ඔක්තෝබර් 24, 2025
Dengue Parent pulse Article Feature
වැඩිහිටියන්ගේ සුව දිවිය සුව දිවිය

මාරාන්තික වුවත් වළක්වා ගත හැකි ඩෙංගු

වර්තමානය වන විට විවිධ වූ වෛරස් ආසාදන ඔබට, මට, සමාජයට සිදු කරනු ලබන බලපෑම් සුළුපටු නැහැ. ඕනෑම වසංගතයක් මිනිසාගේ ජීවිතයේ යහපැවැත්මට තර්ජනයක් ඇති කරමින් සිදුකරනු ලබන බලපෑම මෙන්ම එයට මුහුණ දීමේ දී දරන්න වන වැය බර මහත් අභියෝගයක්. මිනිස් ක්‍රියාකාරකම් හමුවේම ඇති වන මෙම රෝග ව්‍යාප්ත වීම සිදුවන්නේ ද මිනිස් ක්‍රියාකාරකම් හමුවේම යැයි පැවසීමේ වරදක් නැත. මිනිස් දිවියේ අවිචාරවත් බව අපිළිවෙළ ආදී ක්‍රියාදාමයන් ඔස්සේ පරිසරයට අවිධිමත් ලෙස බැහැර කරන කසළ බොහොමයක් ලෙඩ රෝගවලට හේතුවන බව නොරහසකි.

අයහපත් කසල කළමනාකරණයේ දුර්වලතා හේතු කොටගෙන ආහාර, ජලය, වාතය දුෂ්ණය වීම මගින් ආහාර මාර්ගය, ස්වසන මාර්ගය ආශ්‍රිතව මෙන්ම අනෙකුත් කායික ඉන්ද්‍රියන්ගේ ක්‍රියාකාරීත්වයට ද බලපානු ලබන ආසාත්මිකතා ආහාර අජීර්ණ, පාචන තත්ත්ව, සෙංගමාලය ආදී ස්වසන ආසාදන, හතිය ආදී රෝග ඇතිවෙනවා සේම පරිසරය මත බැහැර කරනු ලබන කසළ හේතු කොටගෙන මීයන්, මැස්සන් වැනි සතුන් බෝවීම මගින් ඇතිවන ආසාදන තත්ත්වයන්ට මුහුණ දීමට මිනිසුන්ට සිදු විය හැකියි.

තවද නොදිරන කසල අවිධිමත් ලෙස පරිසරයට බැහැර කිරීම නිසා ඒවායේ ජලය රැඳීම හේතුකොට ගෙන මදුරුවන් බෝවීම ද බහුල ලෙස රට තුළ දකින්නට ලැබෙනව. ලංකාව පුරා ව්‍යාප්තව ඇති කාලගුණික තත්වයන් හේතු කොට ගෙනද මේ වන විට මදුරුවන් බෝවීම පාලනය කිරීමට අපහසු තත්වයක් ඇතිව තිබෙනවා. මේ නිසා මදුරුවන් මගින් බෝ කරනු ලබන ඩෙංගු, චිකන් ගුණියා මෙන්ම බරවා රෝගය ද ලංකාව තුළ දක්නට ලැබෙනවා.

අතීතයේදී මදුරුවන් මගින් බෝ කරනු ලැබූ මැලේරියා රෝගය හේතු කොටගෙන ඇති වූ වසංගත තත්ත්වයන් නිසා ජීවිත හානි බොහෝ සිදුව තිබෙනවා. විද්‍යාවේ දියුණුව සමගින් ඒ සඳහා ඖෂධ ප්‍රතිකාර මෙන් ම මදුරුවන් බෝවීම වළක්වාලීමට හැකි ක්‍රමවේද භාවිත කිරීම මගින් මැලේරියා රෝග වසංගතය පාලනය කරගෙන ඇති නමුදු මේ වනවිට ඩෙංගු රෝගය රට තුළ බහුල ලෙස පැතිර යාම මෙන්ම ජීවිතවලට සිදු කරනු ලබන හානිය සලකා බැලූ කල මේ පිළිබඳ අවදියෙන් සිටීම මෙන්ම ඩෙංගු රෝගය ගැන හොඳින් දැනුවත් වීමද වැදගත් වෙනවා.

වෛරසයක් මගින් ඇති කරනු ලබන රෝගයක් වන ඩෙංගු සාමාන්‍ය උණ රෝගයකදී මෙන්ම ඇඟපත වේදනාව, තදබල හිසරදය, ක්ෂණිකව ඇතිවන උණ යන ලක්ෂණ පෙන්නුම් කරයි. මාංශ පේශී හා හන්දිවල ඇති වන තදබල වේදනාව නිසා මෙය ඇටකටු කැඩෙන හෝ ඇටකටු තලා පෙළා දමන තරම් වේදනා ගෙන දෙන හෙයින් මෙම රෝගී තත්ත්වය ඇට කැඩෙන උණ ලෙසින් ව්‍යවහාරයේ පැවතුණා. තදබලව ඇතිවන අතපය හා හන්දි වේදනාව මෙන්ම තදබල හිසරදය නිසා සාමාන්‍ය ජීවිතය පවත්වාගෙන යාමට අපහසු වෙනවා. එසේම මෙහි තවදුරටත් වර්ධනය නිසා සමෙහි රතු පැහැති පැල්ලම් ඇති වීම එනම් රුධිර වහනයක් සිදුවීම විය හැකියි.

  • සම මත දීප්තිමත් රතු පැහැ කුඩා පැල්ලම් ඇති විය හැකි අතර මේවා පළමුවෙන්ම කලවා හා පසු ප්‍රදේශයේ ඇති වී පසුව පපුව ඇතුළු මුළු සිරුර පුරාම ව්‍යාප්ත වේ.
  • බඩේ ඇතිවන අම්ල ගතිය හේතුවෙන් බඩ කැක්කුම, ඔක්කාරය හා පාචන තත්ත්වයක් ඇතිවීම
  • ඩෙංගු උණ රෝගය රක්තපාත තත්ත්වයට පත්වීම නිසා උණ පැවති පසුව සම යට රතු පැහැ පැල්ලම් මතුවීම, විදුරු මසින් නාසයෙන් රුධිර ගැලීම, මුත්‍රා සමඟ රුධිරය පිටවීම
  • ආහාර මාර්ගය ඇතුළත රුධිර වහනය නිසා වමනය හෝ මල පහ කළු පැහැ වීම
  • අක්මාව ඉදිමීම නිසා අධික බඩේ කැක්කුම ඇතිවීම

දින 2 – 7 දක්වා උණ පැවතිය හැකි නිසා සැලකිලිමත් විය යුතුය. ඩෙංගු රෝගයේදී උණ ඇතිවීම ඉන්පසුව රක්ත පාත තත්ත්වය එනම් ඩෙංගු රත්තපාත උණ තත්ත්වයට ගොදුරු වීම මෙන්ම ඩෙංගු කම්පන තත්ත්වයට පත්වීවීමට අවදානමක් ඇත. එවිට සුදු මැලවීම, අත්පා සීතල වීම, නාඩි වැටීමේ වේගය වැඩිවීම මෙන්ම රුධිර පීඩනය අඩු වීමද සිදු වේ.

ඩෙංගු රෝගය ව්‍යාප්ත කරන්නේ ඊඩිස් වර්ගයේ මදුරුවන්ය. මොවුන් වැඩිපුරම දෂ්ට කිරීම් සිදු කරන්නේ දහවල් කාලයේදීයි. එසේ හෙයින් දිවා කාලයේ මදුරුවන්ගෙන් ආරක්ෂා වීම ඉතාම වැදගත් වේ.දිවා කායේ මදුරුවන්ගෙන් ආරක්ෂා වීම අපහසු වන නිසාම මදුරුවන් බෝ වීම වළක්වා ගැනීම වඩාත් උචිතය.

මෙම මදුරුවන් බිත්තර දමන්නේ පිරිසිදු ජලයේයි. එසේ හෙයින් නිවසේ කලින් ඉවත දමන නොදිරන ටින්, පොල් කටු, යෝගට් කෝප්ප, කිරි හට්ටි, ප්ලාස්ටික් උපකරණ මෙන්ම පොලිතින් පරිසරයට නිරාවරණය නොවන සේ බැහැර කිරීමට ක්‍රමවේදයක් සියලු නිවෙස් මෙන්ම රාජකාරී ස්ථාන තුළත් හෝටල් තුළ මෙන්ම ඇනෙකුත් සෑම ආයතනයකමත් පවත්වා ගැනීම මගින් මදුරුවන් බෝවීම වළක්වා ගැනීමට හැකියි. ඉතා කුඩා ජල බිංදු කීපයක් පැවතීම පවා මේ මදුරුවාට බෝ වීමට හැකි ස්ථානයක් බැවින් ඒ පිළිබඳව විමසිලිමත් වීම වැදගත් වේ. කසල කළමනාකරණයේදී නොදිරන දේ ඉවත් කිරීමේදී මෙන් බැහැර කිරීමේදී ඒ පිළිබඳව විමසිලිමත් වීම මෙන්ම විධිමත් ක්‍රමවේදයකය අකුව එය සිදු කිරීම මගින් මදුරුවන් බෝවීම වළක්වා ගත හැකියි.

බොහෝ රෝග වැළඳුණු පසු එම රෝගය නැවත වැළඳීමට එරෙහි ප්‍රතිශක්තියක් ගොඩනැගෙන මුත් ඩෙංගු වෛරස ආසාදනය වී සුව වූ පසු නැවත ඩෙංගු වෛරසයට නිරාවරණය වුවහොත් තත්ත්වය වඩාත් බරපතල විය හැකිය. මෙසේ වන්නේ පළමුවරට ඩෙංගු සෑදීම නිසා ඇති වූ ප්‍රතිදේහ මගින් වෙනත් වෙනස් ඩෙංගු ප්‍රෙභ්දයක් ශරීරගත වූ විට එම වෛරසය ශරීරය තුළ වර්ධනය වීමට හැකි වන සේ රුකුල් දීමයි. මෙසේ හෙයින් විටින් විට ඩෙංගු රෝගයට ගොදුරු වීම හේතුවෙන් ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල බවට පත්වේ.

ඩෙංගු රෝගයෙන් ආරක්ෂා වීමට කළ යුතු එකම දේ වන්නේ ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීම මගින් මදුරුවන් බෝවීම වළක්වා ගැනීම හා මදුරුදෂ්ඨනයන්ගෙන් ආරක්ෂා වීමයි.

යම් පුද්ගලයෙකුට උණ ඇති වූ විගස එය ඩෙංගු වෛරස ආසාදනයක්ද යන්න හඳුනා ගැනීම අපහසුය. ඒ නිසා උණ ඇති වී දින දෙදක් ගත වීත් තවදුරටත් උණ පවතිනවා නම් උණ ඇති වී දින දෙකකට පසුව සම්පූර්ණ රුධිර පරීක්ෂාවක් (FBC) සඳහා යොමු වී රුධිර වාර්තාව වෛද්‍යවරුයෙකු ලබා පරීක්ෂා කරවා ගැනීමට කටයුතු කළ යුතුය.

එමෙන්ම,

  • රෝග ලක්ෂණ සඳහා ප්‍රතිකාර කළ යුතුයි
  • උණ නිසා ශරීරයෙන් පිටවන ලවණ හා තරල ප්‍රමාණය පාලනය සඳහා හැකි තරම් ජලය, පළතුරු යුෂ, කැඳ වර්ග, සුප්, ජීවනී වැනි දියර වර්ග ලබාදිය යුතුයි
  • වෛද්‍ය උපදෙස් මත අවශ්‍ය නම් රෝහල් ගත කර සේලයින් ලබාදිය යුතුයි
  • ඇඳ විවේකය ලබාදිය යුතුයි

මෙවැනි රෝග තත්ත්ව වලදී හිතුමතේ වේදනානාෂක ඖෂධ ලබා ගැනීම කිසිසේතුම සුදුසු නොවන අතරම වේදනා නාෂකයක් ලෙස ලබා ගත හැක්කේ පැරසිටමෝල් පමණයි. උණ අඩු කිරීමට යැයි සිතා වෛදය නියමයෙන් තොරව වෙනත් කිසිදු ඖෂධයක් ලබා ගැනීම නුසුදුසු බව තරයේ සිහි තබා ගන්න.


දැනුවත් කිරීම

අයිරාංගනී ගගලගමුව
පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණි
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය
බුලත්සිංහල

Leave feedback about this

  • Quality