑම වේලක් හොඳට කෑවොත් චොක්ලට් දෙනවා” වැනි දේ කිසිදු විටෙක නොපැවසිය යුතු අතරම එවැනි දේ කිරීමෙන් තමාට ලබා දෙන ආහාර සහ එය ආහාරයට ගැනීමෙන් ත්‍යාගය ලෙස හිමි වන ආහාරය පිළිබඳව සංසන්දනයක් දරුවා තුළ ඇති වේ.

දරුවා අලුත් ආහාර වර්ගවලට හුරු කිරීමට උපක්‍රමශීලී නිර්මාණාත්මක ක්‍රම භාවිත කරන්න.
දරුවෙකුට අලුත් ආහාරයක් පිළිගැනීමට පෙර එය 10 වතාවකට වඩා දැකීමට, ස්පර්ශ කිරීමට, සහ ඉඳහිට රස බැලීමට අවශ්‍ය විය හැකිය. අලුත් ආහාරය නිතරම මේසය මත තබන්න, නමුත් කන්නට බල නොකරන්න.

සමහරවිට දරුවාට අලුත් ආහාරයකින් එක කටක් පමණක් රස බැලීමට උනන්දු කරන්න. ඔවුන් එය ප්‍රතික්ෂේප කළත්, ධනාත්මකව කතා කරන්න. ආනේ ඔයා එක කෑල්ලක් කෑවද? කොහොමද අලුත් කෑම එක රසයිද? වැනි දේ දරුවාගෙන් විමිය හැකියි.
දරුවා කැමති ආහාරයකට, අකමැති ආහාරයක් ස්වල්ප වශයෙන් මිශ්‍ර කරන්න. උදාහරණයක් ලෙස කැමති සෝස් එකකට එළවළු කැබැල්ලක් ස්පර්ශ කර රස බැලීමට දීම.

දරුවන්ගේ පිඟානේ ආහාර වර්ග එකිනෙකට මිශ්‍ර නොකර, එනම් බත්, පරිප්පු, මාලු ලෙස වෙන වෙනම කුඩා කොටස් වශයෙන් වෙන් කර තැබීම දරුවට ප්‍රියකාවයක් ඇති කරනවා විය හැකියි.

කෑම වේල විනෝදජනක අත්දැකීමක් බවට පත් කරන්න.
එළවළු සහ පලතුරු තරු, හතරැස් හෝ හුරුබුහුටි සත්ත්ව රූප ආකාරයෙන් කපා ඉදිරිපත් කරන්න. මේසය මත වර්ණවත් එළවළු වර්ග තැබීම ද දරුවන්ට ආකර්ෂණීය වේ.

වෙළඳපොළට ගොස් එළවළු සහ පලතුරු තෝරා ගැනීමට ඔවුන්ට ඉඩ දෙන්න. කෑම පිසින විට, එළවළු සෝදන්නට හෝ පොඩි කරන්නට ඔවුන්ට අවස්ථාව දෙන්න. තමන්ම තෝරාගත් හෝ සෑදීමට උදව් වූ ආහාරයක් ඔවුන් කන්නට වැඩි කැමැත්තක් දක්වනු ඇත.
නිශ්චිත වේලාවන්හිදී ආහාර සහ කෙටි ආහාර (Snacks) ලබා දෙන්න. මේසයේ වාඩි වී, රූපවාහිනියෙන් හෝ ජංගම දුරකථනයෙන් තොරව, පවුලේ අය සමඟ එකට කෑම ගැනීමට දිරිමත් කරන්න.

දරුවෙකු පැය භාගයකට වඩා වැඩි කාලයක් කෑම වේලකට ගත කරන්නේ නම්, පිඟාන ඉවත් කරන්න. අධික තිර කාලය හෝ වෙනත් ක්‍රියාකාරකම්වලට අවසර දීමෙන් වළකින්න.
සෞඛ්‍ය සම්පන්න කෙටි ආහාර දෙන්න, නමුත් ප්‍රධාන කෑම වේලට පෙර අවම වශයෙන් පැය 2 ක පරතරයක් තබා ගන්න. කෙටි ආහාර ප්‍රධාන කෑම වේලට වඩා විශාල නම්, ඔවුන් කුසගින්නේ නොසිටින නිසා ප්‍රධාන වේල ප්‍රතික්ෂේප කරනු ඇත.
“මට ඒක එපා” යැයි දරුවා පැවසුවත්, කෑම වේල අතරතුර, “මේ ගෝවා රත්තරන් පාටයි” හෝ “මේ මාළු ගොඩක් හයියයි” වැනි වර්ණ, හැඩය, සහ වයනය (Texture) ගැන ධනාත්මකව කතා කරන්න.

දරුවෙකුගේ ආහාර පුරුදු කාලයත් සමඟ වෙනස් වේ. ඔබගේ ස්ථාවරත්වය, ඉවසීම සහ ධනාත්මක ආකල්පය වඩාත් වැදගත් වේ. අද කෑම ප්‍රතික්ෂේප කළත්, සති කිහිපයකට පසු ඔවුන් එයට කැමති වීමට ඉඩ ඇත. ඔබ නිවැරදි ආහාර නිරන්තරයෙන් ලබා දෙන්නේ නම්, දරුවා කුසගින්නේ නොසිටින අතර, කාලයත් සමඟ ඔවුන් පවුලේ ආහාර පුරුදුවලට හුරු වනු ඇත.


දැනුවත් කිරීම

ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මිය
සූතිකා පුහුණු හෙද නිළධාරිනි
නවජ සූති දැඩි සත්කාර ඒකකය
පළාත් මහ රෝහල, කුරුණෑගල

Leave feedback about this

  • Quality