නොවැම්බර් 9, 2025
Breastfeeding Parent Pulse Article Featured Image
ගැබිණි මව

මව්කිරි දීම ගැන මේ ගැටලු ඔබටත් තියෙනවාද?

දරුවෙකුට හඬන්න හේතු සාධක බොහොමයක් තිබෙනවා. ඒ වගේම දරුවෙකුට තමන්ගේ අවශ්‍යතාවයන් වචනයෙන් විස්තර කරන්න බැරි නිසා ඔවුන් තම අවශ්‍යතාවයන් ඉටු කර ගන්නේ හැඬීමෙන්. නමුත් අපේ අම්මලා දරුවෙකු හඬන විට හිතන්නේ බඩගින්නට කියලයි. ඒ නිසා ඔවුන් වෙන කිසිම පරීක්ෂාවක් නැතුව දුවගෙන ඇවිත් දරුවාට කිරි දෙන්න පටන් ගන්නවා.

  • මල මුත්‍ර පිට වීම
  • බඩගින්න
  • අසනීප තත්වයක්
  • මව/රැක බලා ගන්නාගේ ආතතිය දරුවාට සම්ප්‍රේෂණය වීම
  • හඬන දරුවා දෙස බලා ඉන්න
  • එයට ප්‍රතිචාර නැත්නම් කතා කරන්න
  • දරුවාගේ උදරය අත ගාන්න
  • දරුවාගේ අත සහ කකුල් එකට අල්ලා ගන්න
  • දරුවා අතට ගන්න
  • සෙමින් නලවන්න
  • දරුවා ඔතා තබන්න

දරු ප්‍රසුතියෙන් පසු මුල් පැයේ පටන් මව්කිරි දීම පටන් ගන්නවා. මුලින් එන කොලස්ට්‍රම් ගුණදායක වුනත් කිරි උත්තේජනය වෙන්නේ නැහැ. දරවාටත් කිරි උරා බීම අපහසු වෙනවා. ඒ වගේම දරුවා උපත ලබා මුල් කාලයේදී දරුවාගේ උදරය පළමු දිනයේ ලොවි ගෙඩියක් තරම් පුංචියි. ඒ නිසා දරුවාට මව්කිරි ලොකු ධාරිතාවයකින් අවශ්‍ය වෙන්නේ නැහැ. බොහෝ අම්මලා තමන්ට කිරි නැහැ කියන අදහසක් ගොඩ නගා ගන්නවා. ඒ සිතුවිල්ල වැරදියි. මවගේ කිරි උත්තේජනය වීමට නම් දරුවා හොඳින් කිරි උරා බීම අවශ්‍ය වෙනවා.

දරුවෙකු උපත ලැබීමෙන් පසුව මවගේ කිරි උරා බීමේදී මවගේ තන පුඩුව පමණක් නොව ඇරියෝලාව කටට ඇතුළු වන සේ තබන්න. බොහෝ මව්වරු මව්කිරි දීමේදී තමන්ගේ තන පුඩුව පමණක් ලබා දෙනවා. එවිට දරුවාටත් කිරි උරා බීම අපහසුයි. කිරි උත්තේජනය නොවන විට දරුවා තන පුඩුව හපන විට එය තුවාල වෙනවා. මේ තත්වයත් අම්මාට වේදනාකාරීයි. ඒ නිසා මවගේ පියයුරුවල ඇරියෝලාව දරුවාගේ මුව තුලට තිබෙන සේ තබන්න. එවිට දරුවාට අපහසුවක් නැතුව කිරි උරා බීමට හැකියාවක් ලැබෙනවා.

අලුත උපන් දරුවාට විෂබීජ නිරාවරණය වීම ගැන අම්මාට සාධාරණ බියක් තිබෙනවා. ඒත් මව්කිරි ලබා දෙන හැම අවස්ථාවකම පියයුරු සෝදන්න අවශ්‍ය නැහැ. මේ විදිහට පියයුරු නිතරම සේදීම නිසා සිදු වෙන අවාසියක් තිබෙනවා. දරුවාට කිරි ලබා දීමෙන් පසු අන්තිම කිරි ප්‍රමාණය තන පුඩුවේ ගෑවෙනවා. මේ කිරිවල තිබෙන මේද නිසා මවගේ තන පුඩුව සීරීම, තුවාල වීම වලක්වා ගන්න පුළුවනි.

දරුවා කිරි උරා බීම නිසි අන්දමින් සිදු වෙන්නේ නැත්නම් මවට කිරි තද වෙන්න පුළුවනි. කිරි තද වීම වේදනාකාරීයි. සමහර විට මේ වේදනාව නිසා අම්මාට උණ පවා ඇති වෙන්න පුළුවනි. ඒ වගේම කිරි තද වීම නිසා අම්මලා අනුගමනය කරන වැරදි ක්‍රමවේද තිබෙනවා. පියයුරු උණු වතුරෙන් තැවීම කිසිසේත්ම සුදුසු නැහැ. ඊට හේතුව උණු වතුරෙන් තවන විට රුධිර නාල ප්‍රසාරනය වෙන්න ඉඩ තිබෙනවා. කිරි හිරවීම නිසා සිදු වෙන ක්ෂුද්‍ර ජීවින්ගේ වර්ධනය නිසා සමහර විට විසර ගෙඩි පවා ඇති වෙන්න පුළුවනි. එවැනි අවස්ථාවක සුළු ශල්‍ය කර්මයක් මගින් මෙම විසර ගෙඩිය ඉවත් කිරීමට සිදු වෙනවා. කිරි තද වීම නිසා ඇති වෙන විසර ගෙඩි ඇති වුනත් ඒ තත්වයට යන්න අවශ්‍ය නැහැ. කිරි තද වෙනවා නම් එක් එක් අයගේ අත්දැකීම් ගැන විමසන්න අවශ්‍ය නැහැ. පවුල් සෞඛ්‍ය සේවා නිළධාරී මහත්මියගෙන් හෝ ළගම තිබෙන කිරි කළමනාකරණ මධ්‍යස්ථානය වෙත යෑම වඩාත් සුදුසුයි.

කිරි දෙන මවගේ ආහාර ගැන සමාජයේ විවිධ දුර්මත තිබෙනවා. සමහර විට කිරි වැඩි වෙන්න යැයි සමාජයේ සම්මත ආහාර ලබා දෙනවා. ඒ වගේම කිරි දෙන අම්මාට සීතල ආහාර, උෂ්ණ ආාහර අගුණ යැයි වූ මතයක් තිබෙනවා. නමුත් මේ විදිහට මව්කිරි සහ ආහාර අතර කිසිදු සම්බන්ධතාවයක් නැහැ. මවට වෙනදා වගේම තමන් කැමැති ආාහර ගැනීමට අවසර දිය හැකියි.

ඒ වගේම කිරි මවකට ස්නානයට පවා සීමාවන් තිබෙනවා. නෑමෙන් පසුව කිරි දීම නිසා දරුවාට ප්‍රතිශ්‍යාව හැදෙන බවට වූ මිථ්‍යාවන් තිබෙනවා. නමුත් මවගේ ශාරීරික පිරිසිදු බව ඉතාම වැදගත් නිසා ඇයට ස්නානයට, ඇඟ සේදීම වෙනුවෙන් සීමා පැනවීම අවශ්‍ය නැහැ.

ඒ නිසා මෙවැනි මිථ්‍යාවන් මත යැපෙන්න අවශ්‍ය නැහැ. කිරි දෙන මවකට පවුලේ වගේම සමාජයේ සහයෝගය අවශ්‍යයි. ඇය සතුටින් තබන්න. ඇයට සහයෝගය දෙන්න.


සටහන

පුන්‍යා චාන්දනී ද සිල්වා

Leave feedback about this

  • Quality