Parent Pulse Blog සුව දිවිය මානසික සුව දිවිය මව්පිය භූමිකාව හමුවේ ඔබ සතුටින් සිටින්නේ කොහොමද?
මානසික සුව දිවිය සුව දිවිය

මව්පිය භූමිකාව හමුවේ ඔබ සතුටින් සිටින්නේ කොහොමද?

මව්පිය භූමිකාව ලෝකයේ වඩාත්ම ආදරණීය හා වඩාත්ම අභියෝගාත්මක භූමිකාවකි. විශේෂයෙන් ශ්‍රී ලංකාව වැනි තරඟකාරී සමාජයක දරුවන්ගේ අධ්‍යාපනය, සෞඛ්‍යය සහ අනාගතය වෙනුවෙන් කැපවන දෙමාපියෝ බොහෝ විට තමන්ගේම අවශ්‍යතා, විනෝදාංශ සහ මානසික සුවතාවය සම්පූර්ණයෙන්ම නොසලකා හරිති. ඔවුන්ගේ සමස්ත අවධානය යොමු වන්නේ දරුවන් දෙසටයි. නමුත් මේ තත්ත්වයේදී දෙමාපියන් ශාරීරිකව හා චිත්තවේගීයව වෙහෙසට පත් වන නිසා දරුවන්ගේ කටයුතුවලදී සෙනෙහසින් සහ ඉවසීමෙන් යුතුව කටයුතු කිරීමට නොහැකි විය හැකිය. නමුත් දෙමාපියන්ගේ මානසික සුවතාවය ප්‍රමුඛ කර ගැනීම වැදගත් වන අතරම වෙහෙසින් මිදී සතුටින් හා සාර්ථකව දෙමාපිය වගකීම් ඉටු කරන්නේ කෙසේද යන්න පිළිබඳව දැනුවත් වීෙම අතිශයින් වැදගත් වේ.

ඔබ දෙමාපියන් ලෙද දරුවන් සම්බන්ධ වගකීම් නිසා විඩාවට පත්ව සිටින මවක් හෝ පියෙක් නම් එය හඳුනා අවශ්‍ය පියවර ගැනීම අත්‍යවශ්‍යයි. මෙම තත්ත්වයට පත් වූ විට පහත ලක්ෂණ පෙන්නමු කරයි.

  • චිත්තවේගීයව දුරස්ථ බව
  • දරුවන් සමඟ ගත කරන කාලයෙන් සතුටක් නොලැබීම.
  • ඔබේ දරුවා ගැන පවා උදාසීන බවක් හෝ කෝපයක් දැනීම.
  • දරුවන්ගේ දෛනික අවශ්‍යතා ඉටු කිරීම යාන්ත්‍රික ක්‍රියාවලියක් ලෙස පමණක් දැනීම.
  • දෙමාපිය භූමිකාව අසාර්ථක බව දැනීම
  • ඔබ හොඳ දෙමාපියෙකු නොවන බවට දැඩි හැඟීමක් නිරතුරුවම ඇති වීම.
  • අන් අය සමඟ සංසන්දනය කිරීමේදී තමන්ගේ වැරදි පමණක් දැකීම.
  • තමාට දෙමාපිය කටයුතු නිසි ලෙස කළමනාකරණය කර ගැනීමට නොහැකි යැයි හැඟීම.
  • වෙහෙස දැනීම සහ රෝග ලක්ෂණ
  • නිරන්තර තෙහෙට්ටුව, නින්ද නොයෑම
  • නිරන්තර හිසරදය, මාංශ පේශි වේදනාව හෝ ප්‍රතිශක්තිය අඩු වීම.

ඔබ මානසිකව සුවෙන් සිටින විට, දරුවාගේ අභියෝගාත්මක අවස්ථාවලදී කෑ ගැසීම වෙනුවට, සන්සුන්ව සහ ඉවසිලිවන්තව ප්‍රතිචාර දැක්වීමට ඔබට හැකියාව ලැබේ.
දරුවන් ඉගෙන ගන්නේ අප පවසන දේට වඩා අප කරන දේ මගිනි. ඔබ, ඔබේ සෞඛ්‍යයට ප්‍රමුඛත්වය දෙන ආකාරය දැකීමෙන්, ඔබේ දරුවා ද අනාගතයේදී තම යහපැවැත්ම ගැන සැලකිලිමත් වීමට ඉගෙන ගනී.
වෙහෙසට පත් නොවූ දෙමාපියෙකුට දරුවා සමඟ ප්‍රීතිමත්, අර්ථවත් සහ ගුණාත්මක කාලයක් ගත කළ හැකි අතර එය පවුල් බැඳීම් ශක්තිමත් කරයි.

මෙහිදී දිනපතාම ඔබේ ජීවිතයට කුඩා පුරුදු සමූහයක් ඇතුළත් කළ හැකියි.

  1. කුඩා විරාමයන් සොයා ගන්න

දවස පුරා විශාල නිවාඩුවක් ගැනීමට ඔබට නොහැකි නම්, කුඩා මිනිත්තු පහේ විරාමයන් හෝ නිර්මාණය කරන්න.

උදාහරණ ලෙස දොර වසාගෙන තනිවම මිනිත්තු පහක් උණු වතුරෙන් මුහුණ සේදීම හෝ සන්සුන්ව හුස්ම ගැනීම පුරුදු කරන්න. එසේත් නැතිනම් දරුවන් අවදි වීමට පෙර විනාඩි 15කට පෙර අවදි වී, නිහඬව තේ කෝප්පයක් පානය කරමින් හෝ සන්සුන්ව පුවත්පතක් කියවමින් තමන් වෙනුවෙන් කාලයක් වෙන් කරන්න. එසේත් නැතිනම් දරුවෙකු අඬන විට හෝ දඟලන විට, ප්‍රතිචාර දැක්වීමට පෙර ගැඹුරු හුස්ම තුනක් ගන්න. මෙය ක්ෂණිකව ඔබේ ස්නායු පද්ධතිය සන්සුන් කරයි.

  1. සීමාවන් නිර්මාණය කිරීම

දෙමාපියන් ලෙස අපට නැහැ කීමට හැකි විය යුතුය.

සියලුම පවුල් වගකීම් තමන්ගේ කර මතට නොගන්න. ගෙදර වැඩ, දරුවන් බලා ගැනීම සහ නිවසේ කටයුතු පැහැදිලිව ඔබ දෙදෙනා අතර බෙදා ගන්න.
ඔබේ සැමියා/බිරිඳගෙන් හෝ විශ්වාසවන්තයෙකුගෙන් සතියකට පැයක් හෝ දෙකක් වගකීම්වලින් තොර කාලයක් ලබා ගෙන එම කාලය මිතුරෙකු සමඟ ගත කිරීමට, චිත්‍රපටයක් නැරඹීමට හෝ නිශ්ශබ්දව සිටීමට යොදා ගන්න.

  1. වරදකාරී හැඟීම පලවා හරින්න

බොහෝ දෙමාපියන් වෙහෙසට පත්වන්නේ පරිපූර්ණ දෙමාපියන් වීමට උත්සාහ කිරීමෙනි.

නිවස සෑම විටම පිරිසිදුව තබා ගැනීමට හෝ සෑම දරුවෙකුගේම ක්‍රියාකාරකමකටම සහභාගී වීමට උත්සාහ නොකරන්න.
සමාජ මාධ්‍යවල අනෙකුත් දෙමාපියන්ගේ පරිපූර්ණ පින්තූර දැකීමෙන් සංසන්දනය කිරීමෙන් වළකින්න. සැබෑ ජීවිතය කිසි විටෙකත් සමාජ මාධ්‍යවල පෙන්වන තරම් පරිපූර්ණ නොවන බව සිහි තබාගන්න.

  1. ශාරීරික සෞඛ්‍යයට ප්‍රමුඛත්වය දෙන්න

ප්‍රමාණවත් නින්දක් නොමැතිව හෝ නිසි ආහාර වේලක් නොමැතිව මානසිකව ශක්තිමත් විය නොහැක.

දිනකට මිනිත්තු 20 – 30ක ව්‍යායාමයක් හෝ වේගවත් ඇවිදීමක් ඔබේ මානසික සෞඛ්‍යයට වටිනා බලපෑමක් සිදු කරයි.
සීනි අධික ආහාර වෙනුවට සෞඛ්‍ය සම්පන්න ආහාර වේල් තෝරා ගන්න. හැකි සෑම විටම දරුවන් සමඟ කලින් නින්දට යන්න හෝ දරුවන් නිදාගත් පසු ඔබගේ වැඩ කටයුතු අවසන් කරන්න.

දෙමාපියන්ගේ සතුට යනු මුළු පවුලම සතුටින් සිටීමට ඇති එකම හේතුවයි.

  1. ගුණාත්මක කාලය
    වැඩියෙන්ම කාලය ගත කිරීම වෙනුවට, වැඩියෙන්ම අවධානය යොමු කිරීම වැදගත්ය. දවසට විනාඩි 20ක් වෙන් කර, දරුවාගේ ක්‍රියාකාරකමකට මුළුමනින්ම අවධානය යොමු කරන්න. ජංගම දුරකථනය පසෙකින් තබා, බාධා කිරීම්වලින් තොරව සෙල්ලම් කරන්න එසේත් නැතිනම් දරුවා සමග තොරතුරු කතා කරන්න.
  2. සිනහව
    සිනහව යනු ආතතිය අඩු කරන ස්වභාවික ඖෂධයකි. දරුවන් සමඟ විහිළු කිරීම, විනෝදජනක ක්‍රීඩා කිරීම හෝ දවස අවසානයේදී පවුලේ අය සමඟ විනෝදජනක සිදුවීම් ගැන කතා කිරීමට පුරුදු වෙන්න. සිනහවෙන් මොළයට ධනාත්මක රසායනික ද්‍රව්‍ය මුදා හරින අතර, එය දෙමාපියන්ගේ ශාරීරික මානසික වෙහෙස ඉක්මනින් පහව යෑමට උපකාරී වේ.
  3. වෘත්තීය උපකාර පැතීම
    ඔබට නිරන්තරයෙන්ම අතිශය වෙහෙසක් දැනෙනවා නම්, කෝපය පාලනය කර ගැනීමට අපහසු නම්, හෝ මාස ගණනාවක් තිස්සේ සතුටක් නොලබන්නේ නම්, වෘත්තීය උපදේශකයෙකුගේ සහාය පැතීම වැදගත්ය. මානසික සුවතාවය යනු වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය විය හැකි සැබෑ ගැටලුවකි. උපදේශකයෙකු හමුවීම දුර්වලකමක් නොව තමන්ගේ සෞඛ්‍යයට දෙන ප්‍රමුඛතාවයකි.

දෙමාපිය භූමිකාව යනු අසීමිත දයාබර ගමනකි. නමුත්, ඔබේ දුර්වල වුවහොත් ඔබට, ඔබේ පවුලට දීමට කිසිවක් ඉතිරි නොවේ. දෙමාපියන්ගේ මානසික සුවතාවය යනු දරුවන්ට ලබා දිය හැකි හොඳම තෑග්ගයි. ඔබ, ඔබේම අවශ්‍යතා ගැන සැලකිලිමත් වන විට, ඔබ මුළු පවුලටම යහපත සලසයි. ඒ සඳහා අවශ්‍ය වන්නේ විශාල කැප කිරීම් නොව කුඩා, ස්ථාවර සහ හිතාමතා කරන ක්‍රියාකාරකම් ය. අද සිටම දෙමාපියන් වන ඔබට සතුට සැනසුම ගෙන දෙන පුංචි ක්‍රියාකාරකමකින් සතුට සැනසුම සොයා යාම අරඹන්න.


සටහන

Author Dishanthi

දිශාන්ති වෙදගේ
මනෝ උපදේශන ඩිප්ලෝමාධාරීණී
මානසික සෞඛ්‍ය සරසවිය

Exit mobile version